ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ඕනෙ, තමන්ට ඉහළින් ජනාධිපති ඇරුණම වෙන කවුරුත් නෑ කියන රාජ්‍යය සේවකයන්ට තග දාන, ළමයව ඉස්කෝලේ දාගන්නයි, රස්සාවලටයි ලියුම් දෙන, කෝල් කරලා වැඩේ කරගන්න, වැඩ දහයයි පඩ දාහයි මට්ටමේ ෂෝ ඕෆ් දේශපාලකයෝ.
කැපකිරීම් කරන්න, රට වෙනුවෙන් වැඩකරන්න, රට හදන්න, සමාජය හදන්න, සැමට පොදු නීතියක් ඕනේ කියන කික් එකේ ඡන්දේ දුන්නට, ඒ කැපකිරීම් තමන්ට කරන්න වෙද්දී, නීතියට තමන්ටත් මුහුණ දෙන්න වෙද්දී මිනිස්සු වෙනස් වෙනවා.
මේ වෙද්දී හරියට රාජකාරිය කරන්න වෙන නිසා සුළුතරයක් රාජ්‍ය සේවකයොයි, රාජ්‍ය සේවය කඩිනම් කරන්න හරි කොලේ වහලා වැඩේ කරලා දෙන්න හරි කප්පම් ගත්ත අයයි බලයට පත්වෙලා ඉන්න දේශපාලකයන්ව අපහසුතාවට පත්කරන්න යටිකූට්ටු වැඩකරමින් ඉන්නවා. එහෙම කරලා අහුවෙන අයට රාජකාරී මට්ටමින් දඬුවම් ලැබුණට ඒ බව ප්‍රසිද්ධ නොකරන එකෙනුත් රජය කෙළවා ගනිමින් ඉන්නේ.
රටේ වෙච්ච ප්‍රධානම අපරාධවලට ආරක්ෂක අංශවල ප්‍රධාන පුටුවල ඉන්න ලොක්කොත් කොහෙන් කොහෙන් හරි පටලවලා නිසා රජයට ඕනෙ වුණත් පරීක්ෂණ ඒ ඒ ආරක්ෂක අංශ ඇතුළෙන්ම කල් මර මර පටල පටල ඉන්නවා මිසක් හරියට ඉදිරියට යාමක් නෑ. ඒ කල්මැරීම ඇතුළේ සාක්ෂි කාලයත් එක්ක විනාශ වෙලා යනවා, ආයේ බල පෙරළියක් වෙලා පරණ ත්‍රාඩයෝ ටිකම දේශපාලන බලය අල්ලනවා.
බන්ධනාගාර ගතවෙන ලොක්කෝ මොකක් හරි බොරුවක් ගොතන් ඉස්පිරිතාලේ ලගින්න යනවා. එහෙම උන්ට දොස්තරලා උසාවියට ඉදිරිපත් කරන්න බොරු ලෙඩ සටහන් කරලා ලියකියවිලිත් හදලා දෙනවා. ඊට පස්සේ ඇප හම්බවෙනවා. ඒ අසනීප බොරු බව උසාවියේදී ඔප්පු වුණත් බොරු ලියකියවිලි හදන දොස්තරලට දඬුවමක් දඩයක් තියා අධිකරණය නොමග යැවීම ගැන පරීක්ෂණයක් කරන්න කටඋත්තරයක් ගන්න මට්ටමටවත් අපේ රටේ නීතිය බලාත්මක වෙන්නේ නෑ.
ජනතාවට සේවයක් කරන්න ඇත්තටම වුවමනාවක් කැපවීමක් තියෙන මිනිස්සු මේ තත්ත්වයත් එක්ක දේශපාලන බලය ගත්තත් අන්ත අසරණයි. කියාගෙන ආපු දේවල් කරගන්න බැරුව නෝන්ඩි වෙලා යනවා. පාලකයා හොඳ වුණත්, රට හදන්න, නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාව පාලකයාට තිබුණත් ආරක්ෂක අංශයට වේවා, රාජ්‍ය සේවයේ නිලතලවලට වේවා, නීති ක්ෂේත්‍රයට හෝ වේවා පත්කරන්න වෙන්නේ පහුගිය දශක ගානක ඉඳන්ම හොරකමෙනුයි, හොර හිතෙනුයි, අවාසනාවකට වුණත් දේශපාලකයන්ගේ බලකිරීම්වලට වරදේ බැඳීච්ච මිනිස්සුම තමා. එහෙව් මිනිස්සුන්ගෙන් යහපතක්, කැපවීමක් බලාපොරොත්තු වෙන්න බෑ.
ගෝඨාභය රාජපක්ෂට රටේ වෙනසක් කරන්න ඕනෙකමක් තිබ්බත්, ඕනෙ හැටියේ ශක්තියක් තිබ්බත් වටේ හිටපු ඇම්බැට්ටයෝ ටික විශ්වාස කරන්න ගිහින් කෙළෝ ගත්තා. ගෝඨාභය තරම් අනුර කුමාර ජනාධිපති කෙළවගත්තේ නැතත්, හම්බවුණු කෙවිට තියෙන්නේ අමුඩේ අස්සේ ගහන් ඉන්න නෙමෙයි කියන එක දැන්වත් තේරුම් නොගත්තොත් ඉදිරි සියවසේ ආයේ ජ.වි.පෙ. නමින් වේවා ජා.ජ.බ. නමින් වේවා වෙන නමකින් ආවත් ඔවුන්ගේ කුලකයේ අන්තිම ජනපති අනුර කුමාර දිසානායක විතරයි.
ජාතික ජන බලවේගයෙන් රටේ කරන වැඩවලට වඩා විපක්ෂයේ මඩ බලවේගයන් සමාජ මාධ්‍යවල කරන වැඩවල ව්‍යාප්තිය වැඩියි. බලයට පත්වුණු හැම පක්ෂයකම සමහරක් දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් පිස්සු කෙළියා. පිස්සු කෙළීම එදත් අදත් හෙටත් අපි වගේ රටවලට සම්මතයක්.
නීතිපති 2016 ඉඳන් සමහරු නඩු හිතාමතාම පමා කරන්නත්, අතරමග නතර කරන්නත් කටයුතු කරලා තියෙනවා කියන එක වුණත් මේ වෙනකොට ඔප්පුවෙලා ඉවරයි.
උසාවිය ඇතුළේ මිනී මරලා ගිය එකාගේ ස්වභාවය වෙනස් කරලා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරපු රටක් මේක.
දැනටමත් පරීක්ෂණවලින් හොයාගත්ත කාරණාවලට නීතිය ක්‍රියාත්මක කරන්න නීති නැත්නම් නීති හදනවා කියන් ආපු, ඒදේ කරන්න ඕනෑවටත් වඩා බලය තියෙන අය කල් මර මර ඉඳලා ඊළඟ ජනාධිපතිවරණෙට ඔන්න මෙන්න තියලා ඒ දේවල් කරලා ආයේ බලය ගන්න හිතනවා නම් ඒක තමා කරගන්න ලොකුම වැරැද්ද.
ඇවිත් කෙළෝගෙන ගිය අයටයි, ඇවිත් කෙළවගනිමින් ඉන්න අයටයි, එන්න ඉන්න අයටයි පොදුවේ කියන්න තියෙන්නේ ‘කෙවිට අතට දීලා තියෙන්නේ අමුඩේ අස්සේ ගහන් ඉන්න නෙමෙයි.’
සංඛ විදානගම










