සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ රටේ තියෙන ප්‍රධානතම ජාතික උත්සවවලින් එකක්. සිංහලයන් සහ හින්දූන් මේ අලුත් අවුරුද්ද සමරනවා. ඒ වගේම ලංකාවේ ඉන්න සියලු අන්‍ය ආගමිකයන්, අන්‍ය ජාතිකයන් පවා අලුත් අවුරුද්දට විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා. අලුත් අවුරුද්ද කියලා කියන්නේ සංස්කෘතික උත්සවයක්. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමයි අපි අලුත් අවුරුද්ද විදිහට සමරන්නේ. අලුත් අවුරුදු කාලෙට ගහකොළ, වැල්, මල්, සතා සිවුපාවා පවා අලුතෙන් හැඩගැහෙනවා කියලා අපි විශ්වාස කරනවා.Sri Lanka Latest News
අලුත් අවුරුද්ද කියලා කියන්නේ චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත්, නැකැත් එක්ක බැඳිච්ච දෙයක්. අපි අලුත් අවුරුද්දට ගැළපෙන ඇඳුම් ආයිත්තම් අඳිනවා. එකම වර්ණයකින් ඇඳුම් අඳිනවා. එකම මොහොතකට එකම කිරිබතක් මුළු රටම අනුභව කරනවා. ඕක තමයි අලුත් අවුරුද්දේ තියෙන විශේෂත්වය. ලෝකේ එක මොහොතක එක නැකැතකට එකම කිරිබතක් කන වෙනත් රටක් නැහැ කියලයි අප දන්නේ. ශ්‍රී ලංකාව ඒ අතින් ඉතාම විශේෂයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් අපිට ජාතික නැකැත් කමිටුවක් ඉන්නවා. මේ නැකැත් කමිටුව පත්කරලා නිවැරදිව නැකැත් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරලා අපේ කටයුතු කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. රටේ ජනාධිපතිවරයා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ අනුග්‍රහකත්වයෙන්, දායකත්වයෙන්, ඒ අයගේ කැපවීමෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ලංකාවේ එතෙක් මෙතෙක් පත්වූ දේශපාලකයන්ගේ විවිධ ඇවතුම් පැවතුම් තිබුණත්, විවිධ සිරිත් විරිත් තිබුණත්, විවිධ ගති ස්වභාවයන් තිබුණත් ඒ අය මේ චාරිත්‍ර නම් නොපිරිහෙළා ඉෂ්ට කරමින් හිටියා.
අපි දන්නවා අපේ රටේ සමහර දේශපාලකයන්ට ඉතාම බරපතළ චෝදනා තියෙනවා. ඒගොල්ලෝ ඉතා බටහිර ගැති අන්‍ය ආගම් අදහන අය බවට. ඒ මොන චෝදනා තිබුණත් මොන විදිහට ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය ගත කළත් මේ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන එක නම් අතහැරියේ නැහැ. නැවැත්තුවේ නැහැ. අපිට මතකයි ගිය අවුරුද්දේ නැකැත් කමිටුව සහ නැකැත් සම්බන්ධව ලොකු ගැටුමක් නිර්මාණය වෙලා නැකැත් දෙකක් තියෙනවා කියලා මේ නැකැත් දෙකම රටේ සිද්ධ වෙනවා කියලා කතාබහක් ගියා. ඇත්තටම නැකැත් සම්බන්ධව එහෙම කියන්න බැහැ. නැකතක් නම් නැකැතක් වෙන්න ඕනේ, සිරිතක් නම් සිරිතක් වෙන්න ඕනේ, වර්ණයක් නම් ඒ නිවැරදි වර්ණය තියෙන්න ඕනේ. මේ හැමදේම හරියාකාරව සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙදා සිද්ධ වෙලා තියෙන්නේ නැකැත් කමිටුව විසින් යෝජනා කරන එක නැකැතක්, තවත් මෙහෙම නැකැත් දෙකක් තුනක් ගැන කතාබහක් ඇවිල්ලා අන්තිමට නිශ්චිත නැකතක් නැහැ, එහෙම සිරිතක් විරිතක් නැහැ, ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරගන්න කියන තැනට පත්වෙලා කියලා ඇතැම් මාධ්‍ය මේ කාරණාව වාර්තා කරලා තියෙනවා.
