රට රටවල වංශකතා දෙස බැලූ විට එම කතා ඒ ඒ රටවල සුවිශේෂ ඉතිහාසය විදහාපාන කැඩපත් බඳුය. ඒ ඒ රටවල කාලයේ වැලි තලාවෙන් වැසීගොස් ඉතිහාසයට එක්ව ඇති, එකී කතා තුළින් ඒ ඒ රටවල අභීත අභිමානය, සංස්කෘතිය, මිනිස් ක්‍රියාකාරකම්, ඔවුනොවුන් දැක්වූ දක්ෂ පක්ෂකම් මොනවට පැහැදිලි වේ. විද්‍යාත්මක සොයාගැනීම්, කාර්මික විප්ලව, කෘෂිකාර්මික පෙරළි, ඈ කී නොකී බොහෝ දේ ඉහත කී කැඩපත් තුළින් අපූරුවට දැකගත හැකිය.Sri Lanka Latest News
එවැනි මහඟු අපූර්ව අත්දැකීම් අවදි කොට පාදාගත හැකි නම් ඒ මත කාලයේ වැලි තලාවෙන් වැසීගිය, ප්‍රෞඪ ඉතිහාසය දෙස බලා ඒ මත රටක වර්තමානයත්, අනාගතයත් අභිමානවත්ව ගොඩනගාගත හැකිය.
අපගේ මිනිසුන්ගේ එවැනි අව්‍යාජ හැකියා දක්ෂ පක්ෂකම් අප වර්තමාන පරපුරට මෙන්ම, අනාගත පරපුරට අවදිකර දිය හැකි නම් විද්‍යාවේ දියුණුව පවා එදාට වඩා අවදි වී ඇති යුගයක සුවිසල් මෙහෙවරක් රට වෙනුවෙන් ලබාදීමට ඔවුන්ගේ සිතැඟි අවදි කළ හැකිය. එදා අපේ හෙළ වග ඇරඹුමටත් පෙර කාලයට සබඳකම් පැවැති පුරාණ ස්ථාන, ප්‍රදේශ රැසක උරුමය අප රටතුළ අදටද නොනැසී පැවතීම, රටවැසි අපට මහඟු ආඩම්බරයට කරුණක් නොවේද?
එබඳු සබඳකම් පැවැති එක් ප්‍රදේශයක් නම් මහියංගණය වේ. බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොට තැනූ චෛත්‍යයක්ද මෙහි පවතින බැවින් මෙම පෙදෙස අදටත් බොදුනුවන්ගේ උතුම් පින්බිමක් ලෙස හැඳින්වේ. එදා මෙරට පැරණි නගරයක්ව පැවැති ‘සොරබොර’ ප්‍රදේශයට මහියංගණයේ සිට ඇත්තේ ගව්වක දුරෙකි. මෙම පෙදෙස ‘මහිතපොක්බල’ ලෙසින් හඳුන්වා ඇති බවට කදිම සාක්ෂියක් සපයනුයේ දීපවංශයෙනි. අපගේ දීපවංශය ලෙස හැඳින්වෙනුයේ මහාවංශයේ මුල්කොටස ලෙසය. එය හෙළදීපය පිළිබඳ මුල් අවධියේම ලියැවුණකි.
මෙම පෙදෙස අසලින් අද මෙන්ම එදත් මහවැලි නදිය නිසලව ගලා ගියේය. එබැවින් මහා වාලුකා නදීබඩ දොරටුව ලෙසද මෙපෙදෙස හැඳින්විණි. මෙකී නදියෙහි අනෙක් ඉවුරෙහි පළමු අග්බෝ රජු ඇළක් ඉදිකළේය. ඒ ක්‍රි.ව. 578 – 604 කාලයේදීය. මෙම ඇළ එදා ‘මිණිමේඛලා’ ලෙස නම්කොට තිබිණි. මිනිපේ යෝධ ඇළ ලෙස අද හැඳින්වෙන්නේද මෙම ඇළය. පසු කලෙක මේ ඇළ නිරීක්ෂණය කළ ඉංග්‍රීසි මැනුම් නිලධාරියකු වන ආර්.එල්. බ්‍රෝහියර්ද මවිතය පළකළේය.
