• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරෙන් නැගෙනහිරින් ආණ්ඩුවට පත්තුවෙන්න යන ලොකු ලෙඩේ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

උච්චි උච්චි තෝල් තෝල්..

තලපති විජේ තමිල්නාඩු මහ ඇමැති ධුරය භාරගැනීමෙන් පසු ලංකාවට ලේසි පහසු නොවනු ඇති බවත්, ලංකාවේ ආණ්ඩුවට ඊළඟ ප්‍රශ්නය එන්නේ තමිල්නාඩුව සහ උතුරු නැගෙනහිර එකතුව බවත් අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තිරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියෙමු. අප කී ඒ අනාවැකිය ටක්කෙටම නිවැරැදි වූයේ තලපති විජේ තමිල්නාඩු මහඇමැති ධුරය භාරගැනීමත් සමග සිදුවූ දේශපාලන පෙරළි මුල්කොටගෙනය.Sri Lanka Latest News

පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත්, පළාත් පාලන මැතිවරණයේදීත් අනුර කුමාර දිසානායක මහතාටත්, මාලිමාවටත් කවදාවත් උතුරු නැගෙනහිර සිදුනොවූ ආකාරයට විශාල ඡන්ද මල්ලක් ලැබිණ. එහිදී සාම්ප්‍රදායික දෙමළ, මුස්ලිම් පක්ෂ යටපත් කොටගෙන පළමු වතවට දකුණේ සිංහල පක්ෂයක් ඉහළට පැමිණීම කැපීපෙනෙන සිදුවීමක් විය. උතුරු නැගෙනහිරෙන් ලැබුණු ඒ අසීමිත බලය නිසාදෝ ගෙවුණු වසර එකහමාර ඇතුළු ජනාධිපතිවරයාගේ පැත්තෙන් හෝ මාලිමාව පැත්තෙන් උතුරු නැගෙනහිර අවශේෂ දෙමළ, මුස්ලිම් පක්ෂ වැඩි ගණන් ගැනීමකට ලක්වූයේ නැත. ජනාධිපතිවරයා උතුරට පොරොන්දු වූ පරිදි පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට දෙමළ මුස්ලිම් පක්ෂ ඉල්ලා සිටියද ඊට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එපමණක්ද නොව, වෙනදා නම් උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ විට හැරෙන තැපෑලෙන් එය ලැබුණද, පසුගිය කාලය ඇතුළත මේ දෙමළ මුස්ලිම් පක්ෂවලට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සහ වේලාව ලබාගැනීම සඳහා මාස එකහමාර දෙක පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුවූ ආකාරයක්ද දැකගත හැකි විය. මේ සඳහා උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් පක්ෂවලට බලපා තිබූ ප්‍රධානම කාරණාව වූයේ ඔවුන්ට හරිහමන් දේශපාලන හයියක් නොතිබීමය. නමුත් තමිල්නාඩුවේ තලපති විජේගේ දේශපාලන සම්ප්‍රාප්තියත් සමග උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් පක්ෂවලට මෙතෙක් කල් නොතිබූ ඒ දේශපාලන හයිය යළි ලැබී ඇති ආකාරයක් දැකගත හැකය. අප මෙම තොරතුරු අනාවරණ කරන්නේ අනෙකුත් පුවත්පත් මෙන් වෙනත් පත්තර, වෙබ් අඩවි බලා හෝ විවිධ දේශපාලනඥයන් දෙන දේශපාලන ප්‍රකාශ දෙස බලා හෝ නොව තලපති විජේ තමිල්නාඩු මහ ඇමැති ධුරය දක්වා පැමිණි ගමනේදී ඔහු පසුපස සිටි දේශපාලන පක්ෂ, පක්ෂ නායකයන් හා දේශපාලන සිදුවීම් දෙස බලාය.

ඒ අනුව අප පසුගිය සතියේ හෙළිදරව් කළ ආකාරයටම දැන් තමිල්නාඩුව සහ ලංකාව අතර දේශපාලන සටන ආරම්භ වී තිබේ. එහි පළමු ඉඟිය පැමිණියේ තලපති විජේට මහ ඇමැති ධුරය සඳහා අවශ්‍යව තිබූ ඉතිරි ආසන 8 ලබාගැනීමේදීය. එහිදී ඊට අවශ්‍ය සහාය මුලින්ම ලබාදුන්නේ තෝල් තිරුමාවලන්ගේ නායකත්වයෙන් යුත් වී.සී.කේ. පක්ෂයේ ආසන දෙකය. තෝල් සහ වී.සී.කේ. පක්ෂය යනු පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් ඍජුව පෙනීසිටිමින් ඔවුන්ට පක්ෂපාතීව අදහස් පළකළ තමිල්නාඩුවේ ප්‍රබල පක්ෂයකි. එය තහවුරු කළ හැකි ඡායාරූප අවශ්‍ය තරම් අප සතුව ඇත.

තමන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස තලපති විජේ වී.සී.කේ. පක්ෂයෙන් ඉල්ලද්දී සහ විජේගේ පක්ෂයේ පාක්ෂිකයන් විජේට සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් තෝල්ගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිටට ගොස් බලපෑම් කරද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ඡායාරූපවලින් දැකගන්නට ලැබුණේ තවමත් ඔවුන්ගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට ප්‍රභාකරන්ගේ දැවැන්ත කටවුට් එල්ලා ඇති ආකාරයය. ප්‍රභාකරන් සහ තෝල් එකට සිටින දැවැන්ත ඡායාරූප පවා එහි දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් එල්.ටී.ටී.ඊ. යනු තවමත් ඉන්දියාවේ තහනම් සංවිධානයකි. එසේ තිබියදීත් තවමත් වී.සී.කේ. පක්ෂය ප්‍රභාකරන්ගේ කටවුට් ගසාගෙන සිටින තැනක ඉන්නවා නම් ඔවුන් තලපති විජේට සහාය ලබාදීමේ ඇති භයානක බව කුමක්ද යන්න වටහා ගැනීමට කිසිවකුටත් අපහසු නැත.

කෙසේ වෙතත් තලපති විජේ තමිල්නාඩු මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමත් සමග කිසිදු මහ ඇමැතිවරයකු නොකළ දෙයක් සිදුකිරිමට පියවර ගත්තේය. ඒ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල හිතවතුන් ලෙස සැලකෙන ලංකාවේද බොහෝ දෙනකු දන්නා හඳුනන වෛකෝ, සීමන් සහ රාම්දෝස්ගේ නිවෙස් වෙතටම ගොස් ඔවුන් හමුවීමට කටයුතු කිරීමය. පසුගිය යුද සමයේ මේ සියලු දෙනාම යාපනයට පැමිණ ප්‍රභාකරන් හමුවී උතුරු නැගෙනහිර යුද්ධයට ඍජුවම සහාය පළකළ ද්‍රවිඩ නායකයන් බව සියල්ලන්ම දන්නා කාරණයකි.

