ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළක් ආසන්නයේ හඳුනා නොගත් පියාඹන වස්තුවක් (UFO) සැරිසැරූ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා අදහස් දක්වා තිබේ. පසුගිය සිකුරාදා අලුයම 3.00ට පමණ ඉරණවිල ‘ඇමෙරිකානු හඬ’ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අසලදී මෙම අත්භූත ආලෝකය නිරීක්ෂණය වූ බවත්, මෙවැනි දර්ශන ඇතුළත් වීඩියෝපට තමන් වෙත සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත නිරීක්ෂණය සඳහා නිතර ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම සිදුවීමට මුහුණ දුන් ඉස්සන් ගොවියකු පවසා ඇත්තේ අහසේ දිස්වූ නිවෙමින් දැල්වෙන ආලෝකයකට තමන් විදුලි පන්දමකින් සංඥා කළ බවත්, ඉන් මිනිත්තු 15කට පමණ පසු එම ආලෝකය වේගයෙන් තමන් දෙසට පැමිණි බවත්ය. එය යම් ආකාරයක යානයක් සේ දිස්වූ බවත්, තමන් බියට පත්ව පලායන විට එම වස්තුව තමන් පසුපස හඹා ආ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අලුයම 5.45 පමණ වන තෙක් අහසේ දීප්තිමත් වස්තූන් දෙකක් රැඳී තිබූ බවත්, තම සගයකු විසින් එම සිදුවීම වීඩියෝ ගතකළ බවත් ඔහු පවසයි.
මෙම දර්ශනවල විද්‍යාත්මක පසුබිම සහ ඒවායේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා මේ වනවිට විද්වතුන්ගේ අවධානය යොමුවී ඇත.










