ආලින්දයේ සිනමාව වර්ණවත් කරන ටෙලි තරුවක තතු සොයා සතියෙන් සතියට ‘හාට්’ පියනඟන ගමන මෙවර නතර වූයේ ජනප්‍රිය රංගවේදී ‘ධනංජය සිරිවර්ධන’ අභියසදීය.
ඇසට මෙන්ම සිතටද දැනෙන කාලයට රඟන ධනංජය නැවැතත් මේ දිනවල ප්‍රේක්‍ෂක සිත් තුළට සමීපව සිටින්නේ ‘නාඩි’ ටෙලිනාට්‍ය හරහා.
ආගිය තොරතුරු කතා කරන්නට පමණක්ම නොව, අලුත් ඉලක්ක සොයා යන්නට කැමැති ධනංජයගේ මතු බලාපොරොත්තු ගැන විමසන්නටද අප තුළ වූ ‘කුකුස’ පුංචි පිළිසඳරකට පෙරලුණේ මෙලෙසය.
ඉතින් ධනංජය මේ දවස්වල අලුත් තොරතුරු එහෙම කොහොමද?
වරදක් නැහැ, කොරෝනාවලින් පසුව අපි නැවැත නව රූගත කිරීම් සඳහා සූදානම් වෙනවා.
ඒ කියන්නේ ඔබ අලුත් ටෙලි නිර්මාණ සඳහා ගිවිසුම් අස්සන් කරලා?
ඔව්. නවතම ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් ආරම්භ වීමට නියමිතයි. එකක් සුදර්ශන බණ්ඩාරගෙ තවමත් නමක් තබා නොමැති අධ්‍යක්‍ෂණයක්.
ඒ අතරම චරිත් අබේසිංහගේ ‘නාඩි’ ටෙලිනාට්‍යයේද වෙනස් ආකාරයේ චරිත නිරූපණයක් සඳහා සූදානම්ව සිටිනවා. ‘නාඩි’ අතර තමයි මේ දවස්වල මගේ සිතුවිලි දිව යන්නේ.
‘නාඩි’ ගැන ටිකක් කතා කරමු නේද?
දැනටම බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නට පටන් අරගෙන තමයි තියෙන්නේ. එක්වරම තේරුම්ගත නොහැකි ලිලන්ත කුමාරසිරිගේ මේ ගුප්ත කතා මාලාව ගැන ප්‍රේක්‍ෂකයා අතන, මෙතන මඟතොටේ දොඩන්නට පටන් ගෙන ඇති බව තමයි ආරංචිය.
ඒ වාගේම ඔවුන් ‘නාඩි’ ගැන විවිධ කතා වස්තු ගොතනවළු, ඒ කියන්නේ ‘නාඩි’ ගැන ඒ අය කුතුහලයට පත්ව අවසන්. නිර්මාණයක් ජනප්‍රිය වීමට අවැසි වන්නේද ඒ කුතුහලය තමයි.
ඔබ ‘නාඩි’ ගැන සතුටට පත්ව ඇති බවයි පෙනෙන්නෙ ධනංජය?
අනිවාර්යයෙන්ම, ‘නාඩි’ හිතුවට වඩා ඉක්මනින් ප්‍රේක්‍ෂකයාට සමීප වීම ගැන එයට දායක වූ රංගවේදියකු ලෙස මම සතුටට පත්වෙනවා.
ඔබ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වන්නේ තෝරා බේරා ගැනීමෙන් අනතුරුවද?
ඔව්… බොහෝ චරිත නිරූපණයනට මම අද මැදිවන්නේ යම් තෝරා ගැනීමක් තුළ තමයි.
‘අද…’ කියලා කිව්වේ, ඔබ ඕනෑම චරිතයක් බාර ගත්ත කාලයකුත් එදවස තිබුණද?
ඔව්… මීට අවුරුදු දහයකට, දොළහකට කලින් නම් ඕනෑම නිර්මාණයකට ගිවිසුම් ගහන කාලයක් තිබුණා තමයි.
ඒ කියන්නේ ටෙලි කලාවට පය තියලා ගෙවී යන 18 වැනි අවුරුද්ද තුළයි මම අද ඉන්නේ. ගැටවර යෞවනයකුව සිටි ඒ අවදියේ අතට එන ඕනෑම චරිතයක් මම බාර ගත්තා.
