මීට දශක කිහිපයකට කලින් සිංහල සිනමාව තුළ රසකාමී මං සලකුණක් තැබූ හැඩකාර නිළියක් සිය අසූවැනි උපන් දිනය හරි ජයට සැමරුවා. සමස්තයක් විදියට ගත්තම බොහොමයක් නිළියන් වයස හංගන්න හදනකොට මේ සුරූපිනිය ‘මට දැන් අසූවයි’ කියලා ඉටිපන්දම් පොකුරක් නිවලා කේක් ගෙඩිය කපන්න ලංකාවට ආවේ කැනඩාවේ ඉඳලයි. ජයට ගත්ත උපන්දින පාටියේ ෆොටෝස් ටිකක් ෆේස්බුක් එකට වගේම සෝෂල් මීඩියාවලත් මුදාහැරියේ ඇගේ ඥාති දියණියකගෙ මනාපෙටයි.
හීනෙකින්වත් හිතපු නැති විදියට ෆොටෝස් ටික ගින්දර ගානට වයිරල් වුණා. සිය ගානක් කමෙන්ට්ස් වැටුණේ හරිම ආදරණීය විදියටයි. ඇයවත් හිතුවෙ නැහැ අවුරුදු පනස් ගානකට පස්සේ තම රුව දැකපු ප්‍රේක්ෂකයන් තමන් වෙනුවෙන් මේ තරමට ප්‍රතිචාර ද්කවයි කියලා.Sri Lanka Latest News
කවුද ඉතින් මේ කියන නිළිය?
ඈ බියුලා ඩයස්. එහෙමත් නැත්නම් බියුලා ඩයස් කරුණාරත්න. තවත් විදියකට කියනවා නම් 1974 තිරගත වෙච්ච ‘දුලීකා’ චිත්‍රපටයේ දුලීකාට රඟපෑවේ ඇයයි. ජෝතිපාලගේ හඬට ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ ගීතය සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා වූ විජය කුමාරතුංග ගැයුවේ මේ දුලීකා වෙනුවෙනුයි.
බියුලා ‘හාට්’ එකේ කතාබහකට එකතු කරගන්න හිතට ආව අදහස මුදුන්පත් කරගන්න උදව් කෙරුවේ නප්‍රිය නිළි නිලන්ති ඩයස්. ඉහත සඳහන් කළ බියුලාගේ ඥාති දියණිය ඇයයි. ඉතින් මේ පෙළගැසෙන්නේ බියුලා සමග ගෙවීගිය සොඳුරු නිමේශයක කතාබහයි.
ආයුබෝවන් ඔබට කොහාමද? ඉතින් ඔබේ තොරතුරු?
මම බොහොම සතුටින් ඉන්නවා. මේ දවස්වල නම් හුඟක්ම කාර්යබහුලයි. ටීවී චැනල්වලින් කතා කරනවා. පත්තරවලින් කතා කරනවා. යූටියුබ් චැනල්වලින් ඇවිත් ප්‍රෝග්‍රෑම් කරනවා. වැඩ ගොඩයි.
නිලන්ති නිකමට වගේ දැම්ම ෆොටෝස් ටික මෙහෙම වයිරල් වෙයි කියලා හිතුවේ නැහැ නේද?
කොහොමවත් හිතුවේ නැහැ ඇත්තටම. නිලන්ති මගෙන් ඇහුවා මේවා නිකමට වගේ දාමුද ෆේස්බුක් එකට කියලා. මමත් ලොකුවට නොහිතා හා කියලා කිව්වා. අන්තිමට වුණේ නොහිතපු දෙයක්. අවුරුදු පනස් ගණනකට පස්සේ බියුලා ඩයස් කියන නිළිය හොඳටම බිසී වුණා. මම විතරක් නෙවෙයි. අපේ නිලන්තිත් බිසී වුණා. ඈ හරහා තමයි හැමෝම මාව කන්ටැක්ට් කරගත්තේ. දැන් ඉතින් ඇයටත් මාව එක්කාසු කරගෙන හැම තැනම යන්න වෙලා. ඇයි ඉතින් මම තාම හරියට දන්නේ නැහැ මෙහෙ පාරවල්. හරි වැඩක් තමයි එයාටත් වුණේ.