සැබවින්ම මෙය විශාල කර්මාන්තයකි. එදා මහවැලි ගඟ වක්ව පැවැති ස්ථානයක ඉවුර අද්දරම තිබූ දූපතක් නිසාවෙන් පටු ඇළක් සෑදී තිබිණි. මහවැලි ගඟෙන් විශාල ජල ප්‍රමාණයක් මෙකී ඇළට ගලා ගියේය. මෙම ඇළේ අනෙක් කෙළවරේ ගල් පර්වත දෙකක් පිහිටා තිබිණි. මෙකී ඇළට ගලාගෙන ගිය ජලයට නැවත ගඟට වැටීමට කිබුණේ ගල් දෙකක් මැදිණි. මේ නිසාම ඇළේ ජලය තරමක් සිරවී තිබිණි. පසුව මේ ගල් දෙක අතර බැම්මක් බැඳ තවදුරටත් එහි ජලය රඳවා ගැනීමට පියවර ගැනුණි.
එදා මෙම පෙදෙසෙහි විසූ සිංහල ජනතාව මිනිපේ ඇළ හරහා මහවැලි ජලය ගොවිතැනට ලබාගෙන සොරබොර වැවටද ජලය එක්රැස්කර තබාගෙනම ජල අවශ්‍යතා සපුරා ගත්හ. මහියංගණය ආශ්‍රිතව පවතින මෙම සොරබොර වැව දහවැනි සියවසේදී පමණ හඳුන්වා ඇත්තේ ‘සෙරබර’ කියාය. එසේවීම පිළිබඳ ආචාර්ය සෝමපාල ජයවර්ධන පවසා ඇත්තේ ගෙවුණු සියවස් දහයක කාලයකට පසු මෙහි තුන්වැනි ස්වරය වූ ‘අ’ වෙනුවට ‘ඕ’ ස්වරය ආදේශ වී ඇති බවකි.
මෙයට වර්ෂ 156කට පෙරදී, එනම් 1870 වසරේදී ඉංග්‍රීන් විසින් සොරබොර වැව ප්‍රතිසංස්කරණය කළේය. එදා අපූරු සාධකයක් මතුවිය. එය ටැම් ලිපියකි. එය අතීත තොරතුරු වර්තමානයට කදිමට සන්නිවේදනය කිරීමට සමත්විය. මෙම ටැම් ලිපිය ගෙන ගොස් බදුලු කච්චේරි භූමියේ ස්ථාපිත කෙරිණි.
එදා 4 වැනි උදය රජ සමයේ (946-950) තොරතුරු රැසක් එහි කියැවේ. ‘සොරබොර’ නමැති විශාල ප්‍රදේශය කේන්ද්‍ර වන සේ ‘හෝපිටිගම’ නමින් නගරයක් පැවැති බවටද මෙම ටැම් ලිපිය සක්ෂි දරයි.
තවද මෙම ‘සොරබොර’ පෙදෙස ගැන ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොතේද දැක්වේ. ත්‍රීසිංහලේ කඩයිම් පොත දක්වා ඇත්තේ ‘සොරබොර’ නුවර යන්නය.
මහාවංශය කියන පරිදි මහාභරණ සොරබොර ආසන්නයට පැමිණ නතර වූ බවද, එසේ කරනු ලැබුවේ පරාක්‍රමබාහුට උපකාර කිරීමට බවද කියැවේ. ගඩලාදෙණි ශිලා ලේඛනය කළ ගම්පොළ රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජු ‘සොරබොර’ ගැන එහි කර ඇති සටහනට අනුව පෙනීයනුයේ එකී පෙදෙසද එම රජුගේ පාලනය යටතේ පැවැති බවය.
