‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන මේ දිනවල ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ නිතර සංවාදයට බඳුන් වන්නකි. විශේෂයෙන්ම පසුගිය දිනවල මෙරට සිදුවූ ආන්දෝලනාත්මක මරණ දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවිය. ඇතැමුන් මෙය දේශපාලනික උපහාසයක් ලෙස භාවිත කරමින් පවසනුයේ, එම මරණ සහ වත්මන් දේශපාලන පක්ෂයක නායකත්වය අතර කිසියම් ‘ආධ්‍යාත්මික’ සබැඳියාවක් පවතින බවයි.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන වර්තමානයේ භාවිත වන්නේ කිසියම් දේශපාලන කණ්ඩායමක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හෝ පුද්ගල වන්දනාව විවේචනය කිරීමට වුවද, මෙම පාරිභාෂික වචනය ලෝක දේශපාලනය තුළ ව්‍යවස්ථාපිත සහ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් සහිත තනතුරකි. නමුත් වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ උපහාසාත්මකව භාවිත වන අන්දමට මෙම ‘ආධ්‍යාත්මික නායකයා’ යනු කපටියකු, දුෂ්ටයකු, අඥානයකු හෝ සොරකු නොවන බව ඉඳුරාම කිව යුතු වේ.
සිංහල මාධ්‍ය තුළ ඉරානයේ නායකයා හැඳින්වීමට ‘ආධ්‍යාත්මික නායකයා’ යන යෙදුම බහුලව භාවිත කළද, ජාත්‍යන්තර දේශපාලන විද්‍යාවේදී එය ව්‍යවහාර වනුයේ ‘උත්තරීතර නායකයා’ යන අරුත ඇතිවය. පර්සියානු භාෂාවෙන් මෙය ‘රහ්බර්-එ මොඅසම්’ ලෙස හැඳින්වේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු අයතුල්ලා කුමේනි විසින් ස්ථාපිත කළ මෙම ක්‍රමය, ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට ඉහළම දේශපාලනික සහ ආගමික බලතල හිමි තනතුරයි.
‘අයතුල්ලා’ යනු ෂියා ඉස්ලාම් දහමේ භාවිත වන ඉතා ඉහළ පෙළේ ආගමික නාමයක් හෝ ගෞරව නාමයකි. විශේෂයෙන්ම ඉරානය මෙම තනතුර සඳහා ප්‍රසිද්ධය. එහි අර්ථය ‘අල්ලාහ්ගේ සලකුණ’ යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ඉරානය ආදී රටවල ෂියා මුස්ලිම්වරුන් අතර පවතින පූජක ධුරාවලිය තුළය.
ශ්‍රී ලංකාවේ බහුතර මුස්ලිම්වරුන් අයත් වන සුන්නි නිකාය තුළ මෙවන් ආගමික නායකත්වයක් නැත. ඒ වෙනුවට මෙහි එම ආගමික කටයුතු ඉස්ලාමීය ධර්මධරයන්ගේ සභාව හෙවත් සමස්ත ලංකා ජමියතුල් උලෙමා විසින් සිදුකරනු ලබයි.
අයතුල්ලාවරයකු වීමට ඉස්ලාමීය අධ්‍යාපන ආයතන තුළ වසර ගණනාවක් ඉගෙනුම ලබා, කුරානය, හදීස් සහ ඉස්ලාමීය දර්ශනය පිළිබඳ පරතෙරට පත්විය යුතුය. ඒ අනුව මෙය විද්වත් තනතුරක්ද වේ.
අයතුල්ලා අල්-උස්මා යනුවෙන් අයතුල්ලා නාමයටත් වඩා ඉහළ පදවියක් තිබේ. ඔවුන් ‘මර්ජා’ ලෙස හඳුන්වන අතර, සාමාන්‍ය ජනතාව තම එදිනෙදා ආගමික කටයුතුවලදී අනුගමනය කළ යුතු ආදර්ශවත් පුද්ගලයන් ලෙස මොවුන්ව සලකනු ලබයි. නමුත් අප රටේ බහුතරය සිතා සිටින අන්දමට, ‘අයතුල්ලා’ යනු හුදෙක් පුද්ගල හෝ පෙළපත් නමක් නොවේ. ඉස්ලාමීය දැනුමේ සහ ආධ්‍යාත්මික මට්ටමේ ඉහළම තලයක් නිරූපණය කරන ගෞරව සම්ප්‍රදායකි.
අයතුල්ලාවරයකු වන ඉරානයේ උත්තරීතර නායකයා සතු ප්‍රධාන වගකීම් කිහිපයකි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ අවසාන බලය ඔහු සතු වන අතර, සන්නද්ධ හමුදා ප්‍රධානියා මෙන්ම බුද්ධි අංශ සහ ආරක්ෂක මෙහෙයුම්වල ඉහළම අධීක්ෂකවරයාද උත්තරීතර නායකයා වේ. එමෙන්ම අගවිනිසුරුවරයා සහ රජයේ ජනමාධ්‍ය ප්‍රධානීන් පත් කිරීමේ බලය ද ඔහු සතු වීම මත එම බලය උත්තරීතර බව නිසැකය. මෙම තනතුර සඳහා ඉස්ලාමීය ෂරියා නීතිය පිළිබඳ ඉහළම විද්වතකු වීම සහ දේශපාලනික පරිණතභාවය වැනි සුදුසුකම් අවශ්‍ය වන අතර, ජනතාව විසින් තෝරා පත්කරගන්නා විද්වත් මණ්ඩලය මගින් මෙම නායකයා පත්කරනු ලබයි.
