මාලිමා ආණ්ඩුව ඇතුළේ කටයුතු මෙසේ සිදුවෙමින් පවතිද්දී පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ එළියට ආ තවත් තොරතුරකින් දේශපාලන කරළිය හෙල්ලී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙම තොරතුර පළමු වරට අනාවරණ කළේ ලන්ඩනයේ ජීවත් වන ජනාධිපතිවරයාට සහ මාලිමාවට අතිශය සමීප අයකු ලෙස සැලකෙන උවිඳු කුරුකුලසූරිය විසිනි. එහිදී ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී යම් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවකි. උවිඳු මෙම තොරතුර වාර්තා කිරීමත් සමග තල් අත්තට බොරළු ගැසුවාක් මෙන් අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම පුවතට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් කියා සිටියේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට පහරදීමක් සිදුව ඇති බවකි. ඒ අනුව, සමාජ මාධ්‍යයේ විවිධ පෝස්ට් සංසරණය වූ ආකාරයක් දැකගත හැකි වූ අතර, ඇතැමුන් ටිල්වින්ට පහරදෙන ආකාරයේ ඡායාරූප ඒ.අයි. තාක්ෂණයෙන් නිර්මාණය කොට සමාජ මාධ්‍ය ජාලාවල පළකොට තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව කාටත් නොදැනීම මෙම පුවත සමාජය ඇතුළේ විශාල ප්‍රවෘත්තියක් බවට පත්වන ආකාරයක් පෙණින. ඒ සමගම පොහොට්ටුවේ දේශපාලන සාකච්ඡාවකදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂද ඇතැමුන්ගේ නම් ගම් සඳහන් කරමින්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා එම පුවතට නිල බවක් ලැබුණු ආකාරයක්ද දැකගත හැකි විය.Sri Lanka Latest News
කෙසේ වෙතත් ජවිපෙ පැත්තෙන් මුලින් තීරණය කොට තිබුණේ මෙම පුවත සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමටය. මුලදි එසේ තීරණය කොට තිබුණත් උවිඳු පළකළ එම පුවතට තටු ලැබී තිබීම නිසා අවසානයේදී ටිල්වින් සිල්වාට ඊට මොන යම් හෝ ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබිණි. ඒ අනුව තමන්ට හිතවත් යූටියුබ් නාලිකාවක් හරහා හිටිහැටියේම පෙනී සිටි ටිල්වින්, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ මෙම පුවත පිළිබඳවද අදහස් දැක්වීමට කටයුතු කළේය. එහිදී යූටියුබ් මාධ්‍යවේදියා ටිල්වින්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහු එම පුවත හාස්‍යයට ලක්කරමින් සිනාසෙමින් පිළිතුරු දුන් ආකාරයක් දැකගත හැකි විය. ටිල්වින් එසේ සිනාසෙමින් පිළිතුරු දුන්නද එවැනි ගුටිබැට හුවමාරුවක් සිදුවූ බව පිළිගන්නා පිරිස් තවමත් සිටින බව සමාජ මාධ්‍යයේ පළවන පුවත් සහ පෝස්ට්වලින් දැකගැනීමට පුළුවන. ඒ නිසාම එවැන්නක් සිදු නොවූ බව තහවුරු කිරීමට මාලිමා මන්ත්‍රීවරුන්ද ටිල්වින්ගේ මේ යූටියුබ් සාකච්ඡාව තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළකිරීමට කටයුතු කොට තිබිණි. නමුත් එතැනින්ද ටිල්වින්ට පහරදීමක් සිදුව ඇති බවට පළවූ පුවතට තිත වැටුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ නිසාම පසුගිය සතියේ ටිල්වින් කළේ රාජ්‍ය නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනියට පැමිණ සජීවී සාකච්ඡාවකට එක්වීමය. එහිදීද මෙම පුවත අසත්‍යයක් බව කියමින් බැහැර කිරීමට ටිල්වින් කටයුතු කොට තිබිණි.
