පාස්කු ප්‍රහාරය සිදුවීමට කලින් 97 වතාවක් ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවලට දැනුම් දීමක් කර තිබූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ගුණරත්න මහතා මේ බව සදහන් කළේය.
මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණේ අප්‍රේල් 09 වන දින යැයි පැවසුව ද, අප්‍රේල් 07 වැනි දින තමන් දුරකථනයෙන් පූජිත් ජයසුන්දර මහතා අමතා එම බුද්ධි තොරතුර පිළිබඳ දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.
ජනාධිපති කොමිසම හමුවේ 12 වන දිනටත් සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරයට සති දෙකකට පෙර සහ ප්‍රහාරය එල්ලවීමට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය වගකිවයුතු පාර්ශව දැනුවත් කර ඇති බැවින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නිසා යැයි කිව නොහැකි බවය.
එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයට ලද පළමු පෙරදැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ ජයවර්ධන මහතා කියා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් මස 04 වැනිදා මෙරට වෙලාවෙන් පෙ.ව 10.40ට පමණ විදෙස් බුද්ධි සේවයක තොරතුරුකරුවෙකුගෙන් “වට්ස් ඇප්“ පණිවුඩයක් ලෙස තමන්‍ට පළමු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලද බවය.
මීට අමතරව මෙම අනතුර පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගීව සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී වාර්තා කළ බව ජයවර්ධන මහතා කොමිසමට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.