අවුරුදු 80 උපන්දිනය සමරන්න විශේෂයෙන්ම කැනඩාවෙ ඉඳන් ලංකාවට එන්න හිතුවේ ඇයි ඔබ?
ඒක මම මගේ රටට දුන්න පොරොන්දුවක්. ජීවත්ව හිටියොත් නිරෝගීව හිටියොත් අනිවාර්යයෙන් ලංකාවට ඇවිදින් මගේ පවුලේ අය එක්ක ඒ උපන්දිනය සමරනවාමයි කියලා හිතුවා. 78 උපන්දිනයටත් මම ලංකාවට ඇවිදින් උපන්දිනය පුංචියට සමරලා යන්න ගියා. 80 උපන්දිනය ලොකුවට මේ විදියට ගන්න එදා ඉඳන්ම හිතේ තිබුණා.
අපේ පවුලේ මාත් එක්ක පස්දෙනෙක් ඉන්නවා. එයාලා හැමෝම වගේ තම තමන්ගෙ දූදරුවො එක්ක රට රටවල ඉන්නවා. මම තමයි පවුලේ ලොකු අක්කණ්ඩි. මම හැමෝටම කල් තියාම ආරාධනා කෙරුවා. උපන්දින පාටියට එන්නම ඕනෑ කියලා. නිලන්තිත් ඒ හැම ප්ලෑන් එකකටම මට ෆුල් සපෝට් එක දුන්නා.
ආරාධනාව පිළිඅරගෙන ඒ හැමෝම ආවද ඉතින් දුරබැහැර ඉඳන්?
මොනවද මේ කියන්නේ. ඒ හැමෝම ආවා. පාටිය ලොකුවට ගත්තා. මගේ රටට දුන්න පොරොන්දුව අපූරුවට හිතුවටත් වැඩිය හොඳට ඉෂ්ට වුණා.
ෆොටෝස් ටිකත් හිතුවට වැඩිය වයිරල් වුණානේ නේද?
ඒකනෙ කියන්නේ. කවුද හිතුවෙ අවුරුදු පනස් ගණනකට පස්සෙත් බියුලා ඩයස් කරුණාරත්න කියන නිළිය මෙහෙම ෆොටෝස් ටිකක් හින්දා ෆේමස් වෙයි කියලා. අනෙක මම මොනවද කළේ? බොහොම ටිකයි සිනමාව වෙනුවෙන් කළේ. ඒ සුළු දේ මගේ ප්‍රේක්ෂකයන්ට මේ තරමට මතක හිටීවිය කියලා නිකමටවත් හිතුවේ නැහැ. මොකද 1974 හෝ 76 අවුරුදුවල විතරයි මම රංගනයත් එක්ක හිටියෙ. ඉන් පස්සේ කැනඩාවට ගියේ පදිංචියටමයි.
ඒ හදිසි අතුරුදන් වීම ගැන කතා කරමු. දුලීකාට රඟපාපු කැට් අයිස් තියෙන ලස්සන කෙල්ල කෝ කියලා ප්‍රේක්ෂකයෝ හෙව්වා?
ඔව්. එහෙම වුණාය කියලා ආරංචි වුණා. රංගනයට ආවා. ඒ සැණින්ම කැනඩාවට යන්න ගියා. හරි හදිසියටයි හැම දේම සිද්ධ වුණේ.
ඇයි එහෙම වුණේ? විවාහයට පස්සේ හස්බන්ඩ් බපෑමක් කළාද?
අයියෝ නැහැ. එතකොට බඳින්න හිතලාවත් නැහැ. ඒකට හේතුව වුණේ නිළියක් වෙන්න, නිළියක් විදියට ජනප්‍රිය වෙන්න මට ඕනෙ වුණේ නැහැ. එහෙම හීනයක් හිත අහලකවත් තිබුණේවත් නැහැ.
නිළියක් වෙන්න හීන නොදැක්කා නම් රඟපාන්න ආවේ ඇයිද දන්නේ නැහැ?