ඒ ගෙවෙමින් තිබුණේ අපි චරිත හොයන කාලේ, නළුවෙක් වෙන්න ලැබුණු අවස්ථාව තුළ ‘තමන්ගේ තැන හදාගත යුතුය’ කියන නියමය තුළ ඒ දවස්වල හිටපු අපේ හිත්වල ‘චරිතවලට’ තිබුණේ ඇත්තෙන්ම ලොකු කෑදරකමක්.
අලුත් යමක් කරලා පෙන්වන හැඟීමක් ඒ දවස්වල අපේ තරුණ හිත්වල තිබුණා. ඒ නිසා එදා ඒ යුගයේ චරිත තෝරා බේරා ගැනීමක් සිදුවුණේ නැහැ තමයි.
නමුත් දැන් ‘ධනංජය සිරිවර්ධන’ කියන රංගවේදියාට යම් ප්‍රතිරූපයක් තියෙනවා. ඒ වගේම යම් වටිනාකමක් තියෙනවා. ඒ නිසා එයට සරිලන ‘අගය’ නොලැබෙන චරිතවලට මම මැදිවන්නේ නැහැ.
ඔබ ඔය කියන්නේ ගුණාත්මක අගය ගැනද? නැත්නම් ඔබට නියම ‘මිලෙහි අගය’ ගැනද?
කාරණා දෙකම එම අගයට අදාලයි. රංගවේදීන් ලෙස ගුණාත්මක වගේම මිලෙහි අගයද අපට තිබිය යුතුයි කියලයි මම හිතන්නේ.
එහි අදහස ‘මිලෙහි වටිනාකම’ නිසා ඔබ සමහර ‘ගුණාත්මක නිර්මාණ’ අතහරිනවා කියන එකද?
මෙහෙම හිතන්නකෝ, යම් ගුණාත්මක නිර්මාණයක් සඳහා නාට්‍ය නිෂ්පාදකවරයෙක් මට කතා කරනවා. හැබැයි මට නියමව තිබෙන වටිනාකම ඔහුට දෙන්නට හැකියාවක් නැහැ. ඒ හින්දා මගේ වටිනාකම නොලැබෙන තැනදී මම ආපිට හැරෙනවා. අර නිෂ්පාදකවරයා මං වෙනුවට විකල්පයක් සොයා යනවා.
වෙනත් නිෂ්පාදකවරයෙක් ඔහුගේ ගුණාත්මක වූ නිර්මාණයක් වෙනුවෙන් මට ආරාධනා කරන තවත් අවස්ථාවක් එනවා. ඔහුටද අර වාගේම මගේ වටිනාකමෙහි මිල ගෙවන්න බැරි වෙනවා. එතැනදී ද මම ආපිට හැරිලා එනවා.
හැබැයි ඔහු මං වෙනුවට වෙනත් විකල්ප සොයා යන්නට පළමුව රෑ වෙලාවට දුරකතන ඇමැතුමක් දෙනවා. ඒ අය මට කියනවා.
අනේ ධනංජය මිලට පොඩි සාධාරණයක් දෙන්න. මොකද මේ නාට්‍ය අපි ලිව්වෙත් ඔයාව ඔළුවේ තියාගෙනයි. වෙනත් නළුවෙක් ඒකට ගන්න එක නිර්මාණයට කරන අසාධාරණයක්. ඒ නිසා අපට චාන්ස් එකක් දෙන්න.
අන්න එතැනදී මම ඔහුගේ ඉල්ලීම ගැන හිතනවා. මගේ වටිනාකමෙහි මිල වෙනස් කරනවා. මොකද මුදලින් ඒ වටිනාකම දෙන්න බැරි වුණාට ධනංජය සිරිවර්ධන කියන රංගවේදියාට විකල්පයක් නැතිය කියන වටිනාකම සහ අගය ඔහු මට දුන්නා.
ඔබ නළුවකු වූයේ ඔබේ තාත්තා නිසාද ධනංජය?