සොරබොර වැවේ දකුණු පසට විහිදුණු ගල් තලයකි. මෙම ගල හාරා සොරොව්ව තනා ඇත. ඒ අනුව පෙනීයන දෙයක් නම් මෙකී සොරොව්ව සකසා ඇත්තේ සොබාවික ගල් පර්වතයක් ප්‍රයෝජනයට ගෙනය. මෙම සොරොව්ව ශ්‍රී ලංකාවේ ඇති එකම තනිගල් සොරොව්ව ලෙසද සැලකේ. මෙම ගල් සොරොව්ව අඩි තුන හතරක් පළලට තනා තිබේ. ඒ තුළින් එහි රැස්වන ජලකඳ හෙළයේ අභිමානවත් බව කියාපාමින් තාලයකට ගලාගෙන යන අයුරු එහි යන්නන්ට චමත්කාර දසුනක් මවාපායි. මෙතුළින් ගලායන ජලකඳ එදා පැවැති හෙළ අභිමානයේ ප්‍රතාපවත් බව අදටද ලොවට කියා පාන්නේ ඉමහත් ආඩම්බරයෙනි.
ප්‍රකට ඉංග්‍රීසි මැනුම් නිලධාරියකු වූ ආර්.එල්. බ්‍රෝහියර් මෙරට පැරණි වැව් අමුණු පිළිබඳ ගවේෂණයක නියැළිණි. සිය ගවේෂණය අවසානයේ බ්‍රෝහියර් සොරබොර වැව ගැන දක්වා ඇත්තේ මෙබඳු අදහසකි.
‘අලුත් නුවරට ඊසාන දෙසින් පිහිටි සොරබොර වැව මහත් වූ ජලස්කන්ධයක් දරාගෙන සිටියි. ඈත පුරාණයේ ඉතාම පුළුල්ව පවතින්නට ඇතැයි සැලකෙන මෙම සොරබොර වැව ඉදිකිරීමේදී මෙහි ඇති ස්වභාවික පිහිටීම එකී ඉදිකිරීම්වලට බෙහෙවින් උපකාරී වන්නට ඇත. මෙය ආරම්භක යුගයේදී කුඩා දිය පාරවල් මගින් අතිරේක ජලය ලබාගත් දියබාන ඔය නමැති දොළද මහවැලි ගඟට ගලාගෙන යයි. පුරාතනයේ විසූවෝ මෙම දියපාර හරස්කර අඩි පන්සියයක පමණ බැම්මක් තනා ජලය සිරකර ඇති බව පෙනේ.
මෙහි රැස්වන දිය කඳ එක් පෙදෙසකට පමණක් ගලා යාහැකි ලෙස යොදා ඇති වෑල් පිට් හෙවත් ජලය එකතු වන වළ සොයාගනු ලැබුවේ සිංහල වාරිකරුවෝ විසින් බව ඉංග්‍රීසි ජාතික රාජකීය ඉංජිනේරුවකු වූ කරනල් සී. වුඩ්වඩ් පවසයි.
මෙවැනි රාජකීයයන්ගේ ඇගැයුම් අනුව එදා ලංකාවේ විසූ සිංහල වාරිකරුවන්ගේ විස්මිත වාරි නිමැවුම් ගැන ලොවපුරා පැතිර යන්නට විය. ඒ අනුව එදා දහවැනි සියවසේදී එවකට ලංකාවේ විසූ සිංහල වාරිකරුවන්ගේ සේවය කාශ්මීර රාජධානියද ලබාගෙන එරට කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණුකර ගැනීමේ පුවත අපට ආඩම්බරයක් නොවන්නේද?
මෙම තොරතුරු ‘රාජතරංගනී’ නම් කාශ්මීර වංශකතාව අපූරුවට සඳහන් කර තිබේ.

නන්දන ඩී. කෙහෙල්ගමුව










