‘ක්ලැරන්ස්’ සිනමා පටය හරහා අතීත රසික සිතට ආමන්ත්‍රණය කරමින් “මංගෝ නැන්දා“ නමින් ඉතා ජනප්‍රිය වුණු ඇය ටෙලි තිරයේ බේකරි ගෙදර, ඉස්කොලේ හරහා ඔබේ ආලින්දයට පැමිණි ඇය රංගන ශිල්පිනී ෆර්නි රෝෂනීයි. ඇගේ මේ සුන්දර ගමන ගැන තොරතුරු දැනගන්න ආදරයෙන් එකතුවෙන්නයි ‘මව්රට’ ‘හාට්’ අපේ මේ වෑයම.Sri Lanka Latest News
දැනගන්න කැමැතියි මේ දවස්වල වැඩ කැටයුතු කොහොමද කියලා?
පසුගිය දවස් ටිකේම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වුණු අයට සුරක්ෂිත මධ්‍යස්ථානවලට ගිහිල්ලා මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම් වගයක් කළා. වේදිකා නාට්‍ය ගොඩක් නතර වුණා. ජනවාරි මාසේ ඉඳන් දිගටම කරගෙන යනවා. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් රංගන ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන ‘ජැෆ්නා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඒ වගේම දෙරණ බේකරි ගෙදර, ඉස්කෝලේ ටෙලිනාට්‍යවල රූගත කිරීම් කරනවා. සුපුන් රත්නායකගේ “විලම්බීත“ කියන ටෙලිනාට්‍යයත් ශාන් ජයරත්නගේ “කාකි“ කියන නාට්‍යයෙත් රූගත කිරීම් කරනවා. තව අලුත් ටෙලිනාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම අරුණ ජයවර්ධන මහතාගේ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ සිනමාවෙත් ටෙලි තිරයෙත් චරිතාංග නිළියක්. චරිතයකින් චරිතයකට වෙනස් වෙන්නේ කොහොමද?
ඒ සඳහා ප්‍රධානම අඩිතාලම වැටුණේ වේදිකාවෙන්. චරිතයක් ගොඩනැගීමේදී අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා සමග කතා කරලා ඒ චරිතයේ ගමන් විලාසය, කතාව සහ ඇඳුම් පැලඳුම් ගැන අපි අධ්‍යයනය කළ යුතුයි. රංගනය කියන්නේ සියයට 75ක්ම තමන් සතු වියයුතු දෙයක්. ඉතිරි ටික අධ්‍යක්ෂවරයාට හදන්න පුළුවන්. අපිට හොඳ ප්‍රවීණ ඇසුරක් ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණු අත්දැකීම් සහ මගපෙන්වීම් නිසා තමයි චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ.
රංගනය, ගායනය සහ හඬකැවීම් කියන අංශ තුනටම ඔබට දක්ෂතා තියෙනවා. ඒ වාසනාවද?
ඕනෑම කෙනෙක්ට මේ වාසනාව තියෙනවා. වාසනාව හොයාගන්නේ නැති එකයි වැඩේ. අපේ දක්ෂතා දකින්න ඕනෙ ඇත්තටම. මං මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ රවින්ද්‍ර පෝදාගොඩ මහත්තයව. ඔහු තමයි මගේ දක්ෂතා දැක්කේ. ගුවන්විදුලියේ නාට්‍ය හඬකැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා දැකලා වේදිකාවට කතා කළා. ඕනෑම කෙනකුට කුසලතා වාසනා ගුණය දක්ෂතාව මේ හැමදේම තියෙනවා. ඒක හොයාගන්න ඕනෙ. නැත්නම් ඒක තව කෙනෙකු දකින්න ඕනේ. එහෙම නැත්නම් තමන්ම ඒ දේ හොයාගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිම දුෂ්කර ගමනක් හරි පරිස්සමින් යන්න ඕනෙ. හොඳ අය ඇසුරු කළොත් හොඳ මාවතකට වැටුණොත් මේක දීර්ඝ ගමනක් දිගටම යන්න පුළුවන්. වාසනා ගුණයත් මේ හැම දේකටම බලපානවා. එක එක්කෙනාගේ වාසනාවේ මහිමය අනුව තමයි රංගන ශිල්පිනියන් ඒ ඒ තැන්වල ඉන්නේ කියලා මං විශ්වාස කරනවා.
පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් රංගනයට බලපානවාද?
ඇත්ත ජීවිතයයි රංගනයයි කියන්නේ දෙකක්. කැමරාව ඉදිරිපිට රඟපෑවට ඇත්ත ජීවිතේ රඟපාන්න අවශ්‍ය නැහැ. පෞද්ගලික ජීවිතේ ලැබෙන හැලහැප්පීම් සහ අත්දැකීම් හරහා මිනිස්සුන්ව තේරුම් ගන්න පහසු වෙනවා. මගේ පෞද්ගලික ජීවිතය මගේ රංගන දිවියට කිසිම බාධාවක් වෙලා නැහැ. ඒ වෙනුවට එය ලොකු ශක්තියක් වෙලා තියෙනවා.
මුල් කාලයේ ගෙදරින් රංගනයට කැමැති වුණේ නැහැ නේද?
මං විවාහ වෙන්න කලින් මගේ මවුපියන් ගොඩක්ම කැමැති වුණේ මං ගායනය පැත්තට යොමු වෙනවට. මං ගායනය හැදෑරුවා ප්‍රේමදාස මුදුන්කොටුව මහතා යටතේ. එයාලා ආසා කළේ මං ගායිකාවක් විදිහට ඉස්සරහට යනවා දකින්න. මොකද ඒ කාලේ හැටියට එයාලා බය වුණා මම පවුලේ එකම ගැහැනු දරුවා හින්දා කලාව පැත්තට යොමු කරන්න. හැබැයි දැන් මවුපියෝ ගොඩක් සතුටු වෙනවා. අපි හැරවෙන ලක්ෂ්‍යය කොහෙද කියන්න බෑ. ගුවන්විදුලියට රැකියාවට ආවට පස්සේ තමයි මේ හැම දේම වෙනස් වෙන්නේ. විවාහ වුණාට පස්සේ ඔහුත් බොහොම ආදරේ කරනව කලාවට. ඔහුත් නිදහසක් දුන්නා මට කලාව කරගෙන යන්න.
මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර ගැනත් කතාකරමු?
ප්‍රතිචාර ගොඩක් හොඳයි. මේ දවස්වල ක්ලැරන්ස් ෆිල්ම් එකට ලැබෙන ප්‍රතිචාර අතිවිශාලයි. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනෙ අධ්‍යක්ෂ තේජ ඉද්දමල්ගොඩ මහතාට සහ සාරංගට මාව මේකට තෝරගත්තට. ඇත්තටම මම හිතන්නේ අපිට සම්මාන ලැබෙන්නේ රසිකයන්ගෙන්. එක එක පළාත්වලට යන්න ලැබෙනවා. ඒක තමයි රංගනයේ තියෙන වාසනා ගුණය. රංගන ශිල්පිනියක් වුණාම අද තව තැනක හෙට තව තැනක. ඒ වගේ තැන්වලදී අපට ලැබෙන ප්‍රතිචාර තමයි අපිට ලැබෙන සම්මාන. ඉතින් මම හිතන්නේ අපි ඒවායෙන් තවත් ප්‍රබෝධමත් වෙනවා. චරිත කරන්න පිපාසයක් ඇති වෙනවා. ආශාවක් ඇතිවෙනවා. ඉතින් මම හිතන්නේ නිර්මාණකරණයේදී විවිධ චරිතවලට විවිධ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ආදරණීයයි. බොහොම සතුටින් හැම ප්‍රතිචාරයක්ම බාරගන්නවා.
ඉන්දු ජයවර්ධන











