• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැලවත්තේ යූටියුබ් කන් මන්ත්‍රණයක්! අනුරත් හිරවෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 29, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

කෝ ජාත්‍යන්තර සබධතා?

ඉතිහාසයේ සිට පැවැති ආණ්ඩු බොහෝ දුරට ජාත්‍යන්තර ප්‍රශ්න ලංකාවට බලපාන විට ලංකාවත්, ජනතාවත් අසීරුතාවට පත් නොකොට බේරාගත්තේ එවක පාලකයන් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සම්බන්ධතා මුල්කොට ගෙනය. විශේෂයෙන්ම 70-77 සමගි පෙරමුණු ආණ්ඩු සමයේදී එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. ඇය කිසිදු රටකට පක්ෂපාතී නොවන ආකාරයට සමබරව විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම නිසා ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් මෙන්ම ආකර්ෂණයක්ද මැතිනියට හිමිවිය. 77න් පසු රට භාරගත් ජේ.ආර්. ජයවර්ධන ඇමෙරිකාව සහ ජපානය සමග විශේෂ සබඳතා ගොඩනගා ගනිමින් ලංකාවට ඒ හරහා විශාල වශයෙන් සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමට සමත් විය. ඉන් අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා චීනය සමග මෙන්ම ඇමෙරිකාව සහ ජපානය වැනි රටල් සමගද විශාල වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් ලංකාවට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් රැගෙන ඒමට පියවර ගත්තේය. අනතුරුව බලයට පත් චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංගද මැතිනිය මෙන්ම නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන අතරවාරයේ ඉන්දියාව සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගැනීමට සමත් වූවාය. පසුව බලයට පත් මහින්ද රාජපක්ෂ චීනය සමග විශාල වශයෙන් සම්බන්ධ වෙමින් අතිදැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ලංකාවට රැගෙන ඒමට සමත් විය. මේ ආකාරයට රටක විදේශ ප්‍රතිපත්තිය සහ පුද්ගලික සබධතා හරහා ජාත්‍යන්තරයෙන් එම රටට විශාල වශයෙන් ආයෝජන සහ වාසි ලබාගත හැකිවාක් මෙන්ම දුර්වල විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා ජාත්‍යන්තර සබඳතාවලදී එය රටේ සංවර්ධනයට සහ අනාගතයට බරපතළ ආකාරයෙන් බලපෑම් එල්ල කිරීම නොවැළැක්විය හැකිය. මේ ආකාරයට අප ලිපිය ආරම්භයේදී හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ ප්‍රතිපත්තිය හැසිරවූ ආකාරය පිළිබඳ හැඳින්වීමක් කළේ පසුගිය දිනෙක මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන දුර්වල විදේශ ප්‍රතිපත්තිය මුල්කරගෙන බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මැදිවීමට ලංකාවට සිදුව තිබීම නිසාය.Sri Lanka Latest News

ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දෙකක් යුද ක්‍රියාමාර්ගයන් දියත් කොට තිබියදී අනෙකුත් රටවල් ඊට දක්වන ප්‍රතිචාරය මත එම රටේ විදේශ ප්‍රතිපත්තිය අනාවරණ වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව මැදපෙරදිග බොහෝ රටවල් මෙම යුද්ධයේදී ප්‍රසිද්ධියේම ඇමෙරිකාව සහ ඊශ්‍රායලයට පක්ෂපාතීව සිටිමින් සිය විදේශ ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දැකගත හැකිය. නමුත් යුරෝපය ඇතුලු රටවල් රැසක් මෙහිදී ගෙන සිටින්නේ ස්වාධීන ස්ථාවරයක බව දැකගැනීමට පුළුවන. නමුත් රුසියාව, චීනය ඇතුළු රටවල් කීපයක් මෙම යුද්ධයේදී ඉරානයට පක්ෂපාතී අයුරින් කටයුතු කරන ආකාරයක්ද පෙනෙන්නට තිබේ. ඒ අනුව මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව ක්‍රියාත්මක කොට ඇති විදේශ ප්‍රතිපත්තිය කවරාකාරද යන්න මෙහිදී විමසා බලනු වටී.

අමෙරිකාවට බර වෙලද?

වත්මන් මාලිමා ආණ්ඩුව සැලකෙන්නේ වමට බර ආණ්ඩුවක් ලෙසටය. ඒ අනුව බොහෝ දෙනා වමට බර වූ වාමාංශික ප්‍රතිපත්ති රට ඇතුළේ ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වුවද මේ වනවිට රට ඇතුළේ සිදුවන වැඩපිළිවෙළ හරහා මාලිමා ආණ්ඩුව වමද, දකුණද, එසේත් නැත්නම් අන්ත දක්ෂිණාංශිකද යන්න හෝ හඳුනාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. විශේෂයෙන්ම යුද්ධය ආරම්භ වූ දින සිටම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී මාලිමා ආණ්ඩුව කියා සිටියේ කිසිදු රටකට පක්ෂපාතී නොවන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. කෙසේ වෙතත් මීට සති කීපයකට ඉහතදී ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථික මුහුදු කලාපයේදී ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල වීමෙන් පසු සිදුවූ සිදුවීම් දෙස බලන විට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න රාශියක් මේ වනවිට මතුව තිබේ. එහිදී ප්‍රහාර එල්ල වීමත් සමග නාවික හමුදාව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම නෞකාව මුහුදු වූයේ ප්‍රහාරයකින් නොවන බවය. නමුත් නාවික හමුදාව මෙම ප්‍රකාශය සිදුකොට පැය 24ක් යෑමට මත්තෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉරාන නෞකාවට ඇමෙරිකාන සබ්මැරීනයක් මගින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කොට එය ගිල්වා දැමීමට කටයුතු කළා යැයි කියාය. මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකාව දියත් කළ දැඩි ප්‍රහාර හමුවේ ඉරානය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදමා සමස්ත ලෝකයම උග්‍ර බරපතළ අර්බුදයක සිර කිරීමය. ඒ අනුව ලංකාවේද ඉන්ධන පෝලිම් මතුවී තෙල් විශාල වශයෙන් සීමා කිරීමට සහ මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ යුද්ධය හමුවේ ලංකාව ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන හදිසියට තෙල් නැවක් හෝ ලබාගත නොහැකි තත්ත්වයකට මේ වනවිට ආණ්ඩුව පත්ව සිටීමය.

