ගුවන් සේවිකාවක් ලෙස රටවටා සැරිසැරීමට සිහින දැකපු ඇය 2008 අවුරුදු කුමරිය ලෙසට ඇය අභිෂේක ලැබුවා. ඒ ලබපු භාග්‍යයත් එක්ක ඇය පුංචි තිරයේ අහිංසකාවිය වීමට වාසනාවන්ත වුණා. අදටත් ඔබ ඒ අහිංසකාවියට ආදරය කරන නිසා දිලිනි ලක්මාලිගේ අලුත් රසබර තොරතුරු ඔබට කියන්නට ඇයට කතා කළා.
දිලිනි අපි කතාව මුලපුරන්නට කලින් දැනගනිමුද ‘හාමිනා’ කියන්නේ කවුද කියලා?
‘හාමිනා’ වෙද වලව්වේ පුංචිම කාලේ හැදුනු වැඩුණු කෙනෙක්. ගොඩදෙනෙක් හිතාගෙන හිටියේ මම වෙද වලව්වේ පොඩි වෙද හාහමිනි කෙනෙක් කියලා තමයි. ඉදිරියේදී හාමිනාගේ චරිතයට හැටියට වෙනස්කම් දැකගන්න පුළුවන් වෙයි. දැන්ම එය ගැන මම රසකර විස්තරාත්මකව පැවසුවොත් ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ රසය නැති වෙනවා. ඒ විතරක් නෙවේ හාමිනාටත් අසාධාරණයක් වෙයි.
ඔබ නිරූපණය කළ අනෙකුත් චරිත ලෙස බලන විට ඔබට හාමිනා දැනුණු විදිය පැවසුවොත්?
‘හමිනා’ කියන්නේ එක්තරා ගැමි චරිතයක්. මම රඟපාපු නිර්මාණවල බහුතරයක් මම රඟපෑවේ ගැමි චරිත. ඒ නිසා මට වෙනසක් දැනුනේ නැහැ. නමුත් චරිතයක් විදියට හාමිනාට මට යම් විශේෂ දේවල් එකතු කිරීමට සිදුවුණා.
ගමේ සුන්දරත්වයට හැඩකම් පාන ඔබේ රංග චාරිකාවේ රම්‍යලතා චරිතය කිසිවකුටත් අමතක කළ නොහැකියි නේද?
මටත් එය ගැන ආඩම්බරයි. ‘මද්දහාන’ ටෙලිනාට්‍යයේ රම්‍යලතා මගේ රංග චාරිකාවට නව එළියක් ගෙනදුන්නා. ඇත්තටම එවැනි චරිතයකට මට ආරාධනා කළ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සුමිත් රත්නායක අයියාට විශේෂයෙන් ස්තුතිය පුදකරනවා. ‘මද්දහාන’ 2017 තමයි විකාශය වුණේ. එදා පටන් අද දක්වා ගොඩ දෙනෙක් එය ගැන කතාබහ කළා. පහුගිය කාලේ නිර්මාණය වුණු නිර්මාණ අතර වෙනස් පැතිකඩක් ‘මද්දහාන’ ගත්ත නිසා එයාට ගොඩාක් ප්‍රේක්‍ෂකයන්ගේ අවධානය යොමුවෙලා තිබුණා.
හොඳම නිළියට ‘රම්‍යලතා’ හරහා සම්මාන හිමි හිමිවීමට තිබුණත් එය ගිලිහී ගියා නේද?
‘මද්දහාන’ ටෙලිනාට්‍යයට ඔය කාලවකවානුවේ සම්මාන රැසක් හිමිවුණා. එය ගැන මට සතුටුයි. නමුත් සමහර සම්මාන උළෙලවල්වලින් මට ආරාධනා පත්‍රයක්වත් එවලා තිබුණේ නැහැ. එය ගැන කණගාටුයි.
‘සිග්නිස් සම්මාන’ උළෙලේ හොඳම නිළියට නිර්දේශ වෙලා තිබුණා.
අපි දකින විදියට දිලිනි ඔබ ඒකාකාරී බවින් ගැමි චරිතවලට කොටුවීමක් දකිනවා?
ඒ මගේ බාහිර ස්වරූපයත් එක්ක වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා ගැමි චරිත කළාට මට ඒ චරිත හරහා ඒකාකාරී වුනේ නැහැ. කොටුවීමක් වුණු බව මම දකින්නේ නැහැ. ඒ චරිත තුළත් මට යම් වෙනසක් කරන්න තිබුණා. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්‍ෂණය කරන ‘අත්තටුවක පිහාටුවක්’ ටෙලිනාට්‍යයේ මගේ වෙනස් ස්වරූපයෙන් රංගනය දැකගන්න පුළුවන් වෙයි. එවිට ඒ වෙනස හැමෝටම දැනේවි.
ගෙවීගෙන යන කාලයත් එක්ක ඔබේ වයසත් මුහුකරා යනවා නේද? තවමත් විවාහය ගැන හිතුවේ නැද්ද?
ජීවිතය සාමාන්‍ය විදියට ගලාගෙන යනවා කාලයත් එක්ක. මගේ සමකාලීන මිතුරියන් විවාහ වෙලා. ඒත් විවාහය කියන දේ හොඳට හිතලාමතලා කරන්න ඕනෑ දෙයක්. මම එය ගැන තවම හිතලා නැහැ. නොබැඳ ඉන්නේ නැහැ. මගේ වෘත්තීය තේරුම්ගත්ත, මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබුණුදාට එය සිදුවෙයි.
ඔබේ සුවිශේෂී දක්‍ෂතාවක් අපි දුටුවත් තවම ඔබට සිනමා නිර්මාණයක දායක වීමට භාග්‍ය හිමිවුණේ නැහැ නේද?
චිත්‍රපටවලින් ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිත මට ගැලපෙන චරිත නෙවේ. ඒ නිසා මම ප්‍රතික්‍ෂේප කළා. මමත් හේතුව හොයනවා හොඳ චරිතයක් නොලැබෙන්නේ ඇයි කියලා. ගොඩාක් ආශාවෙන් ඉන්නේ හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වීමට. ‘ප්‍රතිරු’ චිත්‍රපටයේ සහ ‘මහින්දාගමනය’ චිත්‍රපට දෙකට විතරයි මම සම්බන්ධ වුණේ.
වසන්ත විතාරණගේ