අහන්නකො ටිකක්. ඒ කතාව තමයි මේ කියන්න යන්නේ. නිළියක් වෙන්න ආසා නැති වුණාට මම ඩාන්සින්වලට පිස්සු වැටිලා හිටියා. කොටහේන ගුඩ් ෂෙපර්ඩ් එකේ ඉගෙනගන්න කාලේ බැලේවලටත් හිටියා. ඩාන්සින් ෂෝවලටත් හිටියා. උඩරට පහතරට නැටුම් සේරම ඉගෙනගත්තා. අනෙක ඩාන්සින්වලට මම හරිම ටැලන්ටඩ්.
ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ තරුණ වයසෙදිම ‘අබිරහස’ ෆිල්ම් එකට ආරාධනා ලැබුණා. රඟපාන්න නෙවෙයි. බැලේ ඩාන්ස් එකකට පෙනීඉන්න කියලා. මම ඉතින් ඩාන්සින්වලට මනාපයිනේ. ගියා ඉතින් ඒ ආරාධනාව පිළිඅරගෙන. ඩාන්ස් එකත් හොඳටම තිබුණා කියලා හැමෝම වගේ කිව්වා. එතැනින් හැම දේම ඉවරයි කියලා හිතුවා.
හැමෝම හොයන්න ගත්තා හැඩට නටන මේ ලස්සන කෙල්ල කවුද කියලා?
හරියටම හරි. අලුත් මුහුණ කවුද කියලා හැමෝම හොයන්න ගත්තා. කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා ‘දුලීකා’ ෆිල්ම් එකට අලුත් නිළියක් හොයන්නෙ ඔය අතරෙයි. මං ගැන දැනගෙන ඔහු මාව හොයාගෙන ආවා.
විශිෂ්ට ගණයේ ප්‍රවීණයකුගෙන් ආරාධනයක්?
සත්තකින්ම ඔව්. හැබැයි ගත් කටටම මම ‘බැහැ’ කිව්වා. මොකද කියනවා නම් ඩාන්සින්වලට මිසක් ඇක්ටින්වලට මනාපයක් තිබ්බෙ නැහැ. ඒත් ඉතින් අපේ අම්මා එතැනදී මට බල කළා. ඇයි මේ තරම් හොඳ අවස්ථාවක් අතහරින්නෙ කියලා. ඔන්න ඉතින් අම්මගෙ බලකිරීමට අම්මා එක්කම ෂූටින්වලට එනවා.
හාහා පුරා කියලා රඟපාන්න ලැබෙන්නෙ සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා එක්කයි?
ඔව්නෙ. එදා තමයි ඔහුව ෆස්ට් ටයිම් හරියටම දැක්කෙ සහ මේ විජය කියලා හඳුනාගත්තේ. දැක්කම හිත ටිකක් ගැස්සුණා වගේ දැනුණා. අප්පා මෙයාගේ ලස්සන කියන සිතුවිල්ල තරුණ කෙල්ලක් හැටියටම හිතට ඒ මොහොතෙ දැනුණා. ඔහු නිහතමානීව සුහදව කෝඩුකාර මාත් එක්ක රඟපෑවා.
සෙට් එක්දි රිලැක්ස් එකේ රඟපාන්නේ කොහොමද කියන එක කියලා දුන්නා. අපි හොඳ යාළුවො වුණා.
ඒ යාළුකමේ හොර අල්ලන්නද දන්නෙ නැහැ නිළි රැජින මාලනී ෆොන්සේකා නිතර සෙට් එකට ආවාය කියන්නේ?
පත්තරකාරයන්ගේ නරක ගොසිප් වෙන්නැති ඒවා. මාලනී ෆොන්සේකයි විජය කුමාරතුංගයි ආදරය කරපු කාලෙ තමයි මං හිතන්නේ ඒක. ඈ සෙට් එකට එනවා විජයව හම්බවෙන්න. ඇගේ ලස්සන ආශ්චර්යයක් කියලයි සජීවීව ඇයව දැකපු පළමු දවසෙම මට හිතුණේ. අනේ අපේ මොන ලස්සනක්ද එහෙම බලනකොට. එතැනින් පස්සේ මමත් විජයත් මාලනීත් හැමදාටම හොඳම යාළුවො විදියට සුහදව හිටියා. ඇගේ වියෝව අහපු වෙලාවේ මට හරියට දුක හිතුණා ඇත්තමයි.
