අපි කැමැතියි ඔබ ගැන දැනගන්න?
මම උපනි ටිහාරා ගාල්ලගේ. මගේ ගම මුල්ලේරියාව. Sri Lanka Latest News
එතකොට උපනි පාසල් ගියේ?
ඒෂියන් ජාත්‍යන්තර පාසලට.
පවුලේ විස්තර සඳහන් කළොත්?
මට ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. තාත්තා මේ වනවිට විදේශගත වෙලා.

උපනිට මේ ලැබුණු කිරුළ ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. මගේ අම්මා තමයි කිව්වේ හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න කියලා. මගෙත් පොඩි ආශාවක් තිබුණා මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න. ඉතින් මම අම්මාගේ කීමට මේ තරගයට ඉදිරිපත් වුණා. හැබැයි මම හිතුවේ නැහැ මේ ජයග්‍රහණය මට ලැබේවි කියලා. පොඩි බලාපොරොත්තුවක් තිබුණා අවසන් වටයට මාව තේරෙයි කියලා.
උපනිගේ තාත්තා නම් ඒ තරම් කැමැත්තක් නැතුව ඇති මේ වගේ තරගවලට ඉදිරිපත් වෙනවට?
මගේ තාත්තා විදේශගත වෙලා ඉන්නේ. එයාගෙන් අවසරය ගන්නකොට නම් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මොකද අපිට වඩා සමාජය ගැන හොඳ අවබෝධයක් තාත්තා කෙනකුට තියෙනවා. තාත්තාව කැමැති කරගත්තේ අම්මයි අයියයි කතාබහ කරලා. කොහොම හරි අවසානයේ තාත්තා අවසරය මට දුන්නා.
උපනිගේ බලාපොරොත්තුව මොන වගේද මේ ජයග්‍රහණයත් සමග?
මගේ පොඩි කාලේ ඉඳලා හීනයක් තිබුණා කලා ක්ෂේත්‍රයට යන්න. එයට සුදුසුම කාලය එනකම් මම හීන දැක්කා. මම අවුරුදු හතරේ ඉඳලා සහන් රංවලගේ මහතාගේ ජන ගී කණ්ඩායමට සම්බන්ධ වුණා. පසුකාලීනව නැටුම් හැදෑරීම සඳහා රසික කොතලාවල සර්ගේ කලායතනයට ගියා. මට මේ ජයග්‍රහණය ලබන්න ඒ අත්දැකීම්, දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
ඒ කියන්නේ දැන් එක රැයකින් ජනප්‍රිය වෙන්නයි වුවමනාව?
එහෙම නැහැ. හැබැයි රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න හිතනවා. මුලින්ම ටෙලිනාට්‍ය හරහා අත්දැකීම් ලබාගෙන සිනමාවට පිවිසෙන්න. මම මේ දවස්වල රංගනය පිළිබඳ හැදෑරීමක් කරන්න මහේන්ද්‍ර පෙරේරා මහතාගේ රංගන පාසලට යන්න සූදානම් වෙනවා.
උපනි මේ වනවිට මොනවද කරන්නේ?
මම මේ වනවිට ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. එයට අමතරව ඩිග්‍රි එකක් හදාරමින් ඉන්නවා.
අද කාලයේ මේ ක්ෂේත්‍රය ගැන අහන්න ලැබෙන දේවල් එක්ක මොකද හිතෙන්නේ?
අපි යන ගමන ලස්සනට ගියොත් එච්චරයි. හැබැයි මම මොන ගමන ගියත් මගේ පිටුපස මගේ අම්මා ඉන්නවා හෙවණැල්ලක් වගේ. ඒ නිසා මම බය නැහැ. මගෙයි අම්මාගෙයි ආරක්ෂාවට අයියත් ඉන්නවා. ඉතින් හැමෝගෙන්ම මට ලොකු සහායක් ලැබෙන නිසා මේ ගමන ගොඩක් ලස්සනට යන්න පුළුවන්.
මගේ ගමන වට්ටන්න කාටවත් බැහැ…! නිදිමරාගෙන ලොකු කැපවීමක් කළා…! ගමේ ගොඩදෙනෙක් මාව දන්නේ නැහැ…! රොෂාන් ඩිලක්ෂිත – හිරු ටීවී අවුරුදු කුමරා
කන්ද උඩරටින් හිරු ටීවී අවුරුදු කුමරා වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ දවස නම් මාරම සතුටුයි. මට අදටත් මේ ජයග්‍රහණය හීනයක්.

මේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩක් දේවල් කැපකළා නේද?
කැපකරපු ලොකුම දේ මගේ උත්සාහය. ගෙවුණු කාලයේ රෑ දිවා නොබලා උපරිම වෙහෙසුණා. මොකද මට මේ තරගය දවස්වල වටිනා විභාගයක් තිබුණා. මම ඒ වෙනුවෙන් සූදානම් වෙවී හිටියේ. සමහර දවස්වලට තරගයේ පුහුණුවීම්වලට මම ගියේ විභාගය ලියලා හවස් වරුවේ. ආපසු පුහුණුවීම් අවසන් කරලා පහුවදා විභාගය ලියන්න ගියා. ඔය වගේ ලොකු කැපවීම් කරලා මම දෙකටම මුහුණ දුන්නා. හැබැයි ඉතින් මගේ උත්සාහය අපතේ ගියේ නැහැ.
හිරු අවුරුදු කුමරා වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කළේ ජයග්‍රහණයක් ලබන්නද?
අනිවාර්යයෙන්ම. හැබැයි ජයග්‍රහණය ලැබුණා හෝ නොලැබුණා හෝ ඉදිරිපත් වීමත් සමග ලැබෙන ප්‍රතිඵල එක්ක මම මුහුණ දෙනවා කියලා හිතාගෙන තරගයට ඉදිරිපත් වුණා.
මේ ලබපු ජයග්‍රහණයත් සමග රොෂාන්ව අපිට පුංචි තිරයේ දැකගන්නත් පුළුවන්ද?
ඒක තමයි මගේ ලොකුම හීනය. පුංචි තිරයෙන් පටන්ගෙන සිනමාව දක්වා යන්න. මේ ගමන යන්න මම ගොඩක් උත්සාහ කළා. මම හිතනවා මගේ සිහිනය දැන් ඉටුවෙයි කියලා.

රොෂාන්ට මීට පෙර රඟපාන්න අවස්ථාව ලැබිලා නැද්ද?
පාසල් කාලයේ වේදිකා නාට්‍යවල රඟපෑවා. කැම්පස් කාලයේ යාළුවෝ එක්ක එකතු වෙලා වේදිකා නාට්‍ය හදලා රඟපෑවා. ඒත් කැමරාවක් ඉදිරියේ මගේ දක්ෂතා පෙන්වන්න මට අවස්ථාව ලැබුණේ නැහැ.
කිරුළත් සමග කොළඹින් කන්ද උඩරටට යනකොට ලොකු පිළිගැනීමක් ලැබෙන්න ඇති?
මම ගමේ එහෙම ලොකු ආශ්‍රයක් නැහැ. මාව ගමේ ගොඩ දෙනෙක් දන්නෙත් නැහැ. ඒ, මම වැඩිපුරම කොළඹ අධ්‍යාපන කටයුතු කරපු නිසා. දන්න කියන අය සුබ පැතුම් එකතු කරලා තිබුණා. නමුත් හිරු රූපවාහිනිය හරහා මාව දැන් ගොඩ දෙනෙක් හඳුනාගත්තා.
නළුවෙක් වෙන්න යන පාරට පෙම්වතිය හරස් වෙනවා ඇති?
පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තරම් කැමැති නැහැ. ඒ දේවල් මම ලොකුවට හිතන්න යන්නේ නැහැ. මොකද මගේ අරමුණ වෙනුවෙන් මම දැන් උපරිම කැපවෙනවා. මගේ ගමනට බාහිරින් එන දේවල් මම බාධාවක් කරගන්නේ නැහැ.
අධ්‍යාපන කටයුතු ගැන සඳහන් කළොත්?
මම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරනවා.
හිරු නාලිකාව හරහා රංගන වරම් හිමිවුණාද?
තවම නැහැ. ආරාධනා ලැබේවි. හිරු නාලිකාව හරහාම කලාවට යන්න මුලින්ම බලාපොරොත්තු වෙනවා.
වසන්ත විතාරණගේ











