ඥාති-හිතමිත්‍ර ජගත් ලියනාආරච්චි තොරතුරු කොමිසමේ කොමසාරිස් ධුරයෙන් ඉවත් වෙන්න තීරණය කරලා. ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බවයි දන්නේ. කිහිප දෙනෙක්ම කනගාටුවකින් මේ ගැන ලියලා තිබුණා. පෞද්ගලිකව මටත් එහෙමයි. ඇයි එහෙම වෙන්නේ? ජගත් ලියනආරච්චි එතැන ඉන්නම ඕනෙ කෙනෙක්. ආර්.ටී.අයි. එකයි ජගත් අයියයි කියන්නේ ගහයි පොත්තයි වගේ.Sri Lanka Latest News
2015 දී තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සැකසෙන අවස්ථාවේ සිට ජගත් ඒ සමග සිටි කෙනෙක්. කරු පරණවිතාන ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිටියදීයි රටට ඉතාම වැදගත් මෙකී පනත ගෙන ඒමේ වැඩ ඇරඹුණේ.
ඉන් පසුව එවක ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ කරුණාරත්න පරණවිතාන මේ සඳහා දුන් නායකත්වය අගය කළ යුත්තක්. එවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරියත් පනත සම්මත වූ පසු එහි ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්වූ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ පියතිස්ස රණසිංහ මහතාත් ඒ වෙනුවෙන් කැපවූ අයුරු අප දුටුවා.
යහපාලන සමයේ රටට සිදුවූ වඩා වැදගත්ම දේවල් අතරින් එකක් වන්නේ තොරතුරු දැනගැනීමේ පනත බව අවිවාදිතයි. ආර්.ටී.අයි. මූල බීජ රෝපණයේ සිට ජගත්ට ඒ පිළිබඳ තිබූ උද්‍යෝගය සහ කැපවීම එහි සාර්ථකත්වයට පවා ඉවහල්වන්නට ඇති.
පනත සම්මත වී ක්‍රියාත්මක වීම ආරම්භයේ සිටම රටේ රජයේ ඉහළ නිලධාරීන්ගේ සිට අදාළ තොරතුරු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩිම කාර්යභාරය ඉටුකළේ ජගත් ලියනාආරච්චි බවයි මගේ හැඟීම. ආර්.ටී.අයි. පිළිබඳ මෙන්ම අදටත් පාර්ලිමේන්තු අණ පනත්, ගැසට් නිවේදන ආදිය ගබඩා කරගෙන සිටින සහ ඕනෑම අයකුට නිර්ලෝභීව ලබාදෙන්නා ජගත්ය.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම දේශපාලන කාරණාවක් නොවන බව දනිමි. එහෙත් මා පසුගියදා ලංකාවට ගිය අවස්ථාවේ ඔහු සමග කතාකළ දේ ඔස්සේම ඊට හේතු හිතාගත හැකිය. ඔහු, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ හෝ මාර්තු 12 ව්‍යාපාරයේ යෝජනාවෙන් 2021 දී කොමසාරිස් ධුරයට පත්වූ බව මා දන්නා කරුණක්. තොරතුරු දැනගැනීමේ කොමිසම යනු රටේ පාරදෘශ්‍යභාවය, සුපිළිපන්නභාවය තහවුරු කිරීම සඳහා ලැබුණු මහඟු දොරටුවක් බව අවිවාදිතයි. එහෙත් එහි වටිනාකම පිළිබඳ බොහෝ දෙනාට අවබෝධයක් නොවීම හෝ දේශපාලන ක්‍රියාදාමයට බාධාවක් යැයි සලකා හිතාමතා නොතකා හැරීම වැනි හේතූන් ජගත් වැන්නෙක් ඉන් ඉවත්ව යාමට හේතුවිය හැකිය යන්න මාගේ අදහසයි.
තොරතුරු කොමිසමේ කොමසාරිස්වරයකුට ලැබෙන දීමනාව එහි ඇතැම් සාමාන්‍ය නිලධාරීන්ට ලැබෙන වැටුපටත් වඩා අඩු එකක්. 2016 සිටම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවුවද ඔවුන්ගේ දීමනාවල වෙනසක් වූයේ නැහැ.
ජගත් කොමිසමට ඒමට පෙර බොහෝ රාජ්‍ය නොවන සංවිධාන සමග වැඩ කළ අයෙක්. එහෙත් ඔහුට කොමසාරිස්වරයෙක් ලෙස සිටියදී එවැන්නක් කළ නොහැකියි. (Conflict of interest) එනයින් මේතාක් කල් ඔහු ආර්ථික වශයෙන් කර ඇති කැපවීමද සුළුපටු නොවේ.
කොමිසම ආරම්භයේදී සතියකට 3-4ක් ලැබුණු අභියාචනා මේ වනවිට 30-40ක් වී තිබෙනවා. 36ක කාර්යය මණ්ඩලයක් සිටිය යුතු තැන අද ඉන්නේ 17 දෙනෙකු පමණයි. මා දන්නා දෙය නම්, තොරතුරු දැනගැනීමේ කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න නොවන්නට අද තරමින් හෝ එය පවතී යැයි හිතන්න බැහැ.