ඒ අතරවාරයේ පසුගිය සතිය වනවිට සිදුවූ සිදුවීම් බොහොමයක් දෙස බලන විට බොහෝ දෙනකුට වැටහී ගිය කාරණාවක් වූයේ මෙම යුද්ධයේදී ලංකාව ඇමෙරිකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් විදේශ ප්‍රතිපත්තිය දියත් කරන ආකාරයකි. නමුත් එයද නිවැරැදි ආකාරයට සිදුකළාද යන ප්‍රශ්නය මේ වනවිට බොහෝ දෙනාට මතුව තිබේ. ඒ බව හොඳටම පැහැදිලි වූයේ පසුගිය සතියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය මුල්කොට ගෙනය. එහිදී බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා මෙම කතාවේදී ප්‍රසිද්ධියේ නොකිය යුතු ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් බරපතළ රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක් සිදුකර ගත් බවකි. මෙම ප්‍රකාශ හරහා ඇමෙරිකාව සහ ඉරානය යන දෙපාර්ශ්වයෙන්ම මේ වනවිට දැඩි පීඩනයක් ලංකාවට එල්ල වෙමින් පැවතීම ඊට හේතුව වී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මාලිමාවට ඡන්දය දුන් පිරිස් සතුටු කරන්නට දෝ එක් අවස්ථාවකදී කියා සිටියේ ඇමෙරිකානු යුද ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබෑමට අවසර ඉල්ලා සිටි නමුත් ඊට ඉඩ ලබා නොදුන් බවය. අනෙත් පැත්තෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් වූයේ ඉරාන නෞකා ලංකා මුහුදු තීරයට එන බවක් ආණ්ඩුව නොදැන සිටි බවකි. මෙම ප්‍රකාශ දෙකම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට බරපතළ ලෙස බලපෑ ආකාරයක් ඊට පසුවූ සිදුවීම් දෙස බලන විට පැහැදිලිවම දැකගන්නට තිබේ.

එහිදී පළමුවෙන්ම ඇමෙරිකානු ගුවන් යානා දෙකකට ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට සහ මත්තලට ඇතුළු වීමට ඉඩ ලබානොදුන් බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඇමෙරිකාව පැත්තෙන් ඉතා බරපතළව ගෙන ඇති බවට ‘රාජ්‍ය රහස්’ වෙත තොරතුරු වාර්තා වී තිබේ. ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය ඔවුන් ගෙන ඇත්තේ ඔවුන්ට කළ මදිපුංචිකමක් සහ අවතක්සේරුවක් ලෙසට බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඇමෙරිකාව මෙතෙක් ඍජු ප්‍රතිචාර දැක්වීමක් කොට නොමැති වුවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැලකිල්ලට ලක්කරමින් සිටින බවය. මේ මොහොත වනවිටත් ඇමෙරිකාව පැත්තෙන් එයට නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවත් නුදුරේදීම මේ සම්බන්ධයෙන් සිය අසතුට ප්‍රකාශ වන ආකාරයේ සිදුවීමක් නිල වශයෙන් සිදුවීමේ ඉඩකඩක් පවතින බවක් අපට දැනගන්නට ඇත. එම ප්‍රතිචාරය මත ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ ඇති සත්‍යතාව හෝ අසත්‍යතාව දැනගැනීමට හැකි වනු ඇත.

කරපු ඉල්ලීම් මෙන්න

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය හරහා ඇමෙරිකාව සම්බන්ධයෙන් අප කළ තවත් විශේෂ අනාවරණයකින් කියා සිටියේ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලංකාවට එකම දිනක පැමිණි බවකි. ඉන් එක් අයකු වූයේ මධ්‍යම සහ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම්වරයා මෙන්ම ඉන්දියාවේ ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් කටයුතු කරන සර්ජියෝ ගෝර්ය. සර්ජියෝ ගෝර් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතා සමීප සබඳතා ඇත්තෙකු බව ප්‍රකටය. ඔහු ඉන්දියාවේ සිට ලංකාවට එද්දී වොෂිංටනයේ සිට තවත් විශේෂ නියෝජිතයකු වන මයිකල් ජෙරමියා ඉතා රහසිගතව ලංකාවට පැමිණි බව අපි වාර්තා කළෙමු. මෙහිදී සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී කතාබහ කළ කරුණු අනාවරණ කරමින් අප කියා සිටියේ කොළඹ වරාය ඇතුළු ලංකාවේ අනෙකුත් අනෙකුත් වරායන්වල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකාව මැදිහත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවය.
ඇමෙරිකාව ලංකාවේ වරායයන් සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කළේ අදක ඊයේක සිට නොවේ. එම වරායන්වල ඇති සංවේදී ස්ථාන අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කාලයක සිට ඇමෙරිකාව ලංකාවට යෝජනා ඉදිරිපත් කොට තිබිණි. ඒ සම්බන්ධයෙන්ද සර්ජියෝ ගෝර් සහ ජනාධිපතිවරයා අතර මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එහිදී ගෝර් යෝජනා කොට ඇති බව කියවෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන කිරීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දෙන ලෙසටය. දැනට එම ව්‍යාපෘතිය බාරදී ඇත්තේ ඉන්දියාවටය. නමුත් ගෝර් කළ මෙම ඉල්ලීමට ජනාධිපතිවරයා කිසිවක් නොකියා සිටි බවක්ද දැනගන්නට ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ගුවන්සේවයට බෝයිං වර්ගයේ නවීන ගුවන් යානා ලබාදී සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවක් ආරංචිය. මේ ආකාරයට ඇමෙරිකාවට යම් වාසියක් ලබාගැනීමේ ස්ථාවරයක සිට ගෝර් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡා පවත්වාගෙන ගිය ආකාරයක් දැකගැනීමට පුළුවන.

නමුත් ඇත්ත වශයෙන්ම මෙම ඉල්ලීම් ඉටු කරලීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද? ඊටද අමෙරිකාව අතේ තුරුම්පු නැතිවා නොවේ. ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඉලක්ක කොටගෙන පැනවූ තීරු බද්ද ඊට හොඳම උදාහරණයය. ට්‍රම්ප් මුලින් පැනවූ 40%ක තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණේ මාස දෙකක් වැනි කාලයක් ඇතුළතදී ඇමෙරිකාව විසින් පනවා ඇති කොන්දේසි රැසක් ඉටුකරන බවට දැක්වූ ප්‍රතිචාරය හේතුකොට ගෙනය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ තවමත් මේ කොන්දේසි හරිහැටි ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කොට නොමැති බවකි. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකාවට මෙවැනි තුරුම්පු භාවිත කිරීමේ වැඩි ඉඩක් පවතින බව මේ වනවිට අපට දැනගැනීමට තිබේ. ඒ අනුව යම් හෙයකින් මෙම තීරුබද්ද නැවතත් 40% දක්වා වැඩිකිරීමේ හැකියාවක්ද ට්‍රම්ප් රජය සතුව ඇත. එම නිසා වහාම මෙම තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සහ ඇමෙරිකාවට දුන් පොරොන්දු ඉටුකිරීම මෙහිදී ලංකාව පැත්තෙන් බලන විට සිදුකිරීමට ඇති හොඳම කටයුත්තය.