එතැනින් විජේ සටන අතහැරියේ නැත. මහ ඇමැති ධුරයේ දිවුරුම් දී වහාම ක්‍රියාත්මක වන පරිදි තමිල්නාඩු ජනතාවට සහන ලබාදෙන ගැසට් පත්‍රවලට අස්සන් තැබීමෙන් පසු දෙවැනි දිනයේ විජේගේ වැඩ ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ ලංකාව සම්බන්ධ කාරණාවකි. ඒ වනවිටත් මෙරට නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් හය දෙනකු සහ ඔවුන්ගේ බෝට්ටු උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබීම නිසා වහාම ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා වෙත ලිපියක් යොමුකරමින් විජේ කියා සිටියේ වහාම මෙම ධීවරයන් හය දෙනා සහ බෝට්ටු නිදහස් කරගැනීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළ යුතු යැයි කියාය. එමෙන්ම මේ වනවිට ධීවරයන් 54ක් සහ බෝට්ටු 264ක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ ඇති බව සිය ලිපිය මගින් පෙන්වා දුන් විජේ, එම පිරිස සහ බෝට්ටුද වහාම නිදහස් කරගත යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට දැනුම් දි සිටියේය. මෙහිදි විජේ භාවිත කර තිබූ එක් වචනයක් වූයේ ‘හැකි ඉක්මනින්’ කටයුතු කරන ලෙසය. රාජ්‍යතාන්ත්‍රික භාෂාවේදී මෙම වචනය අතිශය ප්‍රබල එකක් බව බොහෝ දෙනා දන්නා කාරණයකි. ඒ අනුව අප මීට පෙර අනාවරණ කළ සියලු තොරතුරු විජේගේ මේ පළමු ලිපියෙන්ම තහවුරු කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය.

තමිල්නාඩුවේ මේ අයුරින් කටයුතු සිදුවෙද්දී හරියට කල්යල් බලා සිදුකළාක් මෙන් බොහෝ දෙනා නොදන්නා සිදුවීම් රැසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවෙමින් තිබිණි. ඉන් ප්‍රධානම එක වූයේ යුද්ධය අවසන් කළ තැන වූ වෙල්ලමුල්ලි වයික්කාල් මුල්කරගෙන යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමේ උත්සව මාලාවය. දකුණේ වෙනත් දේශපාලන මාතෘකා හේතුකොට ගෙන මාධ්‍යවල මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවුණද පසුගිය අඟහරුවාදා සිට ආරම්භ වූ උතුරේ මෙම සැමරුම් සතිය තුළ වැදගත් සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදුව තිබිණි. යාපනයේ වලිකාමම්හි පැවැති මෙහි ආරම්භක උත්සවයේදී හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ තිලීපන්ගේ පිළිරුව අසල පොල්තෙල් පහන් දැල්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියේ තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන්ය. ඊට වලිකාමම් ප්‍රාදේශීය සභාවේ දමිළ මන්ත්‍රීවරු විශාල පිරිසක්ද එක්ව සිටියහ. මීට අමතරව මඩකළපුව නගර සභාව තුළ පසුගිය සතියේම දමිළ මන්ත්‍රීවරුන් සභා වාරයට සහභාගි වූයේ යුද්ධයෙන් මියගිය අය සිහිකරමින් කළු පටි බැඳගෙනය.

මීට අමතරව තමිල්නාඩුවේද වී.සී.කේ. පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරයා සිය පළමු කතාව ප්‍රාන්ත සභාව තුළ සිදුකළ අතර, එහිදී ඔහු දැඩිව කියා සිටියේ උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් දිනාගැනීමේ සටනට තමිල්නාඩු ප්‍රාන්ත රජය සහාය දැක්විය යුතු යැයි කියාය. එහිදී ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ දමිළ – ඊළාම් සටන යන වචනය මෙහිදී වී.සී.කේ. පක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙහිදී භාවිත කොට තිබූ බවකි. වර්තමානයේදී උතුරේ දමළ ජනතාව විශාල තෙරපීමකට ලක්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් මෙම මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා චෙල්වනායගම් වසර 25ක කාලයක් දේශපාලන සටනක් දියත් කළ බවත්, වේලුපිල්ලේ ප්‍රභාකරන් වසර 30ක කාලයක් යුදමය සටනක් දියත් කළ බවත් පෙන්වා දුන්නේය. නමුත් 2009දී ප්‍රභාකරන් ඝාතනයට ලක්වීමත් සමග දෙමළ ජනතාව වෙනුවෙන් ගෙනගිය සටන අවසන් වූ බව පෙන්වා දුන් මෙම මන්ත්‍රීවරයා ඉන්දියාවේ මැදිහත් වීමෙන් 1987දී ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළද මෙතෙක් එය නිසි අයුරින් ක්‍රියාත්මක වී නොමැති බව තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී කියා සිටියේය. ඒ අනුව ඉන්දු-ලංකා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවීම සඳහා බලපෑම් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය මැදිහත් විය යුතු බවත්, ඒ හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දිය යුතු බවත් හෙතෙම සඳහන් කර සිටියේය. මීට අමතරව මේ දිනවල වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සමූල ඝාතනයක් සේ සලකා උතුරු-නැගෙනහිර සැමරුම් සිදුකරන බව කියා සිටි වී.සී.කේ. පක්ෂ මන්ත්‍රීවරයා ප්‍රාන්ත රජයක් ලෙස තමිල්නාඩුව නිල වශයෙන් මෙම උත්සවවලට සහාය ලබාදිය යුතු බවත්, ඊට සහභාගි වියයුතු බවත් සඳහන් කර සිටියේය. එමෙන්ම තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය පිළිබඳවද අදහස් දැක්වූ මෙම මන්ත්‍රීවරයා තමිල්නාඩු ධීවරයන් පමණක් නොව, උතුරේ දමිළ ජනතාවද තලපති විජේ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තබාගෙන සිටින බවද කියා සිටියේය.

මෙම වී.සී.කේ. පක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන් ආකාරයට ලංකාව සහ තමිල්නාඩුව අතර ඊළඟ අර්බූදය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඉන්දු-ලංකා ගිවිසුම මුල්කරගෙනය. ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ 1987 අස්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගිනි. එදා සිට නියමිත පරිදි පළාත් සභා මැතිවරණ පැවැත්වූවද 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව සීමා නිර්ණය පිට දමා පළාත් සභා ඡන්දය අතුරුදන් කොට මේ වනවිට වසර 10කට අධික කාලයක් ගතව තිබේ. යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළද පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඔවුන් කිසි උනන්දුවක් දැක්වූයේ නැත. නමුත් අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට ප්‍රථම යාපනයට ගොස් එහි ජනතාවට ප්‍රසිද්ධියේ ලබාදුන් පොරොන්දුවක් වූයේ තමන් බලයට පත්වූ පළමු වසර තුළදීම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බවකි. නමුත් දැන් දැන් ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහගේ පාරේම ගමන් කරමින් පළාත් සභා මැතිවරණය පවත්වනවාට වඩා එය නොපවත්වා සිටින තැනට කටයුතු කරමින් සිටින බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. එහිදී ආණ්ඩුව පැත්තෙන් කියැවෙන නිදහසට කාරණාව වී ඇත්තේ රනිල් කී සීමා නීර්ණය ප්‍රශ්නයය. විපක්ෂය මේ පිළිබඳව ප්‍රබලව චෝදනා කරද්දී ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා රනිල්ගේ කාලයේ සිදුවූවාක් මෙන්ම අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරකසභාවක් පත්කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් සුමන්තිරන් මහතා සඳහන් කර තිබුණේ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයටම පැවැත්විය යුතු යැයි කියාය. පාර්ලිමේන්තුව විසුරුවාහැර නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු මෙවර තමිල් අරසු කච්චි පක්ෂයේ ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා නැවතත් පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමින් පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර සිටියේය. කෙසේ වෙතත් විජිතගේ ප්‍රධානත්වයෙන් අවස්ථා කීපයකදී තේරීම් කාරකසභාව රැස්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළද අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තියනවාට වඩා එය නොතියා කල් දමන තැනට කටයුතු සිදුකරමින් සිටින බවය.