එසේ කළා කියා හෝ උවිඳු පත්තු කළ මෙම දේශපාලන බෝම්බයේ රස්නය නිවුණේ නැත. ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍යවල කියැවුණේ මෙම පහරදීමට ලාල්කාන්තද සම්බන්ධ යැයි කියාය. ඒ අනුව සිදුවීම ලාල්කාන්තගේ දෙසට හැරෙද්දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සමාජ මාධ්‍යයට ප්‍රහාර එල්ල කිරීමට ලාල්කාන්ත කටයුතු කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. මේ ආකාරයට සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු පළවුවද මෙම සිදුවීම සත්‍යද යන්න පිළිබඳ තහවුරු වූ පුවතක් සොයාගැනීමට අපටද නොහැකි විය. නමුත් කුමන ආකාරයෙන් ප්‍රතික්ෂේප කළද එවැනි පහරදීමක් ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සිදුවූ බවට විශ්වාස කරන විශාල පිරිසක් සමාජයේ නැත්තේ නොවේ.
වටේටම එන්න කියලා
මේ ආකාරයට ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සිදුවූවා යැයි කියන පහරදීමේ සිද්ධියෙන් පසු තවත් මතවාදීමය කඩාවැටීමකට ජවිපෙට මුහුණ දීමට සිදුවූයේ පළමු වතාවට පක්ෂයෙන් පිටත වෙනත් පක්ෂයක සිටින ආසන සංවිධායකවරයකුට සහ තනතුරු දරන්නකු වූ ඉරාන් වික්‍රමරත්නට ආණ්ඩුවේ ආයතනයක තනතුරක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හරහාය. මෙසේ ජවිපෙ ඉරාන් පත්කිරීමත් සමග සියලු දෙනාම පුදුමයට පත්වූයේ මාලිමාවේ සහ ජවිපෙ තුළ මෙපමණ ප්‍රමාණයක් උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් සිටියදී ආණ්ඩුව එවැනි තනතුරකට සජබයේ නියෝජිතයකු තෝරාගත්තේ ඇයිදැයි කියාය. පුදුමයකට මෙන් ආණ්ඩුවේ මෙම පත්කිරිම තවදුරටත් සාධාරණීකරණය කරමින් බිමල් රත්නායක, ලාල්කාන්ත, වසන්ත සමරසිංහ යන ආණ්ඩුවේ ප්‍රබලයන්ද විපක්ෂයේ සිටින තවත් දක්ෂ පිරිස් ආණ්ඩුවට ගැනීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජනතාව තුළ පැවැති එම පුදුමය දෙගුණ තෙගුණ වූ ආකාරයක් දැකගත හැකි විය.
පසුගිය කාලසීමාව පුරාම ජවිපෙ රට ඇතුළේ දේශපාලනය කළේ 76 වසරක සාපයක් රටට පෙන්වමිනි. පාර්ලිමේන්තුවේ 225ම හොරු බව කියමිනි. අත මිට මුදල් ඇති සෑම දේශපාලනඥයෙක්ම හොරු තක්කඩි බවට හංවඩු ගසමිනි. එමෙන්ම පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරන සෙල්ලමද එදා සිටම ජවිපෙ දැඩිව හෙළාදැක්කේය. එහිදී ජවිපෙ කියා සිටියේ චන්ද්‍රිකාලා, මහින්දලා, රනිල්ලා කරන මෙම ඔළුගෙඩි සෙල්ලම ජවිපෙ ආණ්ඩුවක් යටතේ වහාම අත්හිටුවන බවත්, කිසිදු මන්ත්‍රීවරයකුට පක්ෂ මාරුකිරීමට ඉඩ නොතබන බවත්ය.