ඉරාන අවුල

ජනාධිපතිවරයා ඇමෙරිකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුල්කරගෙන මෙවැනි ප්‍රශ්නකාරී පසුබිමක් නිර්මාණය වී තිබුණද ඉරානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මේ වනවිටත් බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවක් දැකගැනීමට පුළුවන. ඒ, ඉරානය විසින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගැනීම හරහාය. මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉරාන නෞකා ලංකාවට පැමිණෙන බවක් ආණ්ඩුව නොදැන සිටි බවත්, එම නෞකාවට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කොට නොතිබූ බවත්ය. නමුත් ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය පැය 24ක් යෑමට මත්තෙන් අභියෝගයට ලක්වූයේ විපක්ෂය විසින් පළමුවෙන්ම කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. එහිදී විපක්ෂය කියා සිටියේ මෙම නෞකාවන්ට ලංකාවට පැමිණෙන ලෙසට මෙරට නාවික හමුදාපතිවරයා විසින් ආරාධනා කොට ඇති බවකි. විපක්ෂය කී එම කතාව තහවුරු කරමින් හදිසි මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාද අවධාරණය කොට සිටියේ අදාළ නෞකා ලංකාවට පැමිණියේ ලංකාව විසින් කළ ආරාධනාවකට අනුව යැයි කියාය. මෙහිදී එම ප්‍රකාශය දෙවරක්ම අවධාරණය කර සිටීමට ඉරාන තානාපතිවරයා පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එය ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අභියෝග කිරීමක් ලෙස දැකගැනීමට හැකි විය.

මීට අමතරව මෙම මාධ්‍ය හමුවේදී ඉරාන තානාපතිවරයා තවත් විශේෂ ප්‍රකාශයක්ද කළේය. ඒ, ලංකාවේ මතුව ඇති ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස පහසු මිලට ඉරානයෙන් තෙල් ලබාදිය හැකි යැයි කියාය. මේ වනවිට ලංකාව මුහුණ දී සිටින්නේ රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සපයාගත නොහැකි අර්බුදයකට මුහුණ දීය. මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ වාර්තාවක් පළකරමින් කියා සිටියේ අර්බුදය ආරම්භ වූ සැණින් ආණ්ඩුව ඉන්දියාවෙන් තෙල් ලබාගැනීමට උත්සාහ කළද තමන්ද ඉන්ධන අර්බුදයකට මුහුණදී ඇති නිසා එය කළ නොහැකි බව ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව දැනුම් දී තිබූ බවය. ඒ වනවිට ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබීම නිසා රුසියාවෙන් තෙල් ලබාගැනීමද ලංකාවට ප්‍රශ්නයක් වී තිබිණි. එමෙන්ම ඉරානය විසින් ලංකාවේ ඉදිකර තිබූ සපුගස්කන්ද පිරිපහදුවට වෙනත් රටක බොර තෙල් යොමුකළ නොහැකි අතර, ඊට පිරිපහදු කිරීමට හැක්කේ ඉරානයෙන් ගෙන්වන බෙරතෙල් පමණි. ඇමෙරිකාව විසින් ඉරානයටද සම්බාධක පනවා තිබීම නිසා ලංකාව ඔවුන්ගෙන් ඍජුව බොරතෙල් නොගෙන සිංගප්පූරුව හෝ ඩුබායි රටවල සමාගම් හරහා වක්‍ර අයුරින් ඉරාන බොරතෙල් ලංකාවට ගෙන ඒමට කටයුතු කොට තිබිණි. ඒ අනුව ඉරාන තානාපතිවරයා ඉන්ධන ලබාදිය හැකි බවට කළ ප්‍රකාශයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ ආණ්ඩුව වහාම එම යෝජනාව පිළිගනිමින් ඉරානයෙන් තෙල් ලබාගනු ඇතැයි කියාය. ඒ වනවිටත් ඉරානය ඉන්දියාවට තම රටෙන් තෙල් ලබාගැනීම සඳහා පහසුකම් සැපයීම පිණිස ඔවුන්ට පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර දීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා ඉන්දියාව ඉරානයෙන් තෙල් නැව් ගෙන්වා ගැනීමටද කටයුතු කොට තිබිණි. එමෙන්ම තවත් රටවල් ගණනාවක්ම ඉරාන සහාය ඇතිව පසුගිය දින කීපය පුරාම හෝමුස් සන්ධිය හරහා ඉරානයෙන් තෙල් නැව් ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබිණි.

නමුත් බොහෝ දෙනා පුදුමයට පත්කරමින් කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉරානයෙන් තෙල් ලබාගැනීමට මේ මොහොතේ ආණ්ඩුව කටයුතු නොකරන බවකි. ඊට හේතු වශයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ලංකාවට ඉරානයෙන් තෙල් ලබාගැනීමට නෞකා නොමැති යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ඉරානය කළ ප්‍රකාශයට ආණ්ඩුව දුන් මේ උත්තරය හරහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉරානය තරහා කරගැනීමකට මග පාදනු ඇති බවකි.

රුසියාවෙන් කොන්දේසි

අනෙක් පැත්තෙන් ඇති තවක් මතයක් වන්නේ ඉරාන තානාපතිවරයා මෙසේ ලංකාවට තෙල් ලබාදිය හැකි බවට ප්‍රකාශ කළේම දීර්ඝකාලීනව ලංකාවේ ආණ්ඩුව අර්බුදයකට යැවීමේ වුවමනාවෙන්දැයි කියාය. මන්ද යත් ලංකාව ඉරානයෙන් තෙල් ලබා නොගන්නේ නම් දැනට ඉතිරිව ඇත්තේ රුසියාවෙන් තෙල් ලබාගැනීමය. රුසියාව යනු මැදපෙරදිග යුද්ධයේදී ඉරානයට පක්ෂපාතීව සිටින රටකි. එමෙන්ම තවත් ප්‍රබල රටක් වූ චීනයද සිටින්නේ ඉරානයට පක්ෂපාතී ස්ථාවරයකය. ඒ අනුව ලංකාව ඉරානයට දැක්වූ ප්‍රතිචාරය මුල්කොට ගෙන ඉරානයේ මිතුරු රටවල් වන රුසියාව සහ චීනය ලංකාවට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපකාර කරනු ඇද්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

එමෙන්ම ආණ්ඩුව තෙල් අර්බුදය මතුවූ මුල් අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකාවෙන් හෝ ඇල්ජීරියාවෙන් තෙල් ලබාගැනීමට සාකච්ඡා පවත්වමින් සිටිනවා යැයි කියාය. නමුත් ඒ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. මෙරට ක්‍රියාත්මක ඇමෙරිකානු සමාගමක් වන පාර්ක් සමාගම අතරමැදි රටවල් හරහා ලංකාවට සුළු වශයෙන් තෙල් ආනයනය කරමින් සිටියි. නමුත් පවතින අර්බුදය හමුවේ එය ප්‍රමාණවත්ද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඇල්ජීරියාවෙන් තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා පවතින්නේද තවමත් ප්‍රාථමික මට්ටමේය. මේ වනවිට බාල ගල්අඟුරු ගෙන්වීම නිසා නොරොච්චෝලෙන් රටට අහිමි වන මෙගාවොට් ප්‍රමාණය උත්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් දෛනිකව තෙල් මත යැපීමට ලංකාවට සිදුව තිබේ. එම නිසා පවතින තෙල් සංචිත විශාල වශයෙන් විදුලි උත්පාදනය සඳහා යොදාගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ. මේ නිසා ළඟ ළඟ හැකි ඉක්මනින් තෙල්නැව් ලංකාවට ගෙන්වා නොගතහොත් ලබන සිංහල අවුරුදු සමය වනවිට බරපතළ ඉන්ධන අර්බුදයකට ලංකාවේ ජනතාවට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

