මචං, මම එජාපයේ. ඒක මට කාටවත් හැංගි හොරා කියන්න ඕනෑ එකක් නෙවෙයි. මගේ පරම්පරාව දිහා බැලුවොත්, රනිල් වික්‍රමසිංහගේ තාත්තා ලංකාවේ සමසමාජ ව්‍යාපාර අස්සේ දේශපාලනය කරන කාලේ ඉඳලම, ඉන් පසුවත් අපි පරම්පරාගතව පෙනීසිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොළපාට කොඩිය වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ කියන නායකයා වෙනුවෙන් මම පෙනීසිටියේ පුද්ගල වන්දනාවකට වඩා, අපේ මහගෙදරට සහ ඒ මතවාදයට තිබුණු අසීමිත ආදරය නිසයි.Sri Lanka Latest News
විශේෂයෙන්ම, රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ මම වැඩ කළේ ජනාධිපති මාධ්‍ය අංශයේ. ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගන්න, ඔහුගේ දේශපාලන සහ ආර්ථික දැක්ම රටට කියන්න, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉඳන් උපරිම ශක්තියක් දුන්න කෙනෙක් විදියට අද මට මේ ටික ලියන්න සිදුවෙලා තියෙන්නේ හදවතේ උපරිම කලකිරීමෙන් සහ දරාගත නොහැකි වේදනාවකින්.
මතකද 2020 අවුරුද්ද? රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන දැවැන්තයා තමන්ගේ ජීවිතයේ දරුණුම පරාජය ලබලා, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පවා අහිමි වෙලා, දේශපාලනයෙන් අතුගෑවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දී ගෙදරටම වෙලා හුදෙකලා වෙච්ච කාලේ? රට පුරා තුනෙන් දෙකක අසීමිත බලයක් එක්ක රාජපක්ෂ භීෂණය රජ කරන කොට, අනෙක් පැත්තෙන් ජවිපෙ (මාලිමාවේ) රැල්ල රටම ගිලගන්න හදනකොට, එදා දේශපාලනිකව බින්දුවටම වැටිලා අසරණ වෙලා හිටපු රනිල් වික්‍රමසිංහව ආයෙත් කරළියට ගෙනල්ලා, ඔහුව දේශපාලනිකව උස්සලා ගන්න එදා මුළු රටේම හිටියේ අපි වගේ දෙතුන් දෙනෙක් විතරයි. එදා අපි සෝෂල් මීඩියා ඇතුළෙත්, සමාජය ඇතුළෙත් ගහගත්තේ මුළු රටම ඔහුට හිනාවෙද්දී. ඔහු අහම්බෙන් හෝ ජනාධිපති වුණාට පස්සේ, තමන්ගේ පුද්ගලික වාසිය සහ තනතුරු බලාගෙන අද සිරිකොත ඇතුළෙත්, ඔහුගේ ළඟත් රඟන බහුතරයක් උන් එදා හිටියේ කොහේද? උන් ඔක්කොම එදා හිටියේ රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ ලැගගෙන, රනිල්ට වඳින්න ආපු මිනිස්සුන්ට හිනාවෙවී. ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙක් විදියට ඔය හැම එකාගේම නිරුවත මම ඇස් දෙකෙන් දැක්කා.
ඒකටත් කමක් නැහැ සීයේ… ඔයාම තමයි අපිට දේශපාලන දෘෂ්ටිවාදයන් උගන්වද්දී කියලා තියෙන්නේ, වමත් එක්ක හවුලේ ආණ්ඩු හදලා කිසිම දවසක ලිබරල් ප්‍රගතිශීලී රටවල් නිර්මාණය කරන්න බැහැ කියලා. ඔයා ඒ යථාර්ථය හොඳටම දන්නවා. හැබැයි අද වෙනකොට වම කොච්චර අසමත්ද, උන් රට කොච්චර ප්‍රපාතයකටද ඇදලා දාන්නේ කියලා ඇස් පනාපිටම පෙනි පෙනිත්, තමන්ගේ වටේ ඉන්න භූතයෝ දෙන්නෙක්ගේ’ ලණු කාපු ඔයාට, සැබෑ කොළපාට දක්ෂිණාංශික ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැති බව ස්ථීරයි.
අපි එදා ඔයා වෙනුවෙන් පෙනීසිටියේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට ඇති මලක් වගේ ආදරයකට නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියටයි. හැබැයි අද වෙනකොට අසමගි වෙලා, කෑලි කෑලිවලට කැඩිලා තියෙන තමන්ගේ මහගෙදර (යූ.ඇන්.පී. එක) ආයෙත් එකතු කරලා ශක්තිමත් කරනවා වෙනුවට, මෙච්චර දේශපාලන ඥානයක් තියෙන ඔයා කරන්නේ මොකක්ද? සමාජය ඇතුළේ 1%කවත් මහජන පදනමක් නැති, මිනිස්සු පිළිකුල් කරන ඒකාබද්ධ ‘යක්’ (කල්ලියක්) හරහා නාමල් රාජපක්ෂව ආයෙත් ෆෝම් කරන්න හදනවා. හැබැයි ලියාගන්න, එව්වා සැබෑ නොවන හුදෙක් හීන විතරයි.
එම නිසා, අදින් ඇරැඹෙන මේ මොහොතේ සිට මම රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා වෙනුවෙන් කිසිදු වචනයක් ලියන්නේ නැත. මින් ඉදිරියට මගේ පෑන, මගේ ශ්‍රමය සහ මගේ දේශපාලන උපායමාර්ග ලියවෙන්නේ පරම්පරාගත එක්සත් ජාතික පක්ෂය සහ සැබෑ දක්ෂිණාංශික මතවාදය වෙනුවෙන් විතරයි.
එක දෙයක් හොඳින් මතක තියාගන්න සීයේ… එදා ඔයාව ජනාධිපති පුටුවේ වාඩිකරවන්න අපි පපුව ඉස්සරහට දාලා සටන් වදිනකොට, අපේ පක්ෂයේ මුද්‍රාව තියෙන සිරිකොත මන්දිරය තිබ්බේ දූවිලි වැදිලා, වහලා දාලා. ඒ වගේම, ඔයා මේ කරන්න යන විනාශය නිසා ආයෙත් අවුරුදු දෙකකින් හෝ තුනකින් මේ රට දැවැන්ත ආර්ථික සහ සමාජයීය අර්බුදයකට ඇදලා දාන ‘වම-දකුණ අච්චාරු’ දේශපාලන දේදුන්නක් හැදෙන්න යනවා නම් ඒකට කීයටවත්, කිසිම ඉඩක් තියන්න මම සූදානම් නැහැ.
ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පුරාවෘත්තයක් (ලෙජන්ඩ්) විදියට ගෞරවනීයව සමුගන්න තිබ්බ ඔයා, ඔය වටකරගෙන ඉන්න කාලකණ්ණි භූතයෝ දෙන්නෙක් නිසා, අවසානයේ ඉතිහාසයේ කුණු කූඩයට ඇදවැටෙන්නේ ‘ජාතියේ සහ තමන්ගේම පක්ෂයේ ද්‍රෝහියා’ විදියටයි. ඒක අකුරක් නෑර ලියලා තියාගන්න.
මීට, ජනපති රනිල්ගේ මාධ්‍ය අංශයේ සිටි සී.එම්.