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ තවත් තීරණාත්මක සිදුවීමක් සිදුවිය. ඒ, විපක්ෂ නායක කාර්යාලයේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරමින් ශානක්‍යන් රාසමානික්කම් මහතාත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි මහලේකම් නිසාම් කාරියප්පර් මහතාත් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වීමය. එම හමුව සූදානම් වූයේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හා තමිල් අරසු කච්චි පක්ෂ මහලේකම් සුමන්තිරන් මහතා අතරත්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අතරත් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. මෙම මාධ්‍ය හමුවේදී මද්දුමබණ්ඩාර, රාසමානික්කම්, කාරියප්පර් යන තිදෙනාම අවධාරණය කර සිටි කාරණාව වූයේ ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවකි. එහිදී ඔවුන් නොකියා කියා සිටි ප්‍රධානම කාරණාව වූයේ යම් හෙයකින් ආණ්ඩුව තවදුරටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම්, ආණ්ඩුව ඒ සඳහා පත්කළ තේරීම් කාරසභාවෙන් ඉවත් වීමට ඔවුන් කටයුතු කරන බවය. සියලු පක්ෂ පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟ බවද එහිදී මෙම නියෝජිතයෝ අවධාරණය කර සිටියහ.

ඒ අනුව උතුරු නැගෙනහිර සහ දකුණේ දේශපාලන පක්ෂ එක්ව පැවැත්වූ මෙම මාධ්‍ය හමුව තලපති විජේගේ දේශපාලන ආගමනයත් සමග ඒකාබද්ධ වීම වැළැක්විය නොහැක. ඒ අනුව පෙනී යන්නේ පළාත් සභා පවත්වන ලෙස ඉල්ලා ආරම්භ කොට ඇති සටනේදී තලපති විජේගේ ආගමනයත් සමග උතුරු නැගෙනහිර සහ දකුණේ දේශපාලන පක්ෂ සියල්ල එක තැනකට පැමිණ ඇති ආකාරයය. ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත තිරය පිටුපස දේශපාලන පෙරළි රැසක්ම සිදුවීමට නියමිතව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී සජබයේ ප්‍රධානත්වයෙන් අතිශය තීරණාත්මක සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත් අපට දැනගන්නට තිබේ. ඒ අනුව මෙවර අපට කීමට ඇති ප්‍රධානම කාරණාව වන්නේ තවදුරටත් පළාත් සභා මැතිවරණය නොපවත්වා කල් මැරීමේ තත්ත්වයක් කිසිසේත්ම නොමැති බවත්, අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින බවත්ය.

අනුර පාලමට ගොඩවෙයි

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ තවත් සුවිශේෂ අනාවරණයකින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මාලිමා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින දුරස්ථභාවය අවසන් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව අතර පාලමක් නිර්මාණය කරමින් පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු පත්කිරීමට පළමු වතාවට ජනාධිපතිවරයා කටයුතු කළ බවකි. ඒ සඳහා බලපෑ හේතු ගණනාවක්ද පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කළෙමු. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ එම තනතුරට කුමාරසිංහ මහතා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා මෙම පත්වීම සිදුකොට පළමුවෙන්ම කළේ දින 3ක් එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ මෙම නිලධාරියා ඉදිරියේ තබාගෙන මාලිමා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියහොත් සභාවට පැමිණ කතා කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන්නකි. නමුත් මෙම නිලධාරියා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එක දිගට දින 3ක් පාර්ලිමේන්තුවට පැමිණියද ඒ කිසිදු අවස්ථාවක සභාවට පැමිණ වචනයක් හෝ කතා කිරීමට කටයුතු කළේ නැත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වචනයක් හෝ කතා නොකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විශාල කුතුහලයක් මතුව තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි දින තුනේම කළේ අලුතින් පත්කළ මෙම සම්බන්ධීකරණ නිලධාරියා ඉදිරියේ තබාගෙන සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන මාලිමා මන්ත්‍රීවරුන් වෙන් වෙන්ව ගෙන්වා ඔවුන් සමග බොහෝ වේලාවක් සාකච්ඡා කිරීමය. එම සාකච්ඡාවේදී තම තමන්ගේ දිස්ත්‍රික්කවල මාලිමා මන්ත්‍රීවරුන් මුහුණ දෙන ප්‍රශ්න, යෝජනා ආදිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු පියවර ගත්හ. එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයකට ජනාධිපතිවරයාට සවන් දීමට සිදුවිය. ආණ්ඩුව ඇතුළේ වැඩක් කරගැනීමට ගිය විට ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා, ජවිපෙ දේශපාලන යාන්ත්‍රණයෙන් මාලිමා මන්ත්‍රීවරුන්ට ඇති කෙණෙහිලිකම්, ගමට ගිය පසු පාක්ෂිකයන්ගෙන් සහ ජනතාවගෙන් එල්ල වෙන චෝදනා මෙන්ම පෞද්ගලික ප්‍රශ්න යනාදියද මෙහිදී මාලිමා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විවෘතව ඉදිරිපත් කළ ආකාරයක් මෙහිදී දැකගත හැකි විය. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමේ අසීරුතාවද මෙහිදී දැඩිව මාලිමා මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබූ කාරණාවක් විය. මාලිමා මන්ත්‍රීවරුන් 12 දෙනකු ජවිපෙ මහලේකම්වරයා වෙත සිය කලකිරීම පෙන්වා දෙමින් ලිපියක් ජවිපෙ මහලේකම්වරයා වෙත යොමුකළේ මෙම අසාධාරණකම් ඉවසා බැරිම තැන බවද එහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ මෙම ඇතැම් ප්‍රශ්නවලට ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට කතාකොට විසඳාගන්නා ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. මීට අමතරව ඉදිරියේදී සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා හරහා ඕනෑම අවස්ථාවක තමන් හා සම්බන්ධ වී ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.

මේ ආකාරයට ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කොට දින 3ක්ම එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ දිස්ත්‍රික් මට්ටමින් මාලිමා මන්ත්‍රීවරුන් හමුවූයේ ඇයි? ඇතැමුන් නම් කියන්නේ මාලිමා ආණ්ඩුව පැමිණි මුල් කාලයේදී මෙන් නොව මේ වනවිට මාලිමාවේ මන්ත්‍රීවරුන් 20ක 30ක පමණ කණ්ඩායමක් සජබය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අතිශය සමීප හිතවත්කමක් ආරම්භ කොට තිබීම මීට හේතුවූවා යැයි කියාය.

ටිල්වින් ගුටි කෑවද?

මාලිමා ආණ්ඩුව ඇතුළේ කටයුතු මෙසේ සිදුවෙමින් පවතිද්දී පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ එළියට ආ තවත් තොරතුරකින් දේශපාලන කරළිය හෙල්ලී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙම තොරතුර පළමු වරට අනාවරණ කළේ ලන්ඩනයේ ජීවත් වන ජනාධිපතිවරයාට සහ මාලිමාවට අතිශය සමීප අයකු ලෙස සැලකෙන උවිඳු කුරුකුලසූරිය විසිනි. එහිදී ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී යම් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවකි. උවිඳු මෙම තොරතුර වාර්තා කිරීමත් සමග තල් අත්තට බොරළු ගැසුවාක් මෙන් අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම පුවතට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් කියා සිටියේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට පහරදීමක් සිදුව ඇති බවකි. ඒ අනුව, සමාජ මාධ්‍යයේ විවිධ පෝස්ට් සංසරණය වූ ආකාරයක් දැකගත හැකි වූ අතර, ඇතැමුන් ටිල්වින්ට පහරදෙන ආකාරයේ ඡායාරූප ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කොට සමාජ මාධ්‍ය ජාලාවල පළකොට තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව කාටත් නොදැනීම මෙම පුවත සමාජය ඇතුළේ විශාල ප්‍රවෘත්තියක් බවට පත්වන ආකාරයක් පෙණින. ඒ සමගම පොහොට්ටුවේ දේශපාලන සාකච්ඡාවකදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂද ඇතැමුන්ගේ නම් ගම් සඳහන් කරමින්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා එම පුවතට නිල බවක් ලැබුණු ආකාරයක්ද දැකගත හැකි විය.

