විජිත හේරත්, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, මහින්ද ජයසිංහ, නාමල් කරුණාරත්න ඇතුළු ජවිපෙ නායකයෝ යුරෝපීය ඇඳුමට බැස්සෙ ඇයි..? Sri Lanka Latest News
ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එක හේතුවක් තමයි ඔවුන් සාම්ප්‍රදායික මැති ඇමැති ඇඳුමට වෛර කරන්නට ජනතාව පෙලඹෙව්වා. පාර්ලිමේන්තුවේ 225ම එකයි, ඇමැතිවරු හොරු, දූෂකයෝ, වංචනිකයෝ කියන මතය හැදුවාට පස්සෙ ජනතාවට ඔවුන්ට වෛර කරන්න චිත්ත රූප මැවෙන්න ගත්තෙ සාම්ප්‍රදායික මැති ඇමැති ඇඳුමෙන්. ඒක නිසා ජවිපෙ නායකයො ඒ වෛරයෙන් ගැලවෙන්න ඔවුන් යුරෝපීය ඇඳුමට මාරු වුණා.
දෙවැනි හේතුව ඔවුන් සෑම විටම මහපොළොවෙ නැති විශ්ව ජාතියක්, විශ්ව භාෂාවක් ගැන හිතළුවක ඉන්නවා. ඒක සමාජවාදී පක්ෂවල අරටුව බැසගත් සංකල්පයක්. ඒකයි ඇමැති ඇඳුම වෙනුවට ආර්ය සිංහල ඇඳුමට මාරු වෙන්නෙ නැතුව යුරෝපීය ඇඳුමට මාරු වුණේ. සිංහල ජාතිකත්වය, ආරිය සිංහල ඇඳුම ඔවුන් මදිකමක් ලෙස සලකනවා.
තුන්වැනි කාරණය තමයි හීනමානය. ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ Inferiority Complex (ඉන්ෆීරියෝරිටි කොම්ප්ලෙක්ස්) යනුවෙනි. ඔවුන් කුලවාදය, පන්ති බෙදීම වැනි දේවල් ලේවලට බද්ධ වෙච්ච අය. ඒ නිසා එයින් ඇතිවෙච්ච හීනමානය තුළ ඔවුන් ටයිකෝට් සංස්කෘතියට මාරු වුණා. ඒ පන්ති බෙදීම ඔවුන් ඇඳුමෙන් වහගෙන සමාජයෙ ඉහළ ස්ථරය සමග සමාන්තර වෙන්න ඇඳුමෙන් උත්සාහ කරනවා.
හතරවැනි කාරණය ඔවුන්ට ඕනෙ වුණා රනිල් වික්‍රමසිංහලගෙ පැලැන්තිය ටච් කරන්න. ඒකට ඔවුන් උපයෝගී කරගත්තෙ යුරෝපීය ඇඳුම. ඔවුන්ට ඕනෙ වුණා කුරුඳුවත්ත පැලැන්තිය අතික්‍රමණය කරන්න. ඔවුන් හිතුවා ඇඳුමෙන් ඒ දේ කරන්න පුළුවන් කියලා.
තව කාරණයක් තමයි පාර්ලිමේන්තුවෙ හිටපු ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ජනතාව පක්ෂ භේදයකින් තොරව උගත් යැයි පිළිගත්ත දේශපාලනඥයන් යුරෝපීය ඇඳුම ඇන්ද එක. ඔවුන් කල්පනා කරනවා උගත්කම පෙන්නන්න තියෙන හොඳම දේ යුරෝපීය ඇඳුම කියලා.
අනෙක් ප්‍රධානතම කාරණය තමයි මිනිස්සු තමන්ගෙ අඩුපාඩු ඇඳුමෙන් පැලඳුමෙන් වහන්න උත්සාහ කරනවා. ඇඳුමෙන් තමන්ට සමාජයේ නැති පිළිගැනීමක් ගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම තමන්ගෙ ඉංග්‍රීසි භාෂාමය දැනුම මදිකමත් ඔවුන් යුරෝපීය ඇඳුමෙන් වහගන්න උත්සාහ කරනවා.