මේ අතර පසුගිය දශක තුන තුළ ඉරානය පාලනය කළ 86 හැවිරිදි පාලක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මෑතකදී තහවුරු කළේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මෙම නායකයා ඝාතනය වූ බවයි. ඔහුගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ පුත් මොජ්තබා කමේනි පත්කරනු ලැබ සිටියි.
නමුදු 1939 දී මාෂාඩ්හි උපත ලැබූ අයතුල්ලා අලි කමේනි ඉරාන දේශපාලනයේ ප්‍රබලතම භූමිකාවක් හෙබවූ බව පොදු පිළිගැනීමකි. දුප්පත් නමුත් භක්තිමත් ළමා කාලයක් ගතකළ ඔහු, ෂා රජුගේ පාලන සමයේදී හය වතාවක් අත්අඩංගුවට පත්ව වධහිංසාවලට මුහුණ දී තිබේ. 1979 විප්ලවයෙන් පසු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පසුව 97%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ඉරාන ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළේය. 1981 දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ දකුණු අත මුළුමනින්ම අකර්මණ්‍ය විය.
කමේනිගේ පාලන සමය තුළ ඉරානය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඉරාන-ඉරාක යුද්ධය, ඇමෙරිකානු විරෝධී ස්ථාවරය සහ න්‍යෂ්ටික වැඩසටහන ඒ අතර ප්‍රධාන වේ. න්‍යෂ්ටික අවි ඉස්ලාමීය විරෝධී බව ඔහු පැවසුවද, බටහිර රටවල් පැනවූ සම්බාධක හමුවේ ඉරාන ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්විය.
අයතුල්ලා අලි කමේනි බලයේ සිටි කාලය පුරා විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් විරෝධතා දැඩි ලෙස මර්දනය කළ බවට චෝදනා එල්ල විය. 2009 සහ 2019 විරෝධතා, මැතිවරණ දූෂණ සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ඇති වූ විරෝධතා වෙඩිතබා මර්දනය කිරීමද ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
හිජාබ් කාන්තා ඇඳුම පිළිබඳ ඉස්ලාමීය නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මහ්ෂා අමිනි නම් තරුණියකගේ මරණයත් (2022) සමග ඇති වූ විරෝධතාවලදී 400කට අධික පිරිසක් මියගියහ.
2025-26 ආර්ථික විරෝධතා: ආර්ථික අසාර්ථකත්වය නිසා ඇති වූ විරෝධතාවලදී පුද්ගලයන් 7,000කට වැඩි පිරිසක් මියගිය බව වාර්තා වේ.
මීට අමතරව, කොවිඩ් වසංගතය සමයේ ඇමෙරිකානු සහ බි්‍රතාන්‍ය එන්නත් තහනම් කිරීමට ඔහු ගත් තීරණය හේතුවෙන් ඉරානය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියගිය බවටද චෝදනා එල්ල විය.
එමෙන්ම නොබෙල් ත්‍යාගලාභී මාධ්‍යවේදිනී නර්ගීස් මොහොමදී අයුතු ලෙස බන්ධනාගාරගත කොට තිබීමද අයතුල්ලා අලි කමේනිට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වූ බරපතළම චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය ද මින් පෙර පළකොට ඇත්තෙමු.
මේ අතර 2025 වසරේ සිට ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කළ අතර, 2026 පෙබරවාරි 28 වැනි දින එල්ල වූ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවත් සමග කමේනිගේ පාලන සමය නිමාවට පත්විය. ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පැවසුවේ මෙය අනිසි පැවැත්මේ තර්ජනය ඉවත් කිරීම සඳහා ගත් පියවරක් බවයි.
නමුදු අනාගතයේ කවර හෝ ආධ්‍යාත්මික නායකයකු දේශපාලන නායකත්වයට පත් වන්නේ නම් ඔහුට පවත්නා දේශපාලනික යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව මින් පෙනෙයි. නමුදු ලොව ප්‍රබලතම රාජ්‍යය වන ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ අභීතව පෙනීසිටීමට අවශ්‍ය මානසික ජවය හා පන්නරය හිමි වීමේ රහස පිළිබඳවද අප මෙහිදී විමසා බැලිය යුතුය.
සමස්තයක් ලෙස ගත් කල, ‘ආධ්‍යාත්මික නායකත්වය’ යන සංකල්පය ශ්‍රී ලංකාවේ දේශපාලන කෝණයෙන් බලන විට වත්මන් පොදු ජනවහරට අනුව කිවහොත් දෙකයි පනහේ මට්ටමේ උපහාසාත්මක මුහුණුවරක් ගත්තද, ලෝක දේශපාලනය තුළ එය අතිශය බැරෑරුම් සහ බලගතු ආයතනයකි. ඒ අනුව අප රටේ බහුතරය වචන භාවිතයේදී සිදුවන මෙම පරස්පරතාවන් නිවැරදිව තේරුම් ගැනීම හා දේශපාලන සාක්ෂරතාව වර්ධනය කරගැනීම අත්‍යාවශ්‍ය වේ.
ෆාතිමා හලල්දීන්