කෙසේ වෙතත් ජවිපෙ පැත්තෙන් මුලින් තීරණය කොට තිබුණේ මෙම පුවත සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමටය. මුලදි එසේ තීරණය කොට තිබුණත් උවිඳු පළකළ එම පුවතට තටු ලැබී තිබීම නිසා අවසානයේදී ටිල්වින් සිල්වාට ඊට මොන යම් හෝ ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබිණි. ඒ අනුව තමන්ට හිතවත් යූටියුබ් නාලිකාවක් හරහා හිටිහැටියේම පෙනී සිටි ටිල්වින්, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ මෙම පුවත පිළිබඳවද අදහස් දැක්වීමට කටයුතු කළේය. එහිදී යූටියුබ් මාධ්‍යවේදියා ටිල්වින්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහු එම පුවත හාස්‍යයට ලක්කරමින් සිනාසෙමින් පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. ටිල්වින් එසේ සිනාසෙමින් පිළිතුරු දුන්නද එවැනි ගුටිබැට හුවමාරුවක් සිදුවූ බව පිළිගන්නා පිරිස් තවමත් සිටින බව සමාජ මාධ්‍යයේ පළවන පුවත් සහ පෝස්ට්වලින් දැකගැනීමට පුළුවන. ඒ නිසාම එවැන්නක් සිදු නොවූ බව තහවුරු කිරීමට මාලිමා මන්ත්‍රීවරුන්ද ටිල්වින්ගේ මේ යූටියුබ් සාකච්ඡාව තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළකිරීමට කටයුතු කොට තිබිණි. නමුත් එතැනින්ද ටිල්වින්ට පහරදීමක් සිදුව ඇති බවට පළවූ පුවතට තිත වැටුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ නිසාම පසුගිය සතියේ ටිල්වින් කළේ රාජ්‍ය නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනියට පැමිණ සජීවී සාකච්ඡාවකට එක්වීමය. එහිදීද මෙම පුවත අසත්‍යයක් බව කියමින් බැහැර කිරීමට ටිල්වින් කටයුතු කොට තිබිණි.

එසේ කළා කියා හෝ උවිඳු පත්තු කළ මෙම දේශපාලන බෝම්බයේ රස්නය නිවුණේ නැත. ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍යවල කියැවුණේ මෙම පහරදීමට ලාල්කාන්තද සම්බන්ධ යැයි කියාය. ඒ අනුව සිදුවීම ලාල්කාන්තගේ දෙසට හැරෙද්දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සමාජ මාධ්‍යයට ප්‍රහාර එල්ල කිරීමට ලාල්කාන්ත කටයුතු කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. මේ ආකාරයට සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු පළවුවද මෙම සිදුවීම සත්‍යද යන්න පිළිබඳ තහවුරු වූ පුවතක් සොයාගැනීමට අපටද නොහැකි විය. නමුත් කුමන ආකාරයෙන් ප්‍රතික්ෂේප කළද එවැනි පහරදීමක් ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සිදුවූ බවට විශ්වාස කරන විශාල පිරිසක් සමාජයේ නැත්තේ නොවේ.

වටේටම එන්න කියලා

මේ ආකාරයට ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සිදුවූවා යැයි කියන පහරදීමේ සිද්ධියෙන් පසු තවත් මතවාදීමය කඩාවැටීමකට ජවිපෙට මුහුණ දීමට සිදුවූයේ පළමු වතාවට පක්ෂයෙන් පිටත වෙනත් පක්ෂයක සිටින ආසන සංවිධායකවරයකුට සහ තනතුරු දරන්නකු වූ ඉරාන් වික්‍රමරත්නට ආණ්ඩුවේ ආයතනයක තනතුරක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හරහාය. මෙසේ ජවිපෙ ඉරාන් පත්කිරීමත් සමග සියලු දෙනාම පුදුමයට පත්වූයේ මාලිමාවේ සහ ජවිපෙ තුළ මෙපමණ ප්‍රමාණයක් උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සිටියදී ආණ්ඩුව එවැනි තනතුරකට සජබයේ නියෝජිතයකු තෝරාගත්තේ ඇයිදැයි කියාය. පුදුමයකට මෙන් ආණ්ඩුවේ මෙම පත්කිරිම තවදුරටත් සාධාරණීකරණය කරමින් බිමල් රත්නායක, ලාල්කාන්ත, වසන්ත සමරසිංහ යන ආණ්ඩුවේ ප්‍රබලයන්ද විපක්ෂයේ සිටින තවත් දක්ෂ පිරිස් ආණ්ඩුවට ගැනීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජනතාව තුළ පැවැති එම පුදුමය දෙගුණ තෙගුණ වූ ආකාරයක් දැකගත හැකි විය.

පසුගිය කාලසීමාව පුරාම ජවිපෙ රට ඇතුළේ දේශපාලනය කළේ 76 වසරක සාපයක් රටට පෙන්වමිනි. පාර්ලිමේන්තුවේ 225ම හොරු බව කියමිනි. අත මිට මුදල් ඇති සෑම දේශපාලනඥයෙක්ම හොරු තක්කඩි බවට හංවඩු ගසමිනි. එමෙන්ම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරන සෙල්ලමද එදා සිටම ජවිපෙ දැඩිව හෙළාදැක්කේය. එහිදී ජවිපෙ කියා සිටියේ චන්ද්‍රිකාලා, මහින්දලා, රනිල්ලා කරන මෙම ඔළුගෙඩි සෙල්ලම ජවිපෙ ආණ්ඩුවක් යටතේ වහාම අත්හිටුවන බවත්, කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මාරුකිරීමට ඉඩ නොතබන බවත්ය.
නමුත් 225ම හොරු කියමින් 76 වසරක සාපයක් ගැන කතාකළ ජවිපෙ, බලයට පත්ව හිටිහැටියේම ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළ, හොරු යැයි කී මන්ත්‍රීවරුන් අතර සිටි ඉරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ලබාදීම හරහා පසුගිය දින කීපය පුරා සමාජය ඇතුළේ ජවිපෙ ඇතිකර තිබූ මෙම මතවාදය බරපතළ කඩාවැටීමකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒත් සමගම විපක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන්ගේ නම් කීපයක්ම හුවාදක්වමින් ඔවුන් ආණ්ඩුවට එක්වන බවට පුවත් පළවීමත් සමග තත්ත්වය මේ වනවිට තවත් නරක අතට හැරී ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. එසේ එළියට ආ තවත් එක් නමක් වූයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නමය. ඒ අනුව බොහෝ සමාජ මාධ්‍යවල වාර්තා පළවී තිබුණේ මුදල් අමාත්‍ය ධුරය සහ අගමැති ධුරය සමගින් හර්ෂද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවකි. මෙය හේතුකොට ගෙන පසුගිය සතිය පුරාම හර්ෂටද විවිධ පාර්ශ්වයන්ගෙන් දිගට හරහට ඇමතුම් ලැබුණු අතර, ඒ සියල්ලන්ම හර්ෂගෙන් විමසා සිටියේ මෙම කතාව ඇත්තක්දැයි කියාය. එය කෙතරම් දරුණුවට ගියාද කියනවා නම් එක් නිවේදනයක් නොව, නිවේදන දෙකක්ම සිය මුහුණු පොතේ තබමින් එය ප්‍රතික්ෂේප කිරීමට හර්ෂට සිදුවිය. දෙවැනි වර හර්ෂ සිය මාධ්‍ය නිවේදනය නිකුත් කළේ ඇමෙරිකාවට ගොස් සිටියදීය. එහිදීද ඔහු ෆේස්බුක් සටහනකින් කියා තිබුණේ ආණ්ඩුව මේ වනවිට ෆේල් බවත්, ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත්, තමන් කිසිසේතම ආණ්ඩුවට එක් නොවන බවත්, තවදුරටත් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ඉදිරියටත් කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් මෙම සටහනේ අවසාන භාගයේ පළකොට තිබූ එක්තරා සඳහනකින් හර්ෂ මෙම සිදුවීමෙන් එළියට එන්නට උත්සාහ කර තිබුණද, තවදුරටත් ඔහු එම සිදුවීමේ පැටලී ගොස් තිබූ ආකාරයක් දැකගත හැකි විය. එනම්, හර්ෂ අවසානයේදී සඳහන් කොට තිබුණේ වගකීමක් භාරගෙන කටයුතු කිරීමට තමන් සූදානම් යැයි කියාය. මෙය හර්ෂ ආණ්ඩුවට නොයන බව තහවුරු කිරීම සඳහා පළකළ එකක් බව අපටද පැහැදිලි නමුත් අවසානයේ සඳහන් කොට තිබූ වචන කීපය හේතුකොට ගෙන සමාජය ඇතුළේ තවදුරටත් එම මාතෘකාවද අවසන් වී නොමැති ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන.