විජය කුමාරතුංගගේ අකල් මරණය ඔබට ඊට වැඩිය ලොකු ෂොක් එකක් වුණාලු?
අනේ දෙවියනේ. හිතාගන්නත් බැරිව ගියා. ඔහු මොන තරම් තරුණයිද එතකොට. අනෙක ඔහු හැකි හැම මොහොතකම අපේ පවුලෙ අය සමග සුහදව හිටියා. කැනඩාවට ආවොත් අපේ ගෙදර ඇවිදින් යන්නේ. මරණයට දවස් කිහිපයකට කලින් විජය මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ‘බියුලා මම ටික දවසකට ඇවිත් යන්න එනවා. අපි කට්ටියම හොඳට එන්ජෝයි කරන්න පුළුවන් පාටියක් ප්ලෑන් කරන්න’ කියලා.
පාටි එකක් නෙවෙයි එහෙ මෙහෙ ඇවිදින්න යන්නත් පවුලෙ කට්ටිය එක්ක හොඳ ටි්‍රප් ටිකක් ඕගනයිස් කරලයි තිබුණේ. ඔහුගේ මරණය ආරංචි වුණාම මට දරාගන්න බැරි වූණා. දවස් ගානක් යනකල්ම මම ෂොක් වෙලා හිටියා. අනේ ඔහු මොන තරම් හොඳ යාළුවෙක්ද? කවදාවත් ඔහුගේ සුහද හිනාව අමතක වෙන්නේ නැහැ. ඒ මිත්‍රකම අමතක කරන්නත් බැහැ.
දුලීකා රඟපෑවට පස්සේ ‘කැට් අයිස්’ තියෙන ලස්සන නිළියට ප්‍රේම ආරාධනා හෝගාලා ආවයි කියනවා?
ලියුම් මලු ගණන් ගෙදරට ආවේ හිතාගන්න බැරි වුණා. මහා ලොකු නිළියක් නොවෙච්ච මට කොහොමද මෙහෙම ආකර්ෂණයක් ලැබුණේ කියලා.
ඒ තරම් ආකර්ෂණයක් තියෙද්දිත් ඇයි හදිසියෙම රට දාලා යන්න ගියේ?
ටාගට් එක හෝ හීනය වුණේ නිළිකම නෙවෙයි. ඊට වඩා වගකීම් සහ ඉලක්ක ජීවිතයට තිබුණා. ඒ නිසාම රැකියාව වෙනුවෙන් කැනඩාවට ගියා.
ඒ තීරණය ගැන අද දුකක් දැනෙන්නේ නැද්ද?
එහෙම දුකක් නම් නැහැ. මට ලස්සන පවුලක් ඉන්නවා. මගේ මහත්තයා ටේරවර්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව මැරි කරලා එයාට දරුවෙකුත් ඉන්නවා. මම ආච්චි කෙනෙක්. මගේ ජීවිතය සතුටින් පිරුණු එකක්.
80ක් වයස ලස්සන ආච්චි. කොහොමද මෙහෙම තරුණ විදියට ඉන්නේ,
අනේ මන්දා. හැමෝම අහනවා. දෙන්න උත්තරයක් හිතාගන්න බැහැ. දෙවියන්ගේ ආශීර්වාදය තමයි.
තව මොනවද ඔබට කියන්න තියෙන්නේ?
දශක ගානක් ගියත් රසිකයන් මට දැක්වූ ආදරණීය ප්‍රතිචාරවලට ස්තුති කරන්න ඕනෙ. මමත් ඔවුන්ට ආදරෙයි කියන එකත් කියන්න. මට වාගෙම සතුට සැනසීම ඒ හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මල්මි කෞෂල්‍යා