ඒ අනුව දැන් ලංකාවට ඉතිරිව ඇත්තේ රුසියාව සමග සාකච්ඡා කොට ලංකාවට තෙල් ගෙන්වා ගැනීම පමණි. මුල් අවස්ථාවේදී ඇමෙරිකාව විසින් රුසියාවට පනවා තිබූ සම්බාධක හේතුකොට ගෙන එරටින් තෙල් ලබාගැනීමට කිසිදු රටකට නොහැකි වී තිබිණි. නමුත් මේ වනවිට ඇමෙරිකාව මාසයක කාලයක් සඳහා රුසියාවේ තෙල්වලට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා රුසියානු තානාපතිවරයා හමුවී තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඒ මොහොතේම රුසියානු බලධාරීන් සම්බන්ධ කොට ලංකාවේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට රුසියානු තානාපතිවරයා කටයුතු කොට තිබිණි. නමුත් ඊට ඒ අවස්ථාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව රුසියානු තානාපතිවරයා පසු අවස්ථාවක ප්‍රකාශ කොට තිබිණි. නමුත් පවතින තත්ත්වය යටතේ නැවත වතාවක් ආණ්ඩුව රුසියාව දෙසට හැරී තිබේ. ඒ අනුව රුසියාව සමග සමීප සබඳතා ඇති පාර්ශ්වයන් කීපයක් ලවාම රුසියාවට කතාකොට මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව තීරණය කොට තිබුණේ මුල් අවස්ථාවේදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට එවීමටය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රුසියානු නියෝජය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට පැමිණ ඇත්තේ බරපතළ කොන්දේසි කීපයක්ද සමග යැයි කියාය. එම තොරතුරුවලට අනුව රුසියාවෙන් යෝජනා වී ඇත්තේ මුල් අදියරේදී ඉන්ධන නැව් 2ක් ලංකාවට ලබාදිය හැකි බවය. දිගටම රුසියාවෙන් තෙල් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එම නැව් දෙක ලබාගැනීමෙන් අනතුරුව වසර 5ක කාලයකට රුසියාවෙන් තෙල් ලබාගන්නා බවට වූ නව ගිවිසුමකට එළඹිය යුතු බවට මේ වනවිට රුසියාව යෝජනා ඉදිරිපත් කොට ඇති බවක් ආරංචිය. එම යෝජනාවට ලංකාව එකඟ නම් පමණක් රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා රුසියාවට යෑමෙන් පසු අදාළ ගිවිසුම අස්සන් කිරීම සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලංකාවට එවිය හැකි බව රුසියාව දැනුම්දී ඇති බවක් දැනගන්නට තිබේ.

ඒ අනුව මුල් අවස්ථාවේදී රුසියාව දැනුම්දී ඇත්තේ තෙල් නෞකා දෙකක් පමණක් ලංකාවට ලබාදිය හැකි යැයි කියාය. නමුත් දැනට පවතින උග්‍ර තෙල් හිඟය සහ විදුලිය අර්බුදය හමුවේ මෙම තෙල් නැව් දෙකෙන් තුන්කාලක්ම යෙදවීමට සිදුව ඇත්තේ විදුලිය ජනනය කිරීම සඳහාය. එමෙන්ම ලංකාවට යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන නැව් 25ක් පැමිණිය යුතුව තිබුණද, තවම ඉන් පැමිණ ඇත්තේ ඉන්ධන නෞකා 13ක් පමණි. ඒ අනුව ආණ්ඩුවට මෙම තෙල් අර්බුදයෙන් ගැළවීමට නම් වසර 5ක කාලයකට රුසියාව සමග ගිවිසුමකට එළඹිය යුතුව තිබේ.
නමුත් ඊට එරෙහිවද බරපතළ ප්‍රශ්න කීපයක්ම මතුව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ දැනටමත් ඇමෙරිකාව රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කොට ඇත්තේ දින 30ක කාලසීමාවකට පමණක් වීමය. එම දින 30 සම්පූර්ණ වීමෙන් පසු නැවතත් ඇමෙරිකාව රුසියාවට ඉන්ධන සම්බාධක පැනවුවහොත් වසර 5ක කාලයක් සඳහා රුසියාවෙන් තෙල් ගැනීමට ගිවිසුම් අස්සන් කිරීමට ලංකාවට හැකියාවක් තිබේද යන ප්‍රශ්නය පැන නගී. ඒ, එසේ ගිවිසුම අස්සන් කළද ඇමෙරිකානු සම්බාධක කඩාගෙන රුසියාවෙන් තෙල්ගැනීමට හැකිද යන්න පිළිබඳවය. එසේ වුවහොත් තවත් රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණ දීමට ලංකාවට සිදුවනු ඇත.

මීට අමතරව පසුගිය සතියේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක්ද සිදුව තිබිණි. මේ වනවිට බොහෝ දෙනා සැක මතු කරන්නේ මෙම දුරකතන සාකච්ඡාවේදී රුසියාවෙන් තෙල් ලබාගැනීමට ලංකාවට උදව් කරන ලෙසට ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළාදැයි කියාය. ආණ්ඩුව ඉන්ධන අර්බුදය මතුවූ මුල් අවස්ථාවේදීම ඉන්දියාවට කතාකොට ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. මෝදි සහ රුසියාව අතර සමීප සම්බන්ධතාවක් පවතින නිසා මෝදි හරහා රුසියාවට බලපෑම් කොට ලංකාවට තෙල් ගෙන්වා ගැනීම මෙහිදී ජනාධිපතිවරයාගේ සැලසුම වූවා විය හැකිය. නමුත් එය කොතෙක් දුරට සාර්ථක වනවාද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි. මන්ද යත් ජනාධිපතිවරයා මෝදිට කතාකොට ඇත්තේ එවැනි සැලසුමක් හිතේ තබාගෙන නම් එය ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඇති අත්දැකීම් අඩු බව පෙන්වන ලකුණක් බව බොහෝ දෙනාගේ අදහසය.

අනුර යූටියුබ්කරුවන් එක්ක

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ වහාම අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අප මෙම තීරයෙන් පෙන්වා දුන්නේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු තොරතුරු අනුව සති 8ක කාලසීමාවකින් යුද්ධය අවසන් වනු ඇති බවට පුරෝකථනය කොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවට සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් කළ බවකි. එහිදී බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණේ මැදපෙරදිග යුද්ධයේ අවසානය සම්බන්ධයෙන් නිවැරැදි විග්‍රහයක් සිදුකර ගැනීමට ආණ්ඩුවට හරිහැටි ශක්තියක් නොතිබුණු බවකි. ඒ අනුව මේ වනවිටත් මැදපෙරදිග යුද්ධයෙන් ජනිත වී ඇති බරපතළ අර්බුදයන්ට ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අතර, දැනට මතුව ඇති තත්ත්වය යටතේ ඉදිරියේදී මෙම අර්බුද තවත් තීව්‍ර වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

