ලෝකෙ හිටපු විශිෂ්ට නායකයෝ පරිසරයට ආදරය කළා. එහෙම කෙනෙක් තමයි ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විදිහට හිටපු ඇල් ගෝර්. 1993 ඉඳලා 2001 දක්වා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා යටතේ 45 වැනි එක්සත් ජනපද උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරපු ඇල් ගෝර් ලෝකෙ විශිෂ්ටතම ජනාධිපතිවරයෙක් වෙන්න හිටපු කෙනෙක්. නමුත් අවාසනාවකට ඒක එහෙම වුණේ නැහැ. ඔහුට ජනාධිපති පුටුවේ ඉඳගන්න බැරි වුණාට, දේශගුණ විපර්යාස පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඔහු දරපු උත්සාහය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පවා ඔහුට ලැබුණා. Sri Lanka Latest News
‘අසුබ සත්‍යයක්’ කියන නමින් ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ ඔහු නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයට මුළු ලෝකෙම අවධානය යොමුවුණා.
කොහොම නමුත් කාලෙකින් බිහිවෙච්ච, පරිසරයට සත්තුන්ට ආදරය කරන මනුස්සයෙක් විදිහට අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාවත් සලකන්න පුළුවන්. ඔහු කොහොමත් පරිසරයට ආදරය කරන කෙනෙක්. ඔහු හොඳ පරිසර ඡායාරූප ශිල්පියෙක්. ඔහු මේ වෙලාවේ පරිසරය සම්බන්ධව යම් කණ්ඩායමක් හදාගෙන පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ මැදිහත් වෙමින් ඉන්න අවස්ථාවක්.
අපිට මතකයි මාලිමා ආණ්ඩුව පත්වෙන්න කලින් ඒගොල්ලොන්ටත් පරිසරය පිළිබඳ පුදුම ආදරයක් පුදුම ඇල්මක් තිබුණා. අර පඬුකරඳ ගහේ කතාව එහෙමත් ආවේ පරිසරයට ඇති වෙච්ච ආදරය නිසාම තමයි. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය හරිත දේශපාලන බලවේගයක් විදිහට පාර්ලිමේන්තුවේදී පරිසර සංරක්ෂණය සඳහා වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු සංසදය පිහිටුවලා තියෙනවා. වනජීවී සුරක්ෂිතතාව, සාගර සම්පත් සුරක්ෂිතතාව ආදී ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය වන විදිහටයි මේ කමිටුව සංවිධාන කරලා තියෙන්නෙ.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තිබුණේ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමත් සමග ඇතිවී තිබෙන පරිසර විපර්යාසයන්ට පොදු ජනතාවගේ ජන ජීවිතයට අතිශය හානිකර ලෙස මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාම ඒ සම්බන්ධව අපි සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතිව මේ සම්බන්ධව ඇති කරගන්න එකඟතාවන්වලට නොගියොත්, නැත්තම් මේ පිළිබඳ සාකච්ඡා නොකළොත් තවදුරටත් පරිසරය කියන එක අපෙන් ඈතට යාවි, අපිට ආරක්ෂා කරගන්න බැරි වේවි කියලා.
ඉතින් අපි දන්නවා දැන් ලෝකයේ සංවර්ධන දර්ශක වෙනස් වෙලා තියෙන්නේ. ලෝකයේ සංවර්ධනය සඳහා ඉස්සර මිනුම් දඬු විදිහට පාවිච්චි කළේ ආර්ථිකමය සාධක. නමුත් පසුව ඒවා වෙනස් වෙන්න පටන් ගත්තා. තිරසර සංවර්ධනය කියන සංකල්පය ලෝකෙට ආවා. පරිසරය ආරක්ෂා කරන, ගහ කොළ ආරක්ෂා කරන, ඕසෝන් වියන සුරකින පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළවල් සකස් කරපු, ජන ඝනත්වයට සාපේක්ෂව පරිසර ඝනත්වය නැත්නම් වනාන්තර ඝනත්වය ඉහළ රටවල් තමයි සංවර්ධිත රටවල් විදිහට අද වෙද්දි ලෝකය මනින්නෙ සහ ලෝකය පිළිගන්නෙ.
ඉතින් ඒ නිසාම අපි හිතනවා සජිත් ප්‍රේමදාස මහත්තයලගෙ මේ ව්‍යාපෘතිය නැත්නම් මේ සංකල්පය ඉතාම වැදගත් එකක් වේවි කියලා. ලංකාවෙත් මෙවැනි පරිසරයට ආදරය කරපු දේශපාලනඥයෝ හිටියා. ඩඩ්ලි සේනානායක වගේ කට්ටිය පරිසරයට ආදරය කළා. පරිසරය කියලා කියන්නේ දේශපාලන පොරොන්දුවක් නෙමෙයි. ගස්කොළන්, සතුන් සිවුපාවෝ ඒ වගේම පාරිසරික විපර්යාසවල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳ අපි අවධානය යොමුකළ යුතුමයි.
පරිසරය ආරක්ෂා නොකර, ඕසෝන් වියන ආරක්ෂා නොකර අපිට මේ ගමන යන්න බෑ. රටක් විදිහට නෙමෙයි ලෝකයක් විදිහට පවා අවධානය යොමු කළ යුතු ඉතාම වැදගත් සත්‍යතාවක්. ලෝකයේ කිසිම රටකට අද වෙද්දි තමන්ට හිතුවක්කාර විදිහට ගමනක් යන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව තමයි මේ පරිසරය ආරක්ෂා කිරීම කියන එක එක රටක් කළොත් ඒ රටට ප්‍රතිලාභ ලැබෙන දෙයක් නෙමෙයි.
අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් නැත්නම් පරිසරයට එකතු වෙන බොහෝ අහිතකර වායූන් නිසා හරිතාගාර උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙනවා ඕසෝන් වියන මේ වෙද්දී සිදුරු වෙලා ගිහිල්ලා. ඕසෝන් වියන සිදුරුවෙලා නිසා හිරුගේ අහිතකර කිරණ පොළොවට ඍජුවම පැමිණෙන්න නියමිතයි. මේ විදිහට අහිතකර කිරණ පොළොවට ඍජුවම එනකොට පරිසර උෂ්ණත්වය ඒකක එකකින් දෙකකින් ඉහළ යනවා. අද වෙද්දි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තදින් බලපාලා තියෙන කාරණයක්.
මේත් එක්කම ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, අම්ල වැසි ඇතිවීම, හරිතාගාර ආචරණය සිදුවීම වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. පරිසරය දූෂණය කරන්නෙ වෙන රටක් වුණාට, පරිසරයට අහිතකර වායු නිකුත් කරන්නෙ එක රටක් වුණාට, ඕසෝන් වියන සිදුරු කිරීමට වගකිවයුත්තා වෙන රටක් වුණාට ග්ලැසියර දියවෙලා මුහුදු මට්ටම ඉහළ ගියාම ඉන් පීඩාවට පත්වෙන්නෙ, නැත්නම් තමන්ට අහිමි වෙලා යන්නෙ, මේ ලෝකෙට අහිමි වෙලා යන්නෙ මාලදිවයින වගේ අහිංසක රටවල්.
ඉතින් ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්තයගෙ මේ සංකල්පයට නැත්නම් මේ ක්‍රියාකලාපයට සුබ පතනවා. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දියත් කරන ඕනෑම ව්‍යාපෘතියකට අපි එක පයින් ආශීර්වාද කරන බවත් මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමැතියි.

ජීවන පහන් තිළිණ