නැහැ… එහෙමය කියන්නට බැහැ. හැබැයි මම පළමුව රඟපෑවේ තාත්තගේ ‘නේත්‍රාංජලී’ ටෙලිනාට්‍යයේ තමයි. නමුත් එතැන මා තුළ වූ යම් වික්ෂෝපයක් සහ සිත්තැවුලක් තිබුණා. ඒ මම එතැනදී සාර්ථක වුණේ නැහැ නේද? හැඟීම නිසයි. ඒ පුංචි චරිතය වුණත් මට ඊට වඩා හොඳට කරන්න තිබුණාය කියන සිතුවිල්ල නිසා මම පීඩා වින්දා.
ඉන්පස්සෙ තමයි සාර්ථකව යමක් කරන්නට ඕනෑ, කරලා පෙන්නන්නට ඕනෑ කියන හැඟීම මගේ හිතට ආවේ. ඔන්න ඉතින් මම රංගන පාසල්, වේදිකාව සහ වැඩමුළු සමඟ අවුරුද්දක පමණ කට්ටක් කනවා. ඒ අතර අශෝක හඳගම කියන ප්‍රවීණයා ඔහුගේ අලුත්ම ටෙලියට නළුවෙක් හොයනවා කියන ආරංචිය මට ලැබෙනවා. එතැනදී බොහෝ දක්‍ෂ රංගවේදීන් මැද ඔහු මාව ඔහුගේ ටෙලියට තෝරා ගන්නවා.
හොඳ යමක් කරල පෙන්වන්නට පුළුවන් කියන හැඟීම තුළ මම ඉහත පැවැසූ වික්ෂෝපය සහ සිත්තැවුල පහකරන අවස්ථාව මට ලැබුණේ එතැනදී තමයි.
ඔබ මුලින් සිතා සිටියේ එතැනින් නතර වෙනවා කියලලු?
ඔව්, මම සාර්ථකය යන කාරණය ‘මේ පාරෙන් එන්න’ කියන නිර්මාණය හරහා ඔප්පුකර පෙන්නලා… රංගනයෙන් අයින් වෙනවා කියලා තමයි පළමුව හිතුවේ.
හැබැයි… හොඳම නළු සම්මානය සහ පිට පිට නාට්‍ය සඳහා ලැබුණු ආරාධනා නිසා නළුකම බාර ගත්තා.
ඔබේ රංගන ශෛලයට ස්ත්‍රී පක්‍ෂය බොහෝ ඇලුම් කරන බවට කසුකුසුවක් තියෙනවා?
ඔබ එහෙම කියනවා නම් ඒ ‘කසුකුසුව’ ගැන මම සතුටු වෙනවා. ඇතැම් විට එය බොරුවක් වෙන්නත් බැහැ. මෙතැනදී එයට නිදසුන් විය හැකි පුංචි කතාවක් කියන්නම්.
ටිකක් නුදුරු දිනෙකදී තරුණියක් මට ලියන්න පටන්ගෙන සිටිනවා. ඈ කියා තිබුණේ පාසල් යන දැරිවියක කාලේ ඉඳන්ම ඈ මට ඇළුම් කරන බවයි. ඇගේ පවුලේ අයද එය දන්නවලු. පෙම්වතියක වූ පසු පෙම්වතාටත් ඈ මා ගැන කියා තිබුණාලු. අද ඈ හතර හැවිරිදි දැරියක සිටින මවක වුවද තවමත් මට ආදරය කරනවලු. ඇගේ සැමියාද ඒ ආදරය ගැන දන්නවලු. ළඟකදී ඈ මට ලියුමක් එව්වා. එහි ඇය කියා තිබුණේ ‘තණමල්විල’ නාට්‍යයේ අවසාන භාගයේදී මං ඉන්නවා දුටුවිට ‘ෂෝක්’ වන තරමෙහි සතුටක් ඇයට දැනුණු බවයි. එවැනි රසික ආකර්ශණයක් ලැබීම ගැන මමද ගෞරවනීය සතුටක්
රංගන ජීවිතය තුළ ඔබට යම් ඉලක්කයන් තිබෙනවාද?
තිර රචකයකු ලෙස අධ්‍යක්‍ෂණයට පිවිසීමේ ඉලක්කයක් මා සතුව තිබෙනවා. ඉතා හෙමින් ගමනක් තුළ කලබලයක් නැතිව එයට පියනැඟීමට බලාපොරොත්තු වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