කෙසේ වෙතත් හර්ෂගේ මෙම සිදුවීමට තව තවත් ගින්දර වැටුණේ පසුගිය සතිය ආරම්භයේදීම මාධ්‍ය හමුවලට සහභාගි වූ තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, චරිත් අබේසිංහ දැක්වූ අදහස් මුල්කොට ගෙනය. එහිදී තිස්ස කියා සිටියේ මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කොට ඇති බවත්, දැන් දැන් සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා කටයුතු කරමින් සිටින බවත්ය. එහිදී දිස්ත්‍රික්ක තුනක සිටින සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට මාලිමා ප්‍රබලයන් පැමිණ ඇති බවද අනාවරණ කළ තිස්ස, එක්තරා සජබ මන්ත්‍රීවරයකුගේ නිවෙසකදී එම මන්ත්‍රීවරයාගේ බිරිය සහ පුතා විසින් මාලිමා ප්‍රබලයාට බැණවැදී නිවසින් එලවා ඇති බවක්ද සඳහන් කොට සිටියේය. මීට අමතරව මරික්කාර් සඳහන් කොට සිටියේ සජබ කළමනාකරණ කමිටුවේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ බවත්, ඇතැම් සජබ මන්ත්‍රීවරුන් තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම් සිනාසෙමින් සහෝදර සජබ මන්ත්‍රීවරුන්ට සඳහන් කළ බවත්ය. මීට අමතරව චරිත් අබේසිංහ මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සජබයට එක්වී තවමත් වසර එකහමාරක පමණ කාලයක් ගතව ඇති නමුත්, තමන්ටද විවිධ ව්‍යාපාරිකයන් හරහා මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පණිවුඩ එවීමට පටන්ගෙන ඇති බවකි.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ආයතනයක තනතුරකට සජබයේ හිටපු මන්ත්‍රීවරයකු පත්කිරීම හරහා යම් දේශපාලන වාසියක් ලබාගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබුණද මේ වනවිට රට ඇතුළේ මතුව ඇති තත්ත්වය හමුවේ එය වාසියකට වඩා දේශපාලන අවාසියකට පෙරළී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ කිසිවකින් මාලිමාවට ඔළුගෙඩි එක්කර නොගන්නා ප්‍රතිපත්තිමය තීරණයක සිටි ජවිපෙ ඒ සියලු ප්‍රතිපත්ති පසෙක තබා වෙනත් පක්ෂවල හිටපු මැති ඇමැතිවරුන් සහ දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට කටයුතු කරද්දී ප්‍රතිපත්ති මත පිහිටා ජවිපෙට ඡන්දය දුන් පිරිස් සහ මධ්‍යස්ථ කණ්ඩායම් මේ වනවිට දැඩි කලකිරීමකට පත්ව සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මේ බව යම් තරමකින් හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනී ඇති නිසාදෝ ස්වාධීන රූපවාහිනියේ පැවැති දේශපාලන වැඩසටහනකදී ටිල්වින් ඊට අපූරු උත්තරයක් ලබාදෙමින් ඇඟ ගලවා ගැනීමට උත්සාහ ගත් ආකාරයක් පෙනෙන්නට තිබිණි. එහිදී ටිල්වින්ගෙන් මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය අසද්දී ඇඟට පතට නොදැනී ටිල්වින් කීවේ එය ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුවක් යැයි කියාය. ටිල්වින් එය ජනාධිපතිවරයා පිට තබා කැපුවේ රට ඇතුළේ ඊට යම් විරෝධයක් මතුව ඇති බවට වැටහී ගොස් තිබූ නිසා විය යුතුය. අනෙක් අතට එම විරෝධයෙන් ජවිපෙ සහ පැලවත්ත ගලවාගත යුතු නිසා විය යුතුය. නොඑසේ නම් වෙනදා මෙන් එය සාමූහික තීන්දුවක් බව කියමින් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමේ තැනකට ටිල්වින් යායුතුව තිබිණි. නමුත් ටිල්වින් එසේ නොකිරීම මත ඉරාන්ට තනතුරක් දීම හරහා ආණ්ඩුව ඇතුළේද යම් බෙදීමක් හටගෙන ඇති බවක් දැකගත හැකිය.

මීට අමතරව ටිල්වින් කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රිීවරුන් ගන්නවා වෙනුවට ආයතනවල තනතුරු සඳහා යම් යම් පක්ෂවලින් දක්ෂ පුද්ගලයන් එක්කර ගැනීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය. ඒ හරහාද ටිල්වින් ලබාදුන් ඉඟිය වූයේ ආණ්ඩුවේ මැති ඇමැති තනතුරුවලට නොව යම් යම් ආයතනවල සභාපති, අධ්‍යක්ෂ තනතුරු සඳහා මෙසේ වෙනත් පක්ෂවලින් පිරිස් එක්කර ගැනීමට සූදානම් බවකි.

ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුවේ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට රිංගීමට පටන්ගෙන ඇති බවට සජබ ප්‍රධානීන් කළ චෝදනාවේ දෙවැනි අදියර ඉදිරි දින කීපය ඇතුළත එළියට පැමිණිමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව ජවිපෙ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ට ලබාදුන් දුරකතන ඇමතුම්වල හඬපට හෝ ජවිපෙ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට යන එන සී.සී.ටී.වී. දර්ශන සජබය පැත්තෙන් එළියට දැමීමට සූදානමින් සිටින බවක් ආරංචිය. එය එසේ වුවහොත් ඉදිරියේදී ජවිපෙටද චන්ද්‍රිකාලාට, මහින්දලාට, රනිල්ලාට මුහුණ දීමට සිදුවූ දේශපාලන ප්‍රතිඵලවලට සමාන ප්‍රතිඵලයකටම මුහුණ දීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

තවත් කඩාවැටීමක

මේ අතර, ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ රට ඇතුළේ පැලකොට තිබූ තවත් ප්‍රබල මතයක් වූයේ ජවිපෙ තනිවම පළාත් පාලන අතිබහුතරයක බලය පිහිටුවන බවත්, කිසිදු පක්ෂයක් සමග එක්ව බලය අත්පත් කර නොගන්නා බවත්ය. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අගමැතිවරියම වරෙක ප්‍රකාශ කොට තිබුණේ ජවිපෙ කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවන බවත්, මාලිමාව හැරුණු විට අනෙකුත් සියලු පක්ෂ දූෂිත බවත්ය. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු මාලිමාව වේදිකාවලදී ඒ කී සියලු කතා කනපිට පෙරළමින් පළාත් පාලන ආයතන රැසකම බලය පිහිටුවීම සඳහා සජබය හැරුණු විට දූෂිත යැයි කී අනෙකුත් සියලු පක්ෂ සමග සන්ධානගත වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ඇතැම් ස්ථානවල මාලිමාව විසින් දරුණුවටම පහරදුන් පොහොට්ටුව සමග එක්ව සභාපති, උපසභාපති ධුර බෙදාගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි. මීට අමතරව ඇතැම් තැන්වල එජාපය සමගත්, ශ්‍රීලනිපය සමගත්, තොණ්ඩමන්ගේ, රිෂාඩ්ගේ, හකීම්ගේ පක්ෂ සමගත් ඒකාබද්ධ වෙමින් බලය ඇල්ලීමට මාලිමාව කටයුතු කොට තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී පැවැති ජයග්‍රාහී දේශපාලන වටපිටාව හේතුකොට ගෙන ජනතාව අතර ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පැනනැගුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

නමුත් පසුගිය සතියේ සිදුවූ එක්තරා සිදුවීමක් සමග ජවිපෙ සන්ධාන දේශපාලනය පිළිබඳ සමාජය ඇතුළේ නැවත වතාවක් කතාබහට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, මාලිමාවට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ගැනීමට යෑමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ පුවතකි. ඒ සමගම මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙනයමින් කියා තිබුණේ මාලිමාවට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් ගැනීමට යද්දී අත්අඩංගුවට පත්ව ඇතැයි කියාය. ඊට විශාල ප්‍රසිද්ධියක් හිමිවෙද්දී වහාම ජවිපෙ පැත්තෙන් නිකුත් කළ නිවේදන සහ ප්‍රකාශවලින් කියැවුණේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජවිපෙ හෝ මාලිමාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු නොවන බවත්, රිෂාඩ්ගේ පක්ෂය වූ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු බවත්ය. ඒ අනුව, මාලිමාව කුරුණෑගල නගර සභාවේ බලය පිහිටුවීමේදී රිෂාඩ්ගේ පක්ෂය සමග සන්ධානගත වී මාලිමාවට නගරාධිපති ධුරයත්, රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නගරාධිපති ධුරයත් බෙදාගෙන ඇති බව තහවුරු විය. කෙසේ වෙතත් මේ හරහාද දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ 76 වසරක සාපයක් ගැන කියමින් ජනතාව අතර දැවැන්ත මතයක් ගොඩනැගූ ජවිපෙම තවදුරටත් ඒ 76 වසර පුරා තිබූ දේශපාලන ක්‍රමවේදයේම ගමන් කරමින් සිටින බවය. මීට පෙර ජාතික දේශපාලනයේ තිබූ මෙම සිදුවීම් දැන් දැන් ගම් මට්ටමේ දේශාපලනය කරාද පැතිරෙමින් පවතින බවක් මේ හරහා දැකගන්නට පුළුවන.

අතුරු මැතිවරණයක්?

මේ අතරවාරයේදී මීට දින කීපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට ලබාදුන් නියෝගයක් හරහා ඉදිරියේදී දේශපාලන පොර පිටිය තව තවත් උණුසුම් වන ආකාරයේ ලකුණු පහළ කොට ඇති බවක් දැකගන්නට තිබේ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබුණේ සමන්තුරේ නගර සභාවේ සහ කල්මුණේ ප්‍රාදෙශීය සභාවේ සීමානිර්ණයන් පිළිබඳ කටයුතු වහාම ආරම්භ කොට එම සභාවල මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතු බවකි.

සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමට පෙර පැවැති කේවල ඡන්ද ක්‍රමයේදී ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල මෙන් අතුරු මැතිවරණ පැවැත්වීමේ හැකියාව තිබිණි. ඒ අතුරු මැතිවරණ හරියට කාලයෙන් කාලයට ඒ ඒ ආණ්ඩුවල පවතින ජනප්‍රියතාව මැන බලන පරීක්ෂණ හා සමානය. නමුත් සමානුපාතික මැතිවරණ ක්‍රමය ආරම්භ කිරීමත් සමග මෙම අතුරු මැතිවරණ ක්‍රමය අහෝසි වී ගිය අතර, අධිකරණ කටයුත්තක් වැනි සිදුවීමක් පැනනැගුණොත් විනා අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවක් දැකගන්නට නැත. අහම්බයකින් මෙන් මේ ආකාරයේ නඩු තීන්දුවක් හරහා කල්තැබුණු පළාත් පාලන ආයතනයක මැතිවරණයක් පැවැත්වුවහොත් විනා එවැනි ආකාරයේ අතුරු මැතිවරණයක් පැවැත්වීමේ සම්ප්‍රදායක් දැන් ලංකාවේ නැත. උදාහරණයක් ලෙස 2023 පැවැති පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කේන්ද්‍ර කොටගෙන අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මක වීම නිසා එම සභාවේ පමණක් ඒ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වූයේ නැත. අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට දින නියම වූයේ 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියාය. ඒ වනවිට ගෝඨාගේ ආණ්ඩුවේ අවසන් කාලසීමාව පැමිණ තිබූ බැවින් මාලිමාවත්, සමගි ජන බලවේගයත් රට ඇතුළේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව එහි ප්‍රතිඵලය වූයේ මාලිමාව පළමු තැනට පැමිණ, සමගි ජන බලවේගය දෙවැනි තැනට පත්වීමය. නමුත් මාලිමාව ජයග්‍රහණය කළද ඔවුන්ට බහුතර බලය එහි ලබාගත නොහැකි විය. අවසානයේදී 2024 ජනාධිපතිවරණයෙන්ද මාලිමාවට ලැබුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලැබුණු ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක්මය.

ඒ අනුව බලන විට ඉදිරියේදී පැවැත්වීමට නියම කොට ඇති සමන්තුරේ සහ කල්මුණේ සභාවල ප්‍රතිපලය ඉදිරි ප්‍රධාන මැතිවරණවල ප්‍රතිඵල කල්තියා කියැවෙන අතුරු මැතිවරණයක් බඳුය. පසුගිය ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත්, පළාත් පාලන මැතිවරණයේත් උතුරු නැගෙනහිර බහුතර බලයක් ලබාගත්තේ මාලිමාවය. නමුත් ගෙවුණු වසර එකහමාරක කාලය ඇතුළත නැගෙනහිර ප්‍රදේශයේ මාලිමාවේ බලය මේ වනවිට යම් අර්බුදයකට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ දකුණේද මාලිමාවේ බලය යම් තරමක අර්බුදයකට ලක්ව ඇති නිසා මාලිමාව මේ වනවිට උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තබාගෙන ඇති බවකි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමන්තුරේ සහ කල්මුණේ සභාවල ජයග්‍රහණ ආණ්ඩුවටත්, විපක්ෂටත් එක හා සමාන ලෙස තීරණාත්මක වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

එම සංඥාව මේ වනවිට හොඳින්ම කියවාගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලද වහා සජිත් කළේ ඉකුත් මැතිවරණවලදී සමන්තුරේ සහ කල්මුණේ ප්‍රදේශවල ඡන්දය හැසිරුණු ආකාරය පෙන්වන වාර්තා සියල්ලම ගෙන්වා ගැනීමය. ඒ අනුව වහාම සූම් තාක්ෂණය ඔස්සේ එම ප්‍රදේශවල සජබ ආසන සංවිධායකවරුන් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට සජිත් පියවර ගත්තේය. මීට අමතරව සමගි ජන සන්ධානයේ නායකයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් සමගද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමටද සජිත් කටයුතු කළේය. පසුගිය සතියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවට මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් සහ තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් එක්ව සිටියේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුව විය යුතුය. ඒ අනුව දැනට තියෙන තත්ත්වය යටතේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ප්‍රථම නැගෙනහිර පළාතේ කල්මුණේ සහ සමන්තුරේ සභාවල මැතිවරණ පවත්වා අවසන් කළ යුතුය. ඒ හරහා ඉදිරි ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයක ප්‍රතිඵල කල්තියාම ප්‍රධාන පක්ෂ සියල්ලටම කියවා ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇත.

