පහුගියදා මා මිතුරියක වූ ඉන්දියාවේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ (International Buddhist Confederation) සේවය කරන ආචාර්ය බයිසලි ශර්කාර් හදිසියේ මා අමතා කාරණා දෙකක් සඳහා උදව් ඉල්ලා සිටියාය. පළමු වැන්න බුදුන්ගේ පාත්‍රා ධාතුව ගැන ඓතිහාසික කරුණු කරණා විමසීමය. මා ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි මාර්ග කියා සිටියෙමි. අනෙක් කරුණ විද්‍යාජෝති රාජා ද සිල්වා මහතා සම්බන්ධ කරගත හැකි මාර්ගයකි. අවුරුදු ගණනකට පසු මට ඔහුව මතක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශ ප්‍රධානි අර්ජුන සමරවීර මහතා අමතා රාජා ද සිල්වා මහතාගේ දියණියගේ දුරකතන අංකය ඉල්ලා දුන් අතර මම එය මිතුරියට යැව්වෙමි. ඉන් අනතුරුව කුමක් වූවාදැයි අසන්නට මට ඉස්පාසුවක් නොවීය. එහෙත් ඊට දින කීපයකට පසු ඒ මහා විද්වතා මෙලොව හැරගිය පුවත සවන වැකුණේ දුක්බර හැඟීමක් හිතේ කොනක ඉතිරි කරමිනි. ඔහුවන් මිනිසකු මේ රටට ලෝකයට සිදුකළ මහාර්ඝ සේවය මගේ හිත මත මතක අතරින් පෙරළි පෙරළී එන්නට විය. ඒ සීගිරි අප්සරාවන්ගේ ජීවිත බේරාගැනීමයි. Sri Lanka Latest News
‘මෙහි විභාග වන මුදල් වර්ෂයේ පළමු මාසයේම අවසන එනම්, 1967 ඔක්තෝබර් 14 වැනි දින සිගිරියේදී ජාතික ශෝකාවචකයක්. ඒ රැයේ කළුවරේ සීගිරියේ බිතුසිතුවම් ගුහාවට රිංගාගත් විනාශකාරීන් විසින් වෙළෙඳ ද්‍රව්‍යයක් වශයෙන් ඇති කොළ පාට තීන්තක් ඉලීමෙන් එහි ශේෂව ආ සිතුවම් දහනවයෙන් දහහතරක්ම වසා තිබුණේය. මීට අමතරව විරූප කර තිබුණු කොටස් දෙකක බදාමය කිසියම් ආයුධයකින් කඩා දැමීමෙන් එක් රූපයක හිසත් අනිත් රූපයේ ඉඟටියෙන් ඉහළ කොටසත් විනාශ කර තිබුණි…’
1967-68 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා මහ කොමසාරිස් තැනගේ පාලන වාර්තාවෙන් උපුටාගත් කොටසකි. හිටපු පුරවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතා විසින් එසේ සටහන් තබන ලදී.
අද වනතුරුත් සීගිරි සිතුවම්වල තීන්ත ගෑම අබිරහසකි. පැරණි පුරාවිද්‍යා නිලධාරීන් පවසන පරිදි ‘කරුපා’ නමැති ද්‍රවිඩ ජාතික මුරකරුවකු මේ අපරාධය සිදුවූ දින සීගිරිය ඉහළ මුර සේවයේ සිට ඇත. ඔහු සිද්ධියට පසුදා කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ නිල ණය මුදලක්ද ලබාගෙන වාර්ෂික දුම්රිය ප්‍රවේශ පත්‍රයද ලබාගෙන යාපනය දුම්රියට ගොඩවී ඇතත් ඔහු ඉන් බැස නැත. අද වනතුරුත් කරුපාට වූ දේද රහසකි.
එසේම මේ මහා අපරාධය සිදුවූ දින උදෑසන එහි පැමිණෙන සංචාරකයන්ට හිරිහැර වන ලෙස වෙළෙඳාම් කිරීම නතර කරන්නට සීමා මායිම් දැමීම පිළිබඳ උරණ වූ ඇතැම් සීගිරි ගම්වාසීන් විසින් උද්ඝෝෂණයක් පවත්වා ඇති බවත්, එහි සිටි මිනිසුන් ‘මේ චිත්‍ර නිසානෙ මේ ඔක්කොම’ ආදී ලෙස කෑගසා තිබූ බවද එවක පළවූ පුවත්පතක් වාර්තා කොට තිබී ඇත. කෙසේ වුවද ඒ අපරාධයේ සුලමුල අබිරහසකි.