මෙහිදී මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්ද මේ වනවිට බොහෝ දෙනා තුළ බරපතළ ප්‍රශ්න මතුව තිබේ. උදාහරණයක් ලෙස අතීතයේදී මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් ඇතිවූ අවස්ථාවලදී කිසිදු අවස්ථාවක ඒ පැවැති ආණ්ඩු යූටියුබ්කරුවන් ගෙන්වා ආණ්ඩුවට සහාය දෙන ලෙස ඉල්ලා සිටි බවක් වාර්තා වී නැත. සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදයකදී හිටපු පාලකයන් සිදුකොට ඇත්තේ පුවත්පත් කතුවරුන් හෝ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හෝ මාධ්‍ය හිමිකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් නිල වශයෙන් සාකච්ඡා කිරීමය. අර්බුදය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමය. නමුත් වත්මන් අර්බුදය හමුවේ ආණ්ඩුවේ ප්‍රධානීන් යූටියුබ්කරුවන් කැඳවා ඔවුන් සමග වත්මන් අර්බුදය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පසුගිය දිනක පවත්වා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

යූටියුබ්කරුවන් සමග පැවැත්වූ සාකච්ඡාවක් නිසා ඊට නිල පිළිගැනීමක් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කොට නොතිබීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා තෝරාගත් යූටියුබ්කරුවන් කිහිප දෙනකු කැඳවා තිබුණේ ජනාධිපති කාර්යාලයට නොව පැලවත්තේ පිහිටි ජවිපෙ පක්ෂ මූලස්ථානයටය. පසුගිය සඳුදා පස්වරු 3.00ට ජවිපෙ මූලස්ථානයේ පිහිටි රැස්වීම් ශාලාවේ කැඳවා තිබූ මෙම හමුවට යූටියුබ්කරුවන් පැමිණෙද්දී ඒ වනවිටත් ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සත් පැමිණ අසුන්ගෙන සිටි ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය. මෙහිදී රැස්වීම පැවැත්වුණේ නිල රාජකාරි මට්ටමෙන් එහා ගිය නොනිල සුහදශීලී මට්ටමකින්ය. එහිදී විවිධ මාතෘකා කතාබහට ලක්වුණු අතර, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කතාකොට කට වරද්දාගත් ආකාරය හා සමානම සිදුවීමක් එහිදී දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. එය සිදුවුණේ තෙල් ප්‍රශ්නය පිළිබඳ යූටියුබ්කරුවන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කටාර් එමීර්වරයා සහ එක්සත් අරාබියේ එමීර්වරයා සමග කළ සාකච්ඡාවක තොරතුරුද යූටියුබ්කරුවන්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එම කතාව කටාර් එමීර්වරයා කීවාද, එසේත් නැත්නම් අරාබි එමීර්වරයා කීවාද යන්න පැහැදිලි නැතත්, ජනාධිපතිවරයා කියා සිටියේ තව ටික දිනකින් ඉරානය සතු ආයුධ අවසන් වනු ඇති බවටත්, ඉරානයට බොහෝ කල් යුද්ධය ඇදගෙන යෑමට හැකියාවක් නොලැබෙනු ඇති බවටත් තමන්ට තොරතුරු ලැබී ඇතැයි කියාය. දැනට ඉරානය සතුව ඉතිරිව ඇති ආයුධවලටද ඉදිරි දින කීපය ඇතුළතදී ප්‍රහාර එල්ල වනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී යූටියුබ්කරුවන්ටද ප්‍රකාශ කොට තිබිණි.

ඒ අනුව මෙම ලිපිය සකස් කරන විටත් ජනාධිපතිවරයා මේ දුන් පිළිතුරු මෙරට තානාපති කාර්යාල සියල්ලකටම පාහේ වාර්තා වී ඇතුවාට සැක නැත. ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය හරහා ඉරානයට යම් අපහාසයක් සිදුව ඇති බවට මතයක්ද මේ වනවිට බොහෝ පාර්ශ්වයන් තුළ මතුව තිබේ. ඒ අනුව අපට කීමට ඇත්තේ යූටියුබ්කරුවන් සමග හෝ වේවා, ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ හෝ වේවා, වෙනත් නිල සාකච්ඡාවකදී හෝ වේවා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා මීට වඩා වගකීම්සහගතව හැසිරිය යුතු යැයි කියාය.

මීට අමතරව තවත් බරපතළ ප්‍රකාශ කීපයක්ම ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සිදුකොට තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් එකක් වන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකි.


‘අපි ටෙන්ඩර් දාලා තියෙන තෙල් නැව් එන්න තියෙන්නේ ලබන ජුනි මාසේ. ඒ නිසා ස්පොට් ටෙන්ඩර් දාලා තමයි අපිට තෙල් ගේන්න වෙන්නේ. එහෙම කළත් තෙල් නැවක් මෙහෙන් ගන්න විදියක් නෑ. මුහුදේ යන එකකින් තමයි තෙල් ගන්න පුළුවන්ද කියලා බලන්නේ. ඒකත් තාම හරිගියේ නෑ. මෙහෙම ගියොත් අපිට ලබන අප්‍රේල් 04 වැනිදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහන්න වෙනවා. ඊට කලින් අපි මේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ…’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කොට තිබිණි.

මේ කතාබහ අතරවාරයේ වෙනත් කරුණු පිළිබඳවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබිණි. එහිදී ආණ්ඩුවට පක්ෂපාතී යූටියුබ්කරුවන් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට පැමිණිලි කොට සිටියේ ආණ්ඩුවේ ඇමැතිවරුන් තම යූටියුබ් නාලිකාවන්ට සම්මුඛ සාකච්ඡා ලබාදීමෙන් වැළකී සිටින බවකි. තමන්ට ප්‍රතිචාර නොදක්වන බවකි.

‘ආණ්ඩුවේ ඇමැතිවරු අපිට උත්තර දෙන්නේ නෑ. හැබැයි ඒ අය ටීවීවලට ගිහින් කතා කරනවා. දැන් මිනිස්සු ටීවීවල යන ඒවා බලන්නේ නෑ. ඊට වඩා අපේ ඒවා බලනවා. හැබැයි මේ ඇමැතිවරු අපේ චැනල්වලට එන්නෙත් නෑ. ඒ වුණාට අපි කතා කළාම විපක්ෂයේ අය එනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනාගෙන් ඇහුවාම ඒ අය කියන්නේ මාධ්‍යවලට කතා කරන්න පැලවත්තෙන් අවසර ගන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නය අපට විසඳලා දෙන්න…’ යනුවෙන් යූටියුබ්කරුවන් ජනාධිපතිවරයාට කියද්දී ජනාධිපතිවරයා ඊට දී තිබුණේ අපූරු පිළිතුරකි.
‘නෑ මේ වෙද්දි අපි තීන්දුවක් අරන් තියෙනවා අපේ ඉන්න ප්‍රධාන මැති ඇමැතිවරු කතාකරන එක ටිකක් අඩු කරන්න. ඒ වෙනුවට ප්‍රශ්නවලදි අපි දෙන්න ඕනේ උත්තර වෙනත් පාර්ශ්වයන් හරහා දෙන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නෙ…’ යනුවෙන් කී ජනාධිපතිවරයා ඒ හරහා නොකියා යූටියුබ්කරුවන්ටද කීවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පස්සේ යනවා වෙනුවට ආණ්ඩුවේ මතය රටට කියන තුන්වැනි පාර්ශ්වයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසටය.