මහා රැලිය සම්මන්ත්‍රණයට බහී

සජබ මැයි රැලිය සාර්ථක වීමත් සමග සජබ එජාප එකමුතුව කැඩීමට මාන බලමින් සිටින එජාපයේ භූතයන් දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය සති කීපයේම ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ අනාවරණයක් සිදුකළේය. පසුගිය සතියේ අප එම භූතයන් දෙදෙනාගේ නම්ද සඳහන් කිරීමට පියවර ගත් නිසා දැන් ඔබ මේ භූතයන් දෙදෙනා කවුරුන්ද යන්න හොඳහැටි දන්නවා විය යුතුය. ඒ අනුව සජබ මැයි රැලිය සාර්ථක වීමත් සමග මේ භූතයන් දෙදෙනා නැවත වතාවක් සජබ – එජාප සමගිය කැඩීමට අලුත් මාවතක් තෝරාගත්තේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පෙරටුකොට ගෙනය. ඒ අනුව පරාජයට පත්ව සිටින පක්ෂ කීපයක නියෝජිතයන් ජී.එල්. පීරිස් මහතාගේ නිවසට ගෙන්වාගෙන ජනතාව අතර දිනෙන් දින තම තැන තහවුරු කරගන්නා සජබයේ ගමන කෙසේ හෝ අඩපණ කිරීමේ මාර්ගයක් සොයාගැනීමට මැයි රැලියෙන් පසු මේ භූතයන් දෙදෙනා දිගින් දිගටම කටයුතු කළහ. ඒ අනුව අවසානයේදී තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂය නමැති බෝඩ් ලෑල්ල යටතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අනෙකුත් පක්ෂ එකතු කොට ගෙන මාතර දැවැන්ත රැලියක් පැවැත්වීමටය. ඊට සෙනඟ ගෙන්වීමේ කටයුත්ත එජාප ජාතික සංවිධායක සාගල රත්නායකට භාරදීමට පියවර ගැනිණි. ඒ අනුව සාගලද මුළු මාතර දිස්ත්‍රික්කය පුරා එජාප සංවිධායකවරුන්ට කතා කරමින් බස් ලබාදිය හැකි බව කියමින් මාතර රැලියට සෙනඟ ගෙන්වීමේ කටයුත්තට අත ගැසුවේය.

නමුත් දින කීපයක් යද්දී තමන් බලාපොරොත්තු වූ ආකාරයට එජාප පාක්ෂිකයන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බව සාගලට වැටහිණි. ඒ අනුව මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය වැනි දැවැන්ත ක්‍රීඩා පිටියක විශාල ජනතාවක් ගෙන්වා පැවැත්වීමට සූදානම් කළ මහා රැලිය අවසානයේදී මාතර නූපේ පිහිටි සණස ශාලාවේ සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්වීමට එජාප ප්‍රධානීහු තීන්දු කළහ. නමුත් එජාප පාක්ෂිකයන්ගෙන් පමණක් සණස ශාලාව හෝ පිරවිය නොහැකි බව වැටහී ගොස් තිබූ නිසා අවසානයේදී සාගල කළේ ශ්‍රීලනිපයේ ප්‍රබලයකු වන දුමින්ද දිසානායකට කතාකොට සම්මන්ත්‍රණයට සෙනඟ ගෙන්වා ගැනීම සඳහා උදව් ඉල්ලා සිටීමය. ඒ අනුව දුමින්දද මාතර ශ්‍රීලනිප නියෝජිතයන්ට කතාකොට රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කොට තිබිණි. එජාපයට අමතරව ශ්‍රීලනිපය, චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂවලට අමතරව ජී.එල්. පීරිස් වැනි හිටපු පාර්ශ්වයන් රැසක් සහ සංවිධාන 18ක් සමග පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටියේ 600කට ආසන්න ප්‍රමාණයක් වීම විශේෂ සිදුවීමක් විය. එම සම්මන්ත්‍රණයේදී සාගල රත්නායක, චාමර සම්පත් දසනායක, චම්පික රණවක, ජී.එල්. පීරිස් ආදී පිරිස් අදහස් දැක්වූ ආකාරයද දැකගත හැකි විය.

නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු කැපීපෙනෙන සිදුවීම වූයේ එජාපයේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුවද එජාපයේ ඡන්ද පදනමක් ඇති, දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් කිසිවකුත් මාතර වේදිකාවේ දැකගන්නට නොලැබීමය. ඒ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු, එජාප නියෝජ්‍ය උපසභාපති නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් මාතර රැලියට සහභාගි නොවූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සජබ මැයි රැලියට එජාපයට ආරාධනා කිරීමෙන් පසු ඊට සහභාගි නොවන බවට මාධ්‍ය හමු පවත්වමින් සජබය උපහාසයට ලක්කළ එජාප මහලේකම් තලතා අතුකෝරාලද එම සම්මන්ත්‍රණයට සහභාගි නොවී සිටීම විශේෂ සිදුවීමක් විය. සජබ මැයි රැලියට සහභාගි නොවන බව කියමින් තලතා පැවැත්වූ මාධ්‍ය හමුවෙන් අනතුරුව පාක්ෂිකයන්ගෙන් තලතාට එල්ල වූ දැඩි විරෝධය ඊට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත.

කෙසේ වෙතත් සජබ – එජාප එකමුතුව කැඩීමට කටයුතු කරන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා බවට පසුගිය කාලයේදී එජාප ප්‍රධානීන්ගෙන් යම් චෝදනාවක් එල්ල වී තිබිණි. ඊට හේතු වශයෙන් ඔවුන් කියා සිටියේ සජිත් කල් මරනවා යැයි කියාය. කෙසේ වෙතත් සජබ මැයි රැලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ප්‍රබල එජාප ක්‍රියාකාරිකයකු පසුගිය සතියේ කිසිවකුටත් ලැබී නොතිබුණු විශේෂ ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ පළකරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්කිරීමට කටයුතු කර තිබිණි. ඔහු සජබ මහලේකම් ඉතා ආචාරශීලී ලෙස එජාප නායකයා ආමන්ත්‍රණය කරමින් සජබ මැයි රැලියට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණද, එය තඹයකට මායිම් නොකොට රනිල් කටයුතු කළ ආකාරය පිළිබඳව මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක්කොට තිබිණි. ඔහු පළකොට තිබූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එජාප නායකයා වෙත එවා තිබූ ලිපිය පහත දැක්වේ.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,