මේක බොහොම භයානක සහ බරපතළ තත්ත්වයක්. රටක් විදිහට අපිට තියෙන ඉතාම වැදගත් ජාතික උත්සවයක් මේ වගේ නැති නාස්ති කරගන්න අපිට පුළුවන්කමක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මානුෂීය පදනම යටතේ ඉඳලවත් අඩුම තරමේ අපේ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍රවලට අපේ තියෙන ගෞරවයට, අපේ තියෙන සිරිත් විරිත්වලට අදාළ නොවුණත්, අඩුම තරමේ රටේ මිනිස්සු මේක අදහනවානේ, රටේ මිනිස්සු මේ සිරිත් විරිත්වලට එකඟයිනේ, රටේ මිනිස්සු මේ දේවල් සම්බන්ධව උනන්දු වෙනවානේ කියන එක ගැනවත් හිතලා ඒකට එක නැකැතක් හදලා ඒ නැකැත සම්බන්ධව ජනතාව දැනුවත් කරලා රට වෙනුවෙන් අවශ්‍ය කරන වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මීට වඩා උනන්දු වෙන්න ඕනේ. ඇත්තටම සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පත්කරලා තියෙන්නේ සංස්කෘතික කටයුතු ගැන ඒගොල්ලන්ට කටයුතු කරන්න. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු ගැන උනන්දු නොවී ඉන්නේ කොහොමද?
ඉතින් හිතවත් ජනාධිපතිතුමනි, මේ වෙලාවේ අපි නැකැත් සම්බන්ධව මීට වඩා උනන්දු වෙලා හරි වැඩපිළිවෙළක් හදමු. ජාතියක් විදිහට අපිට ඉස්සරහට යන්න අපේ පැරැන්නෝ ආරක්ෂා කරගෙන ආපු සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර එක පයින් අමතක කරලා දාලා එක මොහොතකින් අයින් කරලා දාලා මේ ගමන යන්න බැහැ. අපිට තියෙන ප්‍රධානම ජාතික උත්සවය අපි පරිස්සම් කරගමු. අපිට මතකයි පසුගිය කාලේ වෙසක් කලාපවලට, පොසොන් කලාපවලට රට ඇතුළේ ඇතිවෙච්ච තර්ක විතර්ක, යෝජනා, චෝදනා. ඒවා ඔබේ ආණ්ඩුවට සම්බන්ධ නැති වුණාට රටක් විදිහට එවැනි දේවල් රටකට ගැළපෙන්නේ නැහැ.
සමහර විට වාමාංශික සමාජවාදී දේශපාලන ව්‍යුහයක් යටතේ ඉන්න ඔබේ කණ්ඩායමට මේ ජාතික උත්සව සම්බන්ධව තියෙන හැඟීම වෙනස් එකක් වෙන්න පුළුවන්. නමුත් එවැනි හැඟීමක් එක්ක මේ ගමන යන්න ගියොත් අපිට ගොඩක් දේවල් අතහැරලා දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා කරුණාකරලා මේ වෙලාවේ චුට්ටක් කල්පනා කරලා උනන්දු වෙලා මේ ජාතික උත්සවය ජාතික උත්සවයක් විදිහට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමාගේ දායකත්වයත් ලබාදෙනවා නම් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා.
මොකද මේ නැකැත් පතක් නැතිව ඉදිරියට යාම ගැන අපි අහපු පුරාණ ගැමි කතාවක් තියෙනවා. ඒ ගැමි කතාවේ කියන්නේ එක්තරා මනමාල මහත්මයෙක් මංගල උත්සවයකට ගියාම එහි හිටිය එක කවියෙක් කිව්වලු ‘මේ මනමාල මහතාගේ නැකැත්පත වැරදීමකින් අද මෙතැනට ගෙනත් නැත’ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මනමාලිගේ පාර්ශ්වයේ හිටපු අයෙක් කිව්වලු ‘මේ මනමාල මහතාගේ…’ කියලා හිස්තැනක් සහිත වචනයක් කියලා ‘එහෙනම් පුතේ ඒ මඟුලෙන් වැඩක් නැත…’ කියලා ආපහු ගෙදර එක්කන් ගියා කියලා. ඒ නිසා නැකැත්පත නැතුව ඉස්සරහට යන්න බැහැ. එහෙම වුණොත් අර කවියා ගැන, අර කවියා මනමාල මහත්තයා ගැන කිව්ව වගේ කතාවක් තමයි අපිටත් මැවෙන්නේ. ඒ නිසා නැකැත්පත හදාගෙන වැඩේ කරගෙන යමු ඉස්සරහට.

ජීවන පහන් තිළිණ