එහිදී එක් යූටියුබ්කරුවකු ජනාධිපතිවරයාගෙන් නැවත විමසා සිටියේ එසේනම් ආණ්ඩුවේ මැති ඇමැතිවරු දෙරණට යන්නේ කෙසේදැයි කියාය. ඔවුන් දෙරණට යනවා නම් අපගේ චැනල්වලට ඒමට නොහැක්කේ මන්දැයි කියාය. ඊට ජනාධිපතිවරයා හෝ නලින්ද කිසිදු පිළිතුරක් නොදී නිහඬව සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙම සාකච්ඡාවේදී මත්තල ගුවන් තොටුපළට ආණ්ඩුව සිදුකිරීමට බලාපොරොත්තු වන දේ සම්බන්ධයෙන්ද යූටියුබ්කරුවන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එහිදී බස්නාහිර ආණ්ඩුකාරවරයා වන යූසුෆ් හනීෆා මහතාගේ නමද සඳහන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඔහුගේ මූලිකත්වයෙන් දැනටමත් මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ප්‍රධාන රටවල් දෙකක් සමග සාකච්ඡා පැවැත්වෙනවා යැයි කියාය.

‘අපි ඒ ගැන කටාර් රාජ්‍යයයි, එමිරේට්ස් එක්කයි මේ වෙද්දී සාකච්ඡාවක් පටන් අරගෙනයි තියෙන්නේ. අපේ යූසුෆ් හනීෆා මැතිතුමා තමයි ඒකට සම්බන්ධ සියලු වැඩකටයුතු සිදුකරමින් ඉන්නේ…’ යන්න ඊට ජනාධිපතිවරයා දුන් පිළිතුර විය.

මේ අතර, නීති ක්ෂේත්‍රයේ ගැටලුවක් සම්බන්ධයෙන්ද මෙහිදී යූටියුබ්කරුවන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබිණි. ඒ ප්‍රශ්නයෙන් නම් ජනාධිපතිවරයාද දැඩි අසීරුතාවකට පත්වූ ආකාරයක් දැකගත හැකි විය.

‘දැන් මේ මානව හිමිකම් සිද්ධීන්වලට ලොකු අසාධාරණයක් වෙනවා. (එක්තරා පුද්ගලයකුගේ නමක් සඳහන් කරමින්) ඉස්සරහට එන මානව හිමිකම් කඩකිරීම් පැමිණිලි විභාග කරන්නේ නෑ. මේක හරි අසාධාරණයක්. ඇයි ඔබතුමා මේ ගැන නිහඬව ඉන්නේ?’ යනුවෙන් එක්තරා යූටියුබ්කරුවකු විමසද්දී ඊට ලබාදෙන්නේ කුමන පිළිතුරක්ද යන්න සිතාගත නොහැකිව ජනාධිපතිවරයාද තරමක් අසීරුතාවට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා, ‘ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ…’ යනුවෙන් කියමින් ප්‍රශ්නය මගහැරීමට උත්සාහ කළද, දිගින් දිගටම එම යූටියුබ්කරුවා යළිත් ඒ පිළිබඳවම ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබිණි. අවසානයේදී ජනාධිපතිවරයා, ‘ඕක ගැන කතාකරන්න අමාරුයි නේද…?, අපි බලමු නේද..?’ වැනි උත්තර ලබාදෙමින් මෙම ප්‍රශ්නය මගහැරීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පස්වරු 3.00ට ආරම්භ වූ මෙම සාකච්ඡාව අවසන් කරන විට පස්වරු 5.45ත් පසුව තිබීම විශේෂත්වයක් විය. එම පැය 2යි විනාඩි 45 තුළ ජනාධිපතිවරයාගේ පැත්තෙන් එම යූටියුබ්කරුවන්ට ‘කිස්ට්’ සන්නාමය යටතේ නිෂ්පාදනය කළ බිස්කට් පැකට් දෙක තුනක් සහ තේ එකක් ලබාදීමට කටයුතු කොට තිබිණි.

මෙම සාකච්ඡාව අවසන් වී යූටියුබ්කරුවන් ශාලාවෙන් පිටවීමත් සමග එහි පැමිණියේ වෙන කවුරුවත් නොව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වාය. ටිල්වින් සිල්වාත් සමග තවත් එක් විශේෂ පුද්ගලයකුද එම කාමරයට ඇතුළු වීමට කටයුතු කොට තිබිණි. එමෙන්ම බිමල් රත්නායකද ඒ මොහොතේම එම කාමරයට ඇතුළු වනු දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයාත් නලින්ද ජයතිස්සත්, බිමල් රත්නායකත්, ටිල්වින් සිල්වාත් ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට පියවර ගෙන තිබිණි.

සජිත්ව හමුවූ විශේෂ අමුත්තා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අවසාන භාගයේදී ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් සමග ගෝඨාභය සූදානම් වූයේ පළමු අවස්ථාවේදී විපක්ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුව භාරගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටය. නමුත් එම ඉල්ලීම ගෝඨාභය විසින් සිදුකරන අතරවාරයේදී අනෙක් රාජපක්ෂවරුන්ගේ සැලසුම වී තිබුණේ සජිත් අතට බලය හුවමාරු කරනවා වෙනුවට රනිල් හට බලය ලබාදී තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමය. ඒ අනුව සජිත් සහ ගෝඨාභය අතර සාකච්ඡා ආරම්භ වී තිබියදී රනිල් පාර්ලිමේන්තුව හරහා ජනාධිපති කරවීමේ මෙහෙයුමක්ද වෙනම ආරම්භ වී තිබිණි. මේ අතරවාරයේදී සජිත්ද තමන්ගේ ආර්ථික උපදේශකයන් ලෙස එවක කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න කැඳවා ආණ්ඩු බලය ගෙන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී හර්ෂ ඇතුළු මෙම කණ්ඩායම කෙළින්ම සජිත්ට දැනුම්දී තිබුණේ මේ වෙලාවේ ආණ්ඩුව ගන්නවා තබා ඒ ගැන හිතන්නවත් එපා යැයි කියාය. මේ බව අප අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කර ඇති අතර, පසු අවස්ථාවකදී රාජිත සේනාරත්න මෙය ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ සඳහන් කිරීමටද පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් අවසානයේදී තිරය පසුපස එහාට මෙහාට ලියුම් ගනුදෙනු සිදුවෙද්දී රනිල් පාර්ලිමේන්තුව හරහා පොහොට්ටුවේ සහාය ගෙන 8 වැනි ජනාධිපතිවරයා බවට තේරී පත්විය. පසුව සජිත්ට ආණ්ඩුව ගන්න එපා කී හර්ෂලා රනිල් සමග ඉතා සමීපව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. රනිල්ගේ හොඳ කියමින් රනිල්ගෙන් වරප්‍රසාද ගත් ආකාරයක් දැකගත හැකි විය.
ඒ පාඩම හොඳහැටි ඉගෙනගත් නිසාදෝ මෙවර සජිත් රට ඇතුළේ දරුණු ආර්ථික අර්බුදයක පෙරමග ලකුණු පහළ වෙද්දීම ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් වහ වහාම විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එවැනි අර්බුදයක් විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න වාර්තා කිරීම සඳහා කමිටු පත්කිරීමට පියවර ගත්තේය. දිගුකාලීන, කෙටිකාලීන විසඳුම් සකස් කරන ලෙස දැනුම් දුන්නේය. එහිදී සජිත්ගේ අවධානය මුලින්ම යොමුවූයේ මතුවෙමින් පවතින බලශක්ති අර්බුදය, නැතහොත් තෙල් ගෑස් විදුලිය ප්‍රශ්නය විසඳීම කෙරෙහිය. ඒ සම්බන්ධයෙන් එක්තරා සුවිශේෂ නියෝජිතයකු සජිත්ගේ නිවසටම පැමිණ පසුගිය සතියේදී පැය එකමාරක මුහුණට මුහුණ සාකච්ඡාවක් සජිත් සමග පැවැත්වීමට පියවර ගෙන තිබිණි. සජිත් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය විසඳුම් සෙවීම ආරම්භ කළේ මෙම විශේෂ පුද්ගලයා සමග පැවැති අතිශය වැදගත් සාකච්ඡාවෙන් අනතුරුවය.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී මෙම විශේෂ පුද්ගලයා විසින් සජිත් වෙත තීරණාත්මක අර්බුදයක් මතුවිය හැකි කාලසීමාවන් දෙකක් පිළිබඳ නිශ්චිත වශයෙන් තොරතුරු ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ කාලවකවානුවලදී මෙම අර්බුදය විසඳීමට අවශ්‍ය කටයුතු දැන්ම තියා සූදානම් කරගන්නා ලෙසද මෙම විශේෂ පුද්ගලයා විසින් සජිත්ට දැනුම් දී තිබිණ.

