ඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කිරීම එකල කොළඹ තානාපති අංශවල කතාබහට ලක්විය. ගෝර්ට පසු කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් කළේ ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayevය. ඔහු පසුගියදා ලංකාවට පැමිණ විදේශ ඇමැති විජිත හේරත් හමුවිය. එහිදී විදේශ ඇමැති ලංකාව සහ ෂැංහයි කෝපරේෂන් සංවිධානය අතර ගැඹුරු සබඳතා වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එම සංචාරයේදී ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ මහලේකම්වරයා ඇමැති හමුවූ විටදී මහලේකම් පැවැසුවේ ෂැංහයි කෝපරේෂන් සංවිධානය ප්‍රවාහන සබඳතා සහ යුරෝ ඒෂියන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කිරීමේදී ලංකාව එහි කොටස්කාරයෙක් ලෙස සලකන බවය.Sri Lanka Latest News
ෂැංහයි කෝපරේෂන් සංවිධානයේ මහලේකම් ලංකාවේ සංචාරය කරන්නේ ලංකා ආණ්ඩුව සහ රුසියාව අතර සබඳතා නව මානයකට යන මොහොතකය. ලංකාව රුසියාවෙන් තෙල් ගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමැති සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ලංකාවේ සංචාරය කළේය. ඉන් පසු රුසියාවේ සෞඛ්‍ය ඇමැති ලංකාවේ සංචාරය කළේය.
මේ අතරවාරයේ ජවිපෙ ජාත්‍යන්තර අංශ ප්‍රධානී ඇමැති බිමල් රත්නායක රුසියාවේ සංචාරය කළේය. ඔහු රුසියාවේ සංචාරය කළේ අප්‍රේල් මාසයේය. බිමල් රුසියාවේ සංචාරය කළේ රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමැතිගේ ලංකා සංචාරයට පසුවය. ඉන් පසු මැයි මාසයේ බිමල් රුසියාවේ ජාත්‍යන්තර ආර්ථික සංසදයේ රැස්වීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි විය. එහිදීත් අවධාරණය කෙරුණේ ජාත්‍යන්තර ප්‍රවාහනය, වෙළෙඳ, නාවික සහ කලාපීය ආරක්ෂාව ආදී අංශවල වැදගත්කම පිළිබඳවය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මෙලෙස නව මානයකට පැමිණෙන්නේ හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ බදු ගැනීමට ඉන්දු-රුසියා ඒකාබද්ධ සමාගමක් ඉදිරිපත් කළ ව්‍යාපෘති අනුර බලයට පැමිණ අවලංගු කිරීමෙන් පසුවය. එය අවලංගු කරනු ලැබුවේ ඇමෙරිකානු බලපෑම මතය. එම අවලංගු කිරීමට එරෙහිව මෙරට රුසියානු තානාපති සිය අප්‍රසාදය එළිපිට ප්‍රකාශ කළේය.
මේ නව ශ්‍රී ලංකා – රුසියා සබඳතා වර්ධනයත් සමග බලශක්ති ඇමැති අනුර කරුණාතිලක සඳුදා රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ ලංකාව රුසියාවෙන් සහ චීනයෙන් තෙල් මිලට ගැනීමට බලාපොරොත්තු වන බවය. දැනටමත් ධනාත්මක සාකච්ඡා ආරම්භ වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබිණි. මේ රටවල් දෙකෙන් පළමු වාරයේ තෙල් නැව් දෙක බැගින් මිලදී ගෙන එය දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇත.
රුසියාවෙන් සහ චීනයෙන් තෙල් මිලදී ගැනීමේ මේ ප්‍රයත්නය දෙස ඇමෙරිකාව සහ ඉන්දියාව කෙසේ බලයිද කියා තවම පැහැදිලි නැත.










