සෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම තුළ දේශීය කර්මාන්ත වැඩි අවදානමකට ලක්ව බරපතල අභියෝග රැසකට මුහුණ දෙනවා සේම කර්මාන්තශාලා වැසී ගොස් විරැකියාව වැඩිවන තත්ත්වයකට මුහුණ දෙන බවත් මේ නිසා සෙස් සහ පැල් යන බදු ඉවත් කිරීම පිළිබඳ රජය ගන්නා කාල සීමාව දීර්ඝ කරන ලෙස කර්මාන්තකරුවන් සිදු කරන යෝජනාව සාධාරණ බවත් සෙස් සහ පැල් යන බදු ඉවත් කරන්නට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය ආයතන සමඟ එකඟ වී ඇති බවත් ඒ අනුව 2026-2029 කාලයේ දී මේ බදු සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ ඉවත් කිරීමේ කාලය යම් මට්ටමකට දීර්ඝ කර එක පාරටම මේ ඉවත් කිරීම තුළ කර්මාන්තකරුවන්ට ඇතිවන තිගැස්ම හා බලපැම තුනී කිරිමට මේ කාල සීමාව දීර්ඝ කිරීම යෝග්‍ය බවත් දේශීයත්වයට මුල්තැන දෙනවා කියූ නිසා ජනවරමක් මේ රජයට ලැබුණු නිසා දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම අප සියලු දෙනාගේම සහ රජයේ වගකීම බවත් ඊට අමතරව අපනයන ක්ෂේත්රය ප්‍රවර්ධනය කරන අතරතුර ක්‍රමෝපායික සැලසුමක් නිර්මාණය කළ හැකි බවත් මෙහිදී දේශීය කර්මාන්ත රැකගෙන අපනයන ක්ෂේත්රය ප්‍රවර්ධනය කරනවා සේම පාරිභෝගිකයන්ගේ ද අයිතිවාසිකම් සුරක්ෂිත කළ හැකි බවත් මේ ඉලක්ක සපුරා ගැනීම දක්ෂ රාජ්‍ය ප්‍රතිපත්තියක් තුළින් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ දේශීය වෙළෙදපොළට මෙන්ම අපනයන වෙළෙදපොළට නිෂ්පාදනකරුවන් ලෙස භාණ්ඩ හා සේවා අංශයෙන් විශාල සේවාවක් කරන කර්මාන්තකරුවන් රැසක් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
එසේම ප්‍රමිතියෙන් තොර විදේශ නිෂ්පාදන භාණ්ඩ අප රටේ ගෙන එන නිසා මේ ප්‍රතිපත්ති ශක්තිමත් විය යුතු බවත් ප්රමිතිකරණය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතු බවත් දුර්වල තත්ත්වයක ඇති මේ ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කර ගුණාත්මක භාණ්ඩ ආනයනය කළ යුතු බවත් IMF එක ඇතුළු මූල්‍ය ආයතන සෙස් සහ පැල් යන බදු ඉවත් කරන ලෙස කොයි තරම් කිව්වත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ප්‍රධාන ඛේදවාචකයන් 5කට අප රටක් ලෙස මුහුණ දුන් බැවින් දේශීය නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කළ යුතු බවත් අප රටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරනවා සේම අප රටේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඒකාබද්ධ වූ ව්‍යවසාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ මීට වඩා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත යුතුයි
IMF එක හෝ වෙනත් මූල්‍ය ආයතන සමඟ සමගි ජන බලවේගය කටයුතු කිරීමේ දී නිවට නොවී සුහදශීලීව රටේ ජනතාවගේ ගැටලු පෙන්වා දෙන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ රට ඇතුලේ යුද්ධ 2ක් ක්‍රියාත්මක වන විට මැදපෙරදිග ගල්ෆ් යුද්ධය පැවැතියදී පවා මේ සියලු අභියෝගයන්ට මුහුණ දී IMF ලෝක බැංකු සමඟ සාකච්ඡා කර ජන සවිය ක්‍රියාත්මක කළ බවත් එබැවින් මීට වඩා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා රජය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්රමිතිකරණය ගැන මීට වඩා සිතිය යුතුයි
මීට අමතරව දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් එළිදැක්විය යුතු බවත් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය එළිදක්වන්නේ නැත්නේ කාගෙ බලපෑමටද කියා ප්‍රකාශ කළ යුතු බවත් ඊට අමතරව ප්රමිතිකරණය මීට වඩා කාර්යක්ෂම කර ප්රමිතිකරණය වඩාත් නිවැරදිව සිදු කළ යුතු බවත් මේ සඳහා නිර්ව්‍යාජ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දේශීය ව්‍යවසායකයන්ට මේ ක්‍රමය ගැන විශ්වාසයක් නැති නිසා ඔවුන්ගේ විශ්වාසය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.