මෙම සාකච්ඡාව සිදුකර පැය 24ක් යෑමට මත්තෙන් සජිත් වහාම විපක්ෂ නායක කාර්යාලයේදී මෙරට බලශක්තිය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයන් රැසක්ම කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහි සිටි ඇතැමුන් පෞද්ගලික ක්ෂේත්‍රයේ බලශක්තිය සම්බන්ධයෙන් කීර්ති නාමයක් ඉසිලූ පුද්ගලයන්ය. ඒ අනුව මතුවෙමින් පවතින බලශක්ති අර්බුදයට විසඳුම් මොනවාද, එහිදී උදව් ලබාගත හැක්කේ කුමන රටවලින්ද, උදව් ලබාගැනීම සඳහා කෙළින්ම කතාකළ හැක්කේ කාටද, ගැටලුව විසඳීම සඳහා ගතයුතු කෙටිකාලීන විසඳුම් මොනවාද, දිගුකාලීන විසඳුම් මොනවාද යන්න සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. ඒ අනුව ප්‍රශ්නය විසඳීමට අදාළ වාර්තාව සහ ප්‍රතිපත්ති සකස් කරන ලෙස දැනුම් දෙමින් ඊට අදාළව විශේෂඥ කමිටුවක් පත්කිරීමටත්, ඔවුන්ට වහාම රාජකාරිය ආරම්භ කරන ලෙසත් දැනුම් දීමට සජිත් කටයුතු කළේය.

අඟේ ඉඳන් කන කාලා

මීට අමතරව සජිත් පසුගිය සතියේ ඉහළ පෙළේ තානාපතිවරුන් කිහිප දෙනකුද මුණගැසී ඒ සම්බන්ධයෙන් නිල නොවන මට්ටමේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී එක් තානාපතිවරයකු විසින් සජිත්ට අතිශය පෞද්ගලික කාරණාවක්ද මෙහිදී දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ, ආර්ථික කටයුතු මෙහෙයවීමේදී විශ්වාස කළ හැකි අලුත් කණ්ඩායමක් තමන් වටේ තබාගන්නා ලෙසටය. ගෝඨාගේ සමයේදී ආර්ථික අර්බුදය ආරම්භ වූ වේලාවේදී ඇතැම් පුද්ගලයන් සජිත්ට නොහැකි බව කියමින් රනිල්ව ප්‍රමෝට් කළ ආකාරයද මෙහිදී මෙම තානාපතිවරයා විසින් සජිත්ට දැනුම්දී තිබිණි.

මීට අමතරව සජබයට සම්බන්ධ ඇතැම් ආර්ථික ඔස්තාර්ලා තමන් හමුවී සජිත්ගේ ප්‍රතිරූපය විනාශ කොට ඔවුන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගත් ආකාරය පිළිබඳව මෙම විශේෂ තානාපතිවරයා සජිත්ට පෞද්ගලික උදාහරණද ගෙන පැහැදිලි කර දුන්නේය. ඒ අනුව ඔහු කියා සිටියේ මෙම පැරැණි යල් පැනගිය ආර්ථික ඔස්තාර්වරුන් වෙනුවට විශ්වාස කළ හැකි නව චරිත සජබයට ළං කරගන්නා ලෙසටය.

‘මම ඔබතුමාට මටම වෙච්ච පෞද්ගලික දෙයක් කියන්නම්. මෙහෙ තානාපති කාර්යාලවලට එන අය ගොඩක් එන්නේ මමත්වය ඉස්සරහින් තියාගෙන. ඒ ගොඩක් අය එන්නේ පක්ෂවල බලය අල්ලන්න බලාගෙන. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික පදනම්වලට ආධාර ගන්න. එහෙම නැතුව ඒ අයට සජබ ආණ්ඩුවක් හදන්න වුවමනාවක් තිබ්බේ නෑ (නම් කීපයක් කියමින්) මේ අය ඇවිල්ලා මාව හම්බවෙලා ඔයාව නැති කළා. ඒ නිසා මම ඔයාට උපදෙස් දෙන්නේ අර්බුද කළමනාකරණය කරන්න පුළුවන් විශ්වාසවන්ත අලුත් ටීම් එකක් ඔයා හදාගන්න.’ යනුවෙන් එම තානාපතිවරයා සජිත්ට දැනුම්දී තිබිණ.