නමුත් 225ම හොරු කියමින් 76 වසරක සාපයක් ගැන කතාකළ ජවිපෙ, බලයට පත්ව හිටිහැටියේම ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළ, හොරු යැයි කී මන්ත්‍රීවරුන් අතර සිටි ඉරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ලබාදීම හරහා පසුගිය දින කීපය පුරා සමාජය ඇතුළේ ජවිපෙ ඇතිකර තිබූ මෙම මතවාදය බරපතළ කඩාවැටීමකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒත් සමගම විපක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන්ගේ නම් කීපයක්ම හුවාදක්වමින් ඔවුන් ආණ්ඩුවට එක්වන බවට පුවත් පළවීමත් සමග තත්ත්වය මේ වනවිට තවත් නරක අතට හැරී ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. එසේ එළියට ආ තවත් එක් නමක් වූයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නමය. ඒ අනුව බොහෝ සමාජ මාධ්‍යවල වාර්තා පළවී තිබුණේ මුදල් අමාත්‍ය ධුරය සහ අගමැති ධුරය සමගින් හර්ෂද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවකි. මෙය හේතුකොට ගෙන පසුගිය සතිය පුරාම හර්ෂටද විවිධ පාර්ශ්වයන්ගෙන් දිගට හරහට ඇමතුම් ලැබුණු අතර, ඒ සියල්ලන්ම හර්ෂගෙන් විමසා සිටියේ මෙම කතාව ඇත්තක්දැයි කියාය. එය කෙතරම් දරුණුවට ගියාද කියනවා නම් එක් නිවේදනයක් නොව, නිවේදන දෙකක්ම සිය මුහුණු පොතේ තබමින් එය ප්‍රතික්ෂේප කිරීමට හර්ෂට සිදුවිය. දෙවැනි වර හර්ෂ සිය මාධ්‍ය නිවේදනය නිකුත් කළේ ඇමෙරිකාවට ගොස් සිටියදීය. එහිදීද ඔහු ෆේස්බුක් සටහනකින් කියා තිබුණේ ආණ්ඩුව මේ වනවිට ෆේල් බවත්, ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත්, තමන් කිසිසේතම ආණ්ඩුවට එක් නොවන බවත්, තවදුරටත් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ඉදිරියටත් කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත් මෙම සටහනේ අවසාන භාගයේ පළකොට තිබූ එක්තරා සඳහනකින් හර්ෂ මෙම සිදුවීමෙන් එළියට එන්නට උත්සාහ කර තිබුණද, තවදුරටත් ඔහු එම සිදුවීමේ පැටලී ගොස් තිබූ ආකාරයක් දැකගත හැකි විය. එනම්, හර්ෂ අවසානයේදී සඳහන් කොට තිබුණේ වගකීමක් භාරගෙන කටයුතු කිරීමට තමන් සූදානම් යැයි කියාය. මෙය හර්ෂ ආණ්ඩුවට නොයන බව තහවුරු කිරීම සඳහා පළකළ එකක් බව අපටද පැහැදිලි නමුත් අවසානයේ සඳහන් කොට තිබූ වචන කීපය හේතුකොට ගෙන සමාජය ඇතුළේ තවදුරටත් එම මාතෘකාවද අවසන් වී නොමැති ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන.
කෙසේ වෙතත් හර්ෂගේ මෙම සිදුවීමට තව තවත් ගින්දර වැටුණේ පසුගිය සතිය ආරම්භයේදීම මාධ්‍ය හමුවලට සහභාගි වූ තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, චරිත් අබේසිංහ දැක්වූ අදහස් මුල්කොට ගෙනය. එහිදී තිස්ස කියා සිටියේ මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කොට ඇති බවත්, දැන් දැන් සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පැමිණ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පවා කටයුතු කරමින් සිටින බවත්ය. එහිදී දිස්ත්‍රික්ක තුනක සිටින සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට මාලිමා ප්‍රබලයන් පැමිණ ඇති බවද අනාවරණ කළ තිස්ස, එක්තරා සජබ මන්ත්‍රීවරයකුගේ නිවෙසකදී එම මන්ත්‍රීවරයාගේ බිරිය සහ පුතා විසින් මාලිමා ප්‍රබලයාට බැණවැදී නිවසින් එලවා ඇති බවක්ද සඳහන් කොට සිටියේය. මීට අමතරව මරික්කාර් සඳහන් කොට සිටියේ සජබ කළමනාකරණ කමිටුවේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ බවත්, ඇතැම් සජබ මන්ත්‍රීවරුන් තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම් සිනාසෙමින් සහෝදර