තවත් සුවිශේෂ කාරණයක් තමයි ජවිපෙ නායකයන් එන්.පී.පී. වෙන්න උත්සාහ කරන්නෙ ඇඳුමෙන්. ජවිපෙ කේන්ද්‍ර වෙලා තිබ්බෙ ගම වටා. ඒත් එන්.පී.පී. කේන්ද්‍ර වුණේ නාගරික පැලැන්තිය වටා. මේ දෙගොල්ලන්ගෙ සිතුම් පැතුම්, සමාජ භාවිතය වෙනස්. ජේ.වී.පී. නායකයො හිතනවා එන්.පී.පී. එකත් එක්ක තියෙන මෙන්න මේ හිඩැස, පරතරය වහගන්න යුරෝපීය ඇඳුමෙන් පුළුවන් කියලා.
මේ ඇඳුම නිසා ඔවුන් බලාපොරොත්තු වෙච්ච මානසික පරිවර්තනය සෑහෙන දුරට ඔවුන්ට ලැබිලත් තියෙනවා. දැන් ඔවුන් සාම්ප්‍රදායික සහෝදරයා භූමිකාවෙන් මිදිලා ‘සර්’ භූමිකාවට ඇවිත් තියෙනවා. ඔවුන් ඒකෙන් මාර ස්වයංවින්දනයක් ලබනවා.
එහෙනම් අනුර, ලාල්කාන්ත, ටිල්වින්ලා ජාතික ඇඳුමට මාරු වුණේ නැත්තෙ ඇයි..?
ඔවුන් තාමත් ඔර්ජිනල් ජේ.වී.පී.කාරයාව නියෝජනය කරනවා. ඔක්කොම එන්.පී.පී. වුණොත් තමන්ගෙ ග්‍රාමීය බලවේගය ඡන්ද පදනම මිස් වෙනවා. ඒ නිසා ගමේ මිනිස්සු තමන්ව ඈත් කරයි කියලා බයයි. මොකද ඔවුන්ගෙ ස්ථාවර ඡන්ද පදනම තාමත් තියෙන්නෙ ගම කේන්ද්‍ර කරගෙන.
රනිල් වික්‍රමසිංහ ගමෙන් ප්‍රතික්ෂේප වෙන්නත් ඔහුගේ යුරෝපීය හුරුව බලපෑවා. මහින්ද රාජපක්ෂ ගමට ළං වෙන්නත් ඔහුගේ ජාතිකත්ව ඇඳුම බලපෑවා.
විජිතලා, වසන්තලා, මහින්ද ජයසිංහලා මෙන්න මේ සියලු කාරණා අඩු වැඩි වශයෙන් කල්පනා කරලා තමයි යුරෝපීය ඇඳුමට මාරු වුණේ.
මෙහෙම කියන එක හරිද මන්දා. ඒත් කදිරගාමර්, ඇතුලත්මුදලි, රනිල් එක්ක බලනකොට මෙයාලාට යුරෝපීය ඇඳුමෙ පොඩි නොගැළපීමක් තියෙනවා කියලා හිතෙනවා. හරියට බයිසිකල් බෝලයි කිරිහොදියි වගේ. ඒකට හේතුව නම් හිතාගන්න බෑ. කාලයක් යද්දි ඒක හරියයි. ඒ අපේ ඇහැට නුහුරු නිසා වෙන්නත් පුළුවන්.
මම දන්න ගුරුවරයෙක් හිටියා ආරිය සිංහල ඇඳුම ඇඳ ඇඳ ඉඳලා ඒකෙන් එකපාරටම කලිසම කමිසයට මාරු වුණා. ඒත් ඒ සර්ගෙ කලිසම පිටිපස්සෙන් අර අමුඩෙ තියෙන ගැට්ට පේනවා. මොකද පිට ඇඳුම මාරු කළාට ඒ සර් අමුඩෙ මාරු කරන්න කැමැති වුණේ නෑ.
නිලන්ත සත්සර ගමගේ️