ඒ අනුව සජිත්ද එම පණිවුඩය නිවැරැදිව ලබාගනිමින් අලුත්ම ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුම තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා පත්කිරීමට පියවර ගත්තේය. ඉන් එක් අයකු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරාය. තවත් අයකු වන්නේ නීතිවේදියකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයකුද වන චරණ කනංකෙගමගේය. මේ දෙදෙනාගෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යනු රටේ ආර්ථිකය පිළිබඳ ජනතාවට දැනෙන භාෂාවෙන් සහ ජනතාවට තේරෙන භාෂාවෙන් පැහැදිලි කළ හැකි විශේෂ අයෙකි. ජනතාව අතර නම් කියැවෙන ආර්ථික ඔස්තාර්ලා මෙන් නොතේරෙන ආර්ථික විද්‍යාව හෝ ආර්ථික විද්‍යාවේ න්‍යාය පිළිබඳ කතා කරන අයකු නොවන ප්‍රසන්න පෙරේරා ප්‍රයෝගික ආර්ථික විද්‍යාව පිළිබඳ ඉතා හොඳින් රටට පැහැදිලි කළ හැකි අයකු ලෙස ප්‍රකටය. පසුගිය සතියේ සජිත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආර්ථික විශේෂඥවරියක වන එලේනා පැනරිට්ස් මහත්මිය හමුවූයේ ඒ අනුවය. ඊට ඉහත නම් සඳහන් කළ ආර්ථික විශේෂඥයන් දෙදෙනාද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇති ගැටලු විසඳීම සඳහා මේ තිදෙනා තමන් සමීපයට ගත්තාට අමතරව මේ වනවිට ආණ්ඩුව මුහුණ දෙමින් සිටින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය විසඳා ගැනීම සඳහාද සජිත් තමන් සමීපයට විශේෂ පුද්ගලයන් කීප දෙනකුම ළංකර ගැනීමට කටයුතු කොට තිබේ. ඒ අතර කලක් සජිත් සමීපයේ සිට ඔස්තාර්ලාගේ විරෝධය නිසාම එළවා දැමූ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයකු ද නැවත සජිත් විසින් තමන් සමීපයට කැඳවා තිබේ. ඒ අනුව එම විශේෂඥයාට විදේශ ප්‍රතිපත්තිය සැලසුම් කිරීම සම්බන්ධයෙන් වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස සජිත් දැනුම් දී තිබේ. එමෙන්ම මතුව ඇති අර්බුදය හමුවේ ඉක්මනින් කතාකොට උදව් උපකාර ගත හැකි රටවල් සහ රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙසද සජිත් එහිදී මෙම තැනැත්තාට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ඉදිරියේදී මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අර්බුද 3ක් පිළිබඳවද මෙහිදී දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡා වී තිබිණි.

එක්වීම ස්ථිර වෙයි

මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප කළ අනාවරණයකින් දිවංගත ගාමිණී දිසානායක මහතාගේ අනුස්මරණ උත්සවයේදී සජබ සහ එජාප නායක හමුවක් සිදුවීමට නියමිත බව වාර්තා කර සිටියෙමු. නමුත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිංගප්පූරුවේ හදිසි සැත්කමකට මුහුණ දීමට සිදුවීම නිසා අවසන් මොහොතේදී එම අවස්ථාව මගහැරී ගිය ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් රනිල් හැරුණු විට එයට එජාපයේ අනෙකුත් ඉහළ පෙළ නායකයන් මෙන්ම සජබයේ ඉහළ පෙළ නායකයන්ද සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබීම සජබ සහ එජාප පාක්ෂිකයන්ගේ මහත් ප්‍රීතියට තුඩුදුන් සිදුවීමක් වී තිබිණි. බොහෝ දෙනෙක් ආදරය කරන එජාපයේ තරුණ නායකයන් වූ නවීන්, රුවන්, අකිල, තලතා වැනි කණ්ඩායමක් ඊට සහභාගි වී සිටිනු දැකගන්නට ලැබුණු අතර, රැස්වීම ආරම්භයේදී සජිත්ගේ දෙපසෙහි නවීනුත්, මයන්ත දිසානායකත් අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය. නමුත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන උත්සවයට සහභාගි වීමත් සමග මයන්ත සිය ආසනය රුවන්ට දීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත්ගේ දෙපසින් අසුන් ගෙන සිටියේ රුවනුත්, නවීනුත්ය.

එහිදී රුවන් සජිත්ගේ කනට කොට විශේෂ කාරණාවක් අසමින් විමසා සිටියේ, ‘දැන් කොයි කාලෙද පක්ෂ දෙක එකතු වෙන වැඩේ අවසන් කරන්නේ?’ යැයි කියාය. සජිත් ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ‘දැන් වැඩේ වෙලා ඉවරයි. කලබල වෙන්න එපා. අපි ඔය ඉතුරු ටිකත් හීන් සීරුවේ කරමු…’ යැයි කියාය.

රුවන්ගෙන් පසු නවීන්ද ඒ ආකාරයටම සජිත්ගේ කනට කොට පණිවුඩයක් දෙමින් කියා සිටියේ, ‘බැරිද අපේ පාක්ෂිකයන්ට මේකෙදි හොඳ පණිවුඩයක් දෙන්න?’ යැයි කියාය. ඊට සිනාසෙමින් සජිත් කියා සිටියේ ‘බලන් ඉන්නකො මගෙ කතාවෙදි කියන්න යන දේ…’ යැයි කියාය. ඒ අනුව නවීන් මෙන්ම සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ සජිත්ගේ කතාවටය. සජිත් සිය කතාවේදී විශේෂ ප්‍රකාශ දෙකක් කිරීමට පියවර ගත්තේය. ඉන් එකක් මෙතෙක් කවුරුත් නොදැන සිටි රහසක් විය. ඒ, සජිත්ගේ දේශපාලන ආරම්භය සම්බන්ධයෙන්ය. බොහෝ දෙනා සිතා සිටියේ සජිත්ට දේශපාලනය කරන ලෙස ආරාධනා කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහ යැයි කියාය. නමුත් සජිත් එහිදී සියල්ලන්ම පුදුමයට පත්කරමින් කියා සිටියේ තමන්ට දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා කොට තමන්ට හම්බන්තොට ආසනයද භාරදුන්නේ වෙන කවුරුවත් නොව දිවංගත ගාමිණී දිසානායක මහතා යැයි කියාය.

ඉන් අනතුරුව අනෙක් ප්‍රකාශය කළ සජිත් කියා සිටියේ සජබය සහ එජාපය නියත වශයෙන්ම නුදුරේදීම එකට එක්ව කටයුතු කිරීමට පියවර ගන්නවා යැයි කියාය. එමෙන්ම මේ වනවිට දකුණ සහ වම යන ප්‍රධාන ධාරා දෙකම අවසන්ව ඇති බව කී සජිත්, ලුම්පන් ධනවාදය සහ අන්තාවදී ලිබරල් න්‍යායන් පමණක් නොව, අන්ත කොමියුනිස්ට්වාදය මෙන්ම සමාජවාදයද බැහැර කර මානුෂීය ධනවාදය කරා රට මෙහෙයවීමට කටයුතු කළ යුතු බවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අපේ මුහුදට ඇවිල්ලා අමෙරිකාව ගහපු සබ්මැරීනය මොකද්ද කියලා අද වනතුරු එකෙක්වත් දන්නෙ නෑ! සජිත් ප්‍රශ්න කළාම ගොන්නු වගේ මඩ ගැහුවා! හෝමූස් එක වහන්න යන්නේ වහාම ලෑස්ති වෙන්න කිව්වාම හිනාවුණා..! ගණන් ගත්තෙ නෑ! හෝමූස් වැහුවා.. අපිට තෙල් නැතිවුණා..! මෙන්න අලුත්ම එක..! බාර්බ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධියටත් ලොකු තර්ජනයක්! වහාම සූදානම් වෙන්න..! සජිත් කියනවා..! ගොන්නු ටික හිනාවෙයල්ලා.. තියෙන ටිකත් නැති වුණාම අඬපල්ලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව වෙනුවෙන් නිර්මාල්! ආණ්ඩුව පෙරළුවොත් රටම අස්ථාවර වෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

Load More
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා...

Read more
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.