1967දී වූ මේ සිදුවීම සිදුවී අද වනවිට අඩසියවසක් පසුව ඇත. ගොස් ඇත. ඇතැමකුට මේ ව්‍යසනය මතකයේ මුල්ලක්වත් නැති හැඩය. එහෙත් පුරාවිද්‍යාවට, අතීතයට ආලවඩන්නකුට එය කෙදිනකවත් අමතක නොවන්නක් සේම අමතක කළ නොහැක්කකි. ඒ මතක මත ජීවත්වන සංවේදී මෙන්ම කෘතවේදී මිනිසුන්ට අමතක කළ නොහැකි යමක් වේ. ඒ ලුසියානෝ මරන්සි නම් ඉතාලි ජාතිකයා හා එවක රසායන විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ ධුරය දැරූ රාජා ද සිල්වාය. කෙටියෙන්ම කියා සිටියහොත් සීගිරි සිතුවම් අපහට ආරක්ෂා කරදුන් ඍෂිවරු දෙදෙනාය. සීගිරි සිතුවම් මත තීන්ත ගෑමත් සමග හැකි ඉක්මනින් එහි සංරක්ෂණ කටයුතුවල නියැළෙන ලද්දේ රාජා ද සිල්වා මහතා වූ අතර, මෙම සිතුවම්වල වටිනාකම හා සංවේදී බව පිළිබඳ වගවූ රජය ලුසියානෝ මරන්සි ලංකාවට ගෙන්වනු ලැබුවේය. ඒ පැමිණීම සීගිරි රාජධානියේ ඉතිහාසයට තවත් යුගයක් එකතු කරන්නක් විය. ඒ පැමිණීම පුරාවිද්‍යා පාලන වාර්තාවේ සටහන්ව තිබුණේ මෙසේය.
‘සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට දැනගන්නට ලැබුණු වහාම අධ්‍යාපන ඇමැති තැන්පත් අයි.එම්.ආර්. හුරුල්ලේ මැතිතුමා විසින් බිතුසිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විද්වතා ලබාදෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්කෘතික වස්තූන් හැදෑරීමේ හා සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික තහවුරු කිරීම් පිළිබඳ ඉතාලි ජාතික විද්වතකු වූ ලුසියානෝ මරන්සි මහතා සති දෙකක වැඩ සඳහා ලංකාවට ඒමට සූදානම් විය. 1967 ඔක්තෝබර් මස 22 වැනි දින මරන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීම් කණ්ඩායම් සමග වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය…’ ලුසියානෝ මරන්සි ලංකාවට පැමිණියේ මේ අයුරිනි. මේ හමුවීම සිදුවූයේ සීගිරියේ ඛේදජනක සිදුවීම සිදුවී දින තුනකින් බව අතීතයේ මේ සිදුවීම වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ, මේ වනවිට විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
ලුසියානෝ මරන්සි සීගිරියට ආවේ ඉතාලියේ සිටම අවශ්‍ය සංරක්ෂණ ද්‍රව්‍යයන්ද රැගෙනය. ඔහු මෙරටට එනවිට එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සහකාර කොමසාරිස් ලෙස කටයුතු කළ රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත්කොට තිබූ සීගිරි සිතුවම දුටු මරන්සි පවසා ඇත්තේ මෙරට දක්ෂ මිනිසුන් සිටින බවත් මේ කටයුත්තට තමා අවශ්‍ය නොවන බවත්ය. එහෙත් නැවත රාජා ද සිල්වා මහතා පවසා ඇත්තේ දෙදෙනාම එකතුව මෙම කටයුත්ත කිරීමෙන් වැඩි දැනුමකින් මෙහි සංරක්ෂණ කටයුතු කිරීමට හැකිවෙතැයි යනුවෙනි.