‘පච මදිවට හොරු – විකල්පයේ මැයි දිනය’ – ගෞරවනීය ආරාධනයයි

‘පච මදිවට හොරු – විකල්පයේ මැයි දිනය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරනු ලබන මැයි දින සැමරුම් වැඩසටහන එළඹෙන මැයි පළමුවැනිදා සවස 2ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සැමගේම ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ අප පක්ෂ ද්විත්වය එක්ව දේශපාලන ගමනක් යනු දැකීම බව නොරහසකි. ඒ පිළිබඳ වන පක්ෂ නායකත්ව මට්ටමේ වූ සාකච්ඡාද ඉතා සාර්ථකව ඉදිරියට යන මේ මොහොතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරනු ලබන මැයි දින වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය නියෝජනය කරමින් නියෝජනයක් හෝ නියෝජිත කණ්ඩායමක් සහභාගි කරවිම තුළින් සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ මෙම ඒකාබද්ධ දේශපාලන ගමනට මහත් ආශීර්වාදයක් එක්වනු ඇති බව මාගේ විශ්වාසය වන අතර, පසුගිය එක්සත් ජාතික පක්ෂ සංවත්සරය නිමිත්තෙන් මා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් සහභාගි වූ බව ඔබතුමන්ට ගෞරවයෙන් සිහිපත් කරමි.

එබැවින් මෙම මැයි දින වැඩසටහන සඳහා එක්වීම සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මේ සඳහා ඔබතුමන් හා එක්සත් ජාකින පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයෙක් හෝ නියෝජිත කණ්ඩායමක් සහභාගි කරවන ලෙස ඉල්ලා සිටින අතර, තවද මෙම ‘පච මදිවට හොරු – විකල්පයේ මැදි දිනය’ වැඩසටහන වෙනුවෙන් ඔබතුමන්ගේ සුභාශිංසන පණිවුඩයක් ලබාදෙන මෙන්ද ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

විශේෂයෙන්ම ඔබතුමන්ට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවායිද මා ප්‍රාර්ථනා කර සිටිමි.

ස්තුතියි, මෙයට හිතවත්
රංජිත් මද්දුමබණ්ඩාර (පා.ම.)
මහලේකම්, සමගි ජන බලවේගය

නාමල්ව ගෙන්වයි

කෙසේ වෙතත් මාතර සම්මන්ත්‍රණය අසාර්ථක වුවද එය සාර්ථක බව පෙන්වමින් එජාපයේ නිවුස් ප්ලාන්ට් කල්ලිය සහ එජාප භූතයන් කටයුතු කරද්දී සැබෑ ලෙසටම එම සම්මන්ත්‍රණය සාර්ථක එකක් වූවාදැයි කියා දැනගැනීමට රනිල්ටද අවශ්‍ය වී තිබිණි. ඒ අනුව විවිධ පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳ කරුණු විමසද්දී රැස්වීම අන්තිම අසාර්ථක බවත්, ඊට එජාපයේ ප්‍රධානීන් කිසිවකුත් සහභාගි වී නොසිටි බවත් රනිල්ට දැනගත හැකි විය. ඒ අනුව රනිල් සජබයේ ඉදිරි ගමන කෙසේ හෝ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් පසුගිය සතියේ විශේෂ අමුත්තෙකුට තමා හමුවන ලෙසට පණිවුඩයක් යැවීය. ඒ අමුත්තා වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ ජාතික සංවිධායකයා වන නාමල් රාජපක්ෂය. පසුගිය අඟහරුවාදා දිනයේදී තමන් හමුවන ලෙසට රනිල් නාමල්ට දැනුම් දුන්නද නාමල් මුලින්ම කියා සිටියේ තමන්ට අඟහරුවාදා විශේෂ කටයුත්තක් යෙදී ඇති බැවින්, බදාදා දිනයේදී රනිල් හමුවීමට පැමිණෙන්නම් යැයි කියාය. ඒ අනුව බදාදා දිනයේදී නාමල් පැමිණිමෙන් පසු ආගිය තොරතුරු කතාබස් කිරීමෙන් අනතුරුව රනිල් නාමල්ට දැනුම්දී සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන සම්මන්ත්‍රණ මාලාවට පොහොට්ටුවද එකතු වීමට කාලය පැමිණ ඇතැයි කියාය. නමුත් නාමල් ගත් කටටම ඊට දුන්නේ අපූරු පිළිතුරකි.

‘ඇයි ඔබතුමාලා මේකට සජබය එකතු කරගන්නේ නැත්තේ?’ යනුවෙන් නාමල් රනිල්ගෙන් ප්‍රශ්න කරද්දී රනිල් කියා සිටියේ සජබය ඊට නොපැමිණෙන බවකි.

‘අපි ඔය සම්මන්ත්‍රණයට ආවේ නැති වුණාට මේ වෙලාවේ හොඳම දේ තමයි සජබයයි යූ.ඇන්.පී. එකයි එකතු කරන එක. ඒක තමයි විපක්ෂය ශක්තිමත් කරන්න තියෙන හොඳම දේ…’ යනුවෙන් නාමල් කියද්දී රනිල් නැවතත් කියා සිටියේ සජබ එජාප එකමුතු කරන සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් නැවතත් කියා සිටියේ යම් විශේෂ කරුණුවලදී පොහොට්ටුවටද ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව කටයුතු කළ හැකි වුවත්, මුලින්ම සජබය සහ එජාපය එක්ව කටයුතු කිරීම මේ අවස්ථාවේදී කළ හැකි හොඳම දේ යැයි කියාය.

මෙම සාකච්ඡාව හරහා රනිල් උත්සාහ කළේ මාතර අසාර්ථක වූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණය ඊළඟ අදියරට පොහොට්ටුවද එකතු කරගෙන කෙසේ හෝ එය සාර්ථක කරගැනීමටය. රනිල්ගේ මේ සටකපටකම් දැන් දේශපාලනයේ තෙම්පරාදු වී සිටින නාමල් හොඳහැටි වටහාගෙන ඇති බවක් ඔහු ලබාදුන් පිළිතුරු හරහා දැකගත හැකි විය.

ඒ ආකාරයට දෙදෙනා අතර ඇදී ගිය සාකච්ඡාව අවසානයේදී රනිල් කළ එක්තරා ප්‍රකාශයක් හේතුකොටගෙන නාමල්ගේ ඇස් උඩ ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් ඉලක්ක කොටගෙන රනිල් කළ ප්‍රකාශය ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී ඇති නමුත් අප එය මේ මොහොතේ රටට හෙළිදරව් කිරීමට කටයුතු නොකරමු. නමුත් තීරණාත්මක මොහොතකදී රනිල් නාමල්ට කළ එම යෝජනාව සාධක සාක්ෂි සහිතව රටට හෙළිදරව් කිරීමට අප කටයුතු කරන බවද මෙහිදී සඳහන් කරමු.

මීට අමතරව එජාපයේ ඉහළම තැන්වලින් මේ වනවිට නිවුස් ප්ලාන්ට් කල්ලියටත්, එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් පසුගිය සතියේ තවත් විශේෂ පණිවුඩයක් ලැබී තිබිණි. එම පණිවුඩයෙන් කියවී තිබුණේ සජබය සහ සජිත් ඉලක්ක කොට ගෙන ඉදිරි දින කීපය ඇතුළත දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන ලෙසය. ඊට විවිධ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදෙන ලෙසටද එම පණිවුඩයෙන් දැනුම්දී ඇති බවක්ද ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඉරානයෙන් අමෙරිකාවේ තෙල්වලට හිතාගන්න බැරි ප්‍රහාරයක්!  I Sri Lanka Latest News

Next Post

ටිල්වින් ගුටි කෑවද? I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.