මේ කාලවකවානුවේදී ජගත් කොමසාරිස්වරයකු හැටියට පමණක් නොව කොමිසමේ නීති නිලධාරියාගේ කාර්යභාරයත් ඉටුකරමින් සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට අනෙකුත් අධිකරණ දක්වා පැවරී ඇති නඩු කටයුතු වෙනුවෙන් සොච්චම් දීමනාවකට වැඩකළ හැක්කේ ඔහුට මේ ගැන තිබූ ඕනෑකම නිසාම විය යුතුයි.
මෙහි ඇති අනෙක් ප්‍රධානම ගැටලුව වන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ මූලික අරමුණ වන වංචා හා දූෂණ වළක්වා ගැනීමේ අරමුණ වෙනුවෙන්ම ක්‍රියාත්මක වනවාද යන්නයි. මෑතකාලයේ ආර්.ටී.අයි. ඉල්ලුම්පත් බහුතරයක් ප්‍රතිවාදීන් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කරන අයුරු දක්නට ලැබුණා. කොමිසමේ ධාරිතාව ඉක්මවා යමින් ඔවුන් අපහසුතාවට පත්වුණා.
දේශපාලකයන්, ජනමාධ්‍ය, විවිධ සංවිධාන ආදිය ආර්.ටී.අයි. මගින් වැඩ ගත්තද කොමිසමේ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ද හඬක් නගනවා දකින්න නැහැ. එයද මෙවැනි ස්වාධීන ආයතනයක් කඩාවැටීමට හේතුවිය හැක්කක්.
අනෙක් ප්‍රධාන දෙයක් වන්නේ වර්තමාන ජනාධිපති කාර්යාලය පවා අවස්ථා කිහිපයකදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා. ආර්.ටී.අයි.වලින් අදටත් ප්‍රයෝජන ගන්න ජනමාධ්‍යකරුවකු වන හිතවත් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ජනාධිපති කාර්යාලය අභියාචනාවලදී කොමිසම පැහැරහරින ආකාරය ලියා තිබුණා.
රටේ ඉහළම තැන ආර්.ටී.අයි. එක දකින්නේ ඒ විදියට නම් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වුවත් ඔවුන්ගේ ආස්ථානය ගැන සැක හිතන්න පුළුවන්. වංචා හා දූෂණය තුරන් කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුවට තොරතුරු කොමිසම, රටේ ජනතාවට ලැබුණු වටිනා තිළිණයක් යැයි නොසිතන්නේ මන්ද යන්න නම් පුදුමයට කරුණක්.
හිතවත් සංජය නල්ලපෙරුම ලියා තිබුණේ තොරතුරු කොමිසමට මෙතෙක් කලක් භාණ්ඩාගාරයෙන් ඍජුව මුදල් වෙන්කෙරුණද දැන් එය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇති බවයි. ආර්.ටී.අයි. වැනි කොමිසමක් මැතිවරණ කොමිසම ඇතුළු අනෙක් ස්වාධීන කොමිෂන් සභා ලෙස ක්‍රියාත්මක විය යුත්තක්. එසේ තිබියදී එය අමාත්‍යාංශයක් යටතට ගැනීමෙන් පෙන්වන්නේ වත්මන් ආණ්ඩුවේ වගවීම ප්‍රශ්නකාරී බවයි.
උවිඳු කුරුකුලසූරිය ලියා තිබූ පරිදි ‘සුපිළිපන් බවෙන් අගතැන්පත්’ ජගත් වැනි අය මෙවැනි ආයතන ගැන කලකිරීමට හෝ එම තැනට ඔබින නොවන්නට පවා මෙවැනි කරුණු හේතුවිය හැකියි.
වත්මන් ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට ලැබුණ ආර්.ටී.අයි. නමැති මහඟු තොරතුරු කවුළුවේ යතුර සොරකම් කිරීම නොවේ. එය තවදුරටත් බලාත්මක කිරීමයි. ප්‍රතිපාදන වැඩි වශයෙන් ලබාදීමයි.
ආර්.ටී.අයි. වෙනුවෙන් මහත් කාර්යභාරයක් කළ ජගත් වැන්නන් ඉන් ඉවත්ව ගියද ඉන් ලැබෙන පණිවුඩය සුබදායක කරගත හැක්කේ ආණ්ඩුව එසේ කිරීමෙනි.
ටොන් ගණන් වංචා හා දූෂණ විරෝධී ෆයිල් හෝ කතන්දර ගොඩගසා ගන්නවාට වඩා ආර්.ටී.අයි. බලසම්පන්න කරගැනීම, රටේ අනාගතයට වඩා වැදගත් වනු ඇති.
මහින්ද රූබසිංහ