ඒ අනුව මරන්සි හා රාජා ද සිල්වා මහතා එකතුව විනාශකාරී තීන්ත ආවරණය ඉවත් කරන්නට විය. ඊට විවිධ ආයතනවල සහ විවිධ පුද්ගලයන්ගේද උදව් උපකාර නොමඳව ලැබෙන්නට විය. අවසන මරන්සිත් හා රාජා ද සිල්වාත් කඩා තිබුණු චිත්‍රවල බදාමය පවා ශක්තිමත් කිරීමට කළ සංරක්ෂණ කටයුතුවලදී ලංකාවේ එවකට වලංගු මුදලින් කාසි දෙකක ‘මරන්සි’ සහ ‘ද සිල්වා’ යන නම්ද 1967 මාර්තු 23 යන දිනයද යොදා කැඩුණු බදාමය අයිනේ අලුත් බදාමය තුළම තැන්පත් කොට ඇත. මතු දවසක මෙහි වන විනාශයකදී හෝ සංරක්ෂණයකදී ලුසියානෝ මරන්සි හා රාජා ද සිල්වා කාසියෙන් නැවත මතුවෙනු ඇත. ඇතැම් විට මේ කාර්යය සම්බන්ධයෙන් මතුවන අවසන් සාධක කීපයෙන් එකක් ලෙසද ඒ කාසි සැලකිය හැකිවනු ඇත.
සීගිරි සිතුවම් අතර විනාශ වූ එක සීගිරි අප්සරාවකගේ සිතුවමක් මරන්සි විසින් ඒ සමාන පරිමාණයෙන් සිතුවම් කොට කෞතුකාගාරයට ගෙන ගොස් තැන්පත් කළේය.
එදා ලංකාවෙන් පිටවී ගිය මරන්සි නැවත වරින් වර දෙගල්දොරුව, දිඹුලාගල, පුල්ලිගොඩ හා රත්නපුරය ආශ්‍රිත විහාරයක සිතුවම් සංරක්ෂණය සඳහාද ලංකාවට පැමිණියේය.
තමන් නිකම්ම නිකං සොල්දාදුවෙක් පමණක් බවත්, ලංකාවේ තමාට වඩා දක්ෂයන් සිටින බව කියා නික්මෙන්නට තරම් අව්‍යාජ නිරහංකාර මිනිසකු වූ මරන්සි පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය.
පෙනුමෙන් අඩි හයකටත් වඩා උස ඔහු කඩවසම් පුද්ගලයෙක් විය. ඔහු ලංකාවේ මිනිසුන් හඳුන්වන ලද්දේ ‘සීගිරි මහත්තයා’ ලෙසය. පසුගිය කාලයේ ඉතාලියේ පාළු නිවසක කාමරයක් තුළ මේ ආදරණීය සීගිරි මහත්තයා අවසන් හුස්ම හෙළා තිබිණි.
එලෙසම, 2026 පෙබරවාරියේ අග දිනෙක සීගිරි සිතුවම් සුරැකුම් ක්‍රියාවලියේ අනෙක් නියමුවා, අපේ රටේ මරන්සි වූ පුරාවිද්‍යා කොමසාරිස්වරයකුව සිටි රාජා ද සිල්වාද අවුරුදු සියයක් ආයු වලඳා මෙලොවින් නික්මුණේය. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණි, රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් සහිත පළමු විද්වතා විය. ඒ දැනුම අදටත් අප දකින සීගිරියේ සහ තවත් පුරාවස්තුවල ජීවමානතාව හරහා අනාගතය ස්පර්ශ කරමින් හිඳින්නේ මේ මිනිසාට පින් සිදුවන්නටය. මේ මිනිසා තම පර්යේෂණ හරහා මේ රට වෙනුවෙන් පුරාවිද්‍යාව උදෙසා කළ සේවය සුළුපටු නොවේ. එච්.සී.පී. බෙල්ගේ සිට තවත් අවුරුදු දහස් ගණනක් අපි ඒ ගරුකටයුතු නාමාවලිය ඉදිරියේ රාජා ද සිල්වා යන නාමයට ඒ අතිමහත් සේවය උදෙසා අපි සියල්ලන්ගේම සිත් තුළ ගෞරවයෙන් හා කෘතවේදීත්වයෙන් හිස නවාගත් මිනිසකු සිටින වග මෙසේ ලියා තබමු.
(ස්තුතිය – ලුසියානෝ මරන්සි පිළිබඳව 2012 වසරේදී සකස් කළ ලිපිය සඳහා තොරතුරු සැපයූ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, ඡායාරූප අංශ ප්‍රධානි අර්ජුන සමරවීර, ඊ.එම්.ඩබ්ලිව්. කරුණාරත්න, ගෘහ නිර්මාණ ශිල්පී තිලක් සමරවික්‍ර, විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී ආර්.බී. එදිරිංහ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වතුගෙදර යන මහත්වරුන්ට).

සඳරැසී සුදුසිංහ










