පසුගිය ආණ්ඩු සමයේ රට තුළ සිදුවූ මහාපරිමාණ වංචා මෙන්ම මනුෂ්‍ය ඝාතනවල මහමොළකරුවන් හෙළිදරව් කරන බව පවසා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කළ පුද්ගලයාව හෝ හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ බීබීසී සිංහල වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළහ.
ආණ්ඩුව මහ මොළකරුවෝ අල්ලන්නනේ ආවේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ අප්‍රේල් 21ට ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා කියලනේ ආවේ. හැබැයි තාම බැරි වුණා හය වසරේ මහ මොළකාරයා අල්ලගන්න. මේ පොත ගහපු එකේ මහ මොළකාරයා අල්ලන්න.
අල්ලන්න වෙන්නේ හොරෙක් ඉන්නව නම්නේ. මම නම් අල්ලන්න එන්නේත්, හොරාත් මමම නම්, මොනවද ඕකේ අල්ලන්න තියෙන්නේ? අයි මයිසෙල්ෆ් කියලා තමයි කියන්න වෙන්නේ බික් කුච්චන් කිව්වා වගේ.
අපි අහනවා අමාත්‍යාංශයෙන්, ඇමැතිතුමියගෙන්. මේකට වගකියන්න ඕනේ මාලිමා අධ්‍යාපන කමිටුව. මහාචාර්යවරු ඉන්නවා. කෝ ඒගොල්ලෝ තව වෙනකල් කටක් ඇරියේ නැහැ ඉස්සරහට ඇවිල්ලා. දැන් මේවට විශාල වශයෙන් යූ.ආර්.එල්. ඇඩ්‍රස් දාලා තියෙනවා. විශාල වශයෙන් කියු.ආර්. කේත දාලා තියෙනවා. මම කීප වතාවක්ම කිව්වා, 41ක් හෝ 42ක් තියෙනවා පළමුවැනි වසරේ විතරක් පළමුවැනි වාරයට අදාළව කියු.ආර්. කේත. එතකොට මේවා ඉගෙන ගන්න කෝ මෙවලම් පාසල්වලට?
මහබැංකු වාර්තාව කියන්නේ 14.2%යි මේ තාක්ෂණික මේවලම්, උපාංග පහසුකම් පාසල්වල තියෙන්නේ කියලා. එතකොට කොහොමද සමානාත්මතාව ගැන කතාකරන්නේ? එතකොට මේ කුලුනුවලින් භෞතික සම්පත් කුලුන දැන් සම්පූර්ණ වෙලාද තියෙන්නේ? ඒකත් නැහැ.
ඊළඟට විෂයමාලා සංවර්ධනය. මේ පොත් ඔක්කොම ගහලා දැන් සීල් කරලා, බෙදලා ඔක්කොම කියන්නේ මේ අප්‍රේල් 10 වැනිදා වෙනකම් විතරයි. මේ පොත උගන්වන්නේ අප්‍රේල් 10 වැනිදා වෙනකම් විතරයි. ඉන් එහාට මොඩියුල්ස් නැහැ. ඒවාට මොන කුණුහරුප එනවද කියලා අපි දන්නෙත් නැහැ. ඒවා ප්‍රින්ට් කරලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. එතකොට ගුරුවරයා දැන් පුහුණු කරලා තියෙනවනේ මාස තුනේ. මේ පළමුවැනි වාරයට විතරයි. එතකොට මේසා විශාල ධනස්කන්ධයක් ආයේ දෙවැනි වාරයටත් වියදම් කරන්න ඕනේ. ආයේ තුන්වැනි වාරයටත් වියදම් කරන්න ඕනේ. මේකෙම තියෙනවනේ ප්‍රතිසංස්කරණවල තියෙන අසාර්ථකකම.
ඒ කියන්නේ අවුරුද්දකටවත් සූදානම් වෙන්නේ නැතුව අවුරුද්දට අදාළ මොඩියුල්ස් ටිකවත් හදාගන්නේ නැතුව, ප්‍රින්ට් කරන්නේ නැතුව මේ එක වාරයයි. පළවෙනි වාරයයි. ජනවාරි 20 පටන් ගන්න තියෙන්නේ. අප්‍රේල් 10 නිවාඩු දෙන්න තියෙන්නේ. මැද නිවාඩුවක් හම්බවෙනවා සාමාන්‍ය පෙළ විභාගයට. හරියටම දින 42යි මගේ මතකය හැටියට පාසල් පවත්වන්න තියෙන්නේ හය වසරට. ඔය 42 තුළ කරන්න ඕනෙ දේවල් ටික විතරක් දාලා, පර්චස් එකක් වපුරලා අක්කර 10ක් වැපුරුවා වගේ අස්වැන්න ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකක්ද මේ විහිළුව? මම විශ්වාස කරන මේ ගැටලුව හොඳ ප්‍රවේශයක් අපිට ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා. ඇයි? මේ රටම අවදි වෙලා. රටම මොඩියුල්ස් කියවනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මවුපියෝ පවා බලනවා තමන්ගේ දරුවාට කුණුහරුප උගන්වනවද කියලා එකක් හොයනවා. ඒක හොඳයිනේ. අගමැතිතුමිය කිව්වාට මේ පුංචි වැරැද්දක්, ඒවා ප්‍රවර්ධනය කරන්න එපා කියලා. නැහැ. මම විශ්වාස කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුත්තේ මෙබඳු සමාජ කතිකාවතක් එක්ක කියලා.