සජබ මන්ත්‍රීවරුන්ට සඳහන් කළ බවත්ය. මීට අමතරව චරිත් අබේසිංහ මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් සජබයට එක්වී තවමත් වසර එකහමාරක පමණ කාලයක් ගතව ඇති නමුත්, තමන්ටද විවිධ ව්‍යාපාරිකයන් හරහා මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පණිවුඩ එවීමට පටන්ගෙන ඇති බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුවේ ආයතනයක තනතුරකට සජබයේ හිටපු මන්ත්‍රීවරයකු පත්කිරීම හරහා යම් දේශපාලන වාසියක් ලබාගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබුණද මේ වනවිට රට ඇතුළේ මතුව ඇති තත්ත්වය හමුවේ එය වාසියකට වඩා දේශපාලන අවාසියකට පෙරළී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ කිසිවකින් මාලිමාවට ඔළුගෙඩි එක්කර නොගන්නා ප්‍රතිපත්තිමය තීරණයක සිටි ජවිපෙ ඒ සියලු ප්‍රතිපත්ති පසෙක තබා වෙනත් පක්ෂවල හිටපු මැති ඇමැතිවරුන් සහ දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට කටයුතු කරද්දී ප්‍රතිපත්ති මත පිහිටා ජවිපෙට ඡන්දය දුන් පිරිස් සහ මධ්‍යස්ථ කණ්ඩායම් මේ වනවිට දැඩි කලකිරීමකට පත්ව සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මේ බව යම් තරමකින් හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනී ඇති නිසාදෝ ස්වාධීන රූපවාහිනියේ පැවැති දේශපාලන වැඩසටහනකදී ටිල්වින් ඊට අපූරු උත්තරයක් ලබාදෙමින් ඇඟ ගලවා ගැනීමට උත්සාහ ගත් ආකාරයක් පෙනෙන්නට තිබිණි. එහිදී ටිල්වින්ගෙන් මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය අසද්දී ඇඟට පතට නොදැනී ටිල්වින් කීවේ එය ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුවක් යැයි කියාය. ටිල්වින් එය ජනාධිපතිවරයා පිට තබා කැපුවේ රට ඇතුළේ ඊට යම් විරෝධයක් මතුව ඇති බවට වැටහී ගොස් තිබූ නිසා විය යුතුය. අනෙක් අතට එම විරෝධයෙන් ජවිපෙ සහ පැලවත්ත ගලවාගත යුතු නිසා විය යුතුය. නොඑසේ නම් වෙනදා මෙන් එය සාමූහික තීන්දුවක් බව කියමින් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමේ තැනකට ටිල්වින් යායුතුව තිබිණි. නමුත් ටිල්වින් එසේ නොකිරීම මත ඉරාන්ට තනතුරක් දීම හරහා ආණ්ඩුව ඇතුළේද යම් බෙදීමක් හටගෙන ඇති බවක් දැකගත හැකිය.
මීට අමතරව ටිල්වින් කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රිීවරුන් ගන්නවා වෙනුවට ආයතනවල තනතුරු සඳහා යම් යම් පක්ෂවලින් දක්ෂ පුද්ගලයන් එක්කර ගැනීමට ආණ්ඩුව සූදානම් යැයි කියාය. ඒ හරහාද ටිල්වින් ලබාදුන් ඉඟිය වූයේ ආණ්ඩුවේ මැති ඇමැති තනතුරුවලට නොව යම් යම් ආයතනවල සභාපති, අධ්‍යක්ෂ තනතුරු සඳහා මෙසේ වෙනත් පක්ෂවලින් පිරිස් එක්කර ගැනීමට සූදානම් බවකි.
ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුවේ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට රිංගීමට පටන්ගෙන ඇති බවට සජබ ප්‍රධානීන් කළ චෝදනාවේ දෙවැනි අදියර ඉදිරි දින කීපය ඇතුළත එළියට පැමිණිමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව ජවිපෙ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ට ලබාදුන් දුරකතන ඇමතුම්වල හඬපට හෝ ජවිපෙ ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට යන එන සී.සී.ටී.වී. දර්ශන සජබය පැත්තෙන් එළියට දැමීමට සූදානමින් සිටින බවක් ආරංචිය. එය එසේ වුවහොත් ඉදිරියේදී ජවිපෙටද චන්ද්‍රිකාලාට, මහින්දලාට, රනිල්ලාට මුහුණ දීමට සිදුවූ දේශපාලන ප්‍රතිඵලවලට සමාන ප්‍රතිඵලයකටම මුහුණ දීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.











