‘අත්තනගල්ල උසාවියේ ඊයේ මහ දවල් විශාල කලබැගෑනියක්. වවුල් කැලේ නඩුවේ 01 වැනි විත්තිකරු අධිකරණය ඇතුළේදීම වෙඩිතබා මරයි. මාමාටත් වෙඩිතබා මරයි. සෙසු විත්තිකරුවෝ පලා දුවති…’Sri Lanka Latest News
කුමක්ද මෙලෙස ඇසෙන තිගැස්සෙන පුවත? මෙම කතාව අපට අසන්නට ලැබුණේ කොතැනින්ද? මෙය අපට අද ඊයේ දිනෙක අසන්නට ලැබුණු පුවතක් නොවේ. එනම් මෙම සුවිශේෂ වතගොත අපගේ සවනට වැටුණේ මෙයට හරියටම වසර 34කට පෙර කාලයකදීය. එකල ප්‍රකට පුවත්පතක් වූ ‘දිවයින’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් ඉහත අතිශය ත්‍රාසජනක පුවත වාර්තා කර තිබිණි. මනඃකල්පිත චිත්‍රපට දර්ශනයකටත් වඩා බියකරු සහ ලොමුදැහැගැන්වෙන මෙම සත්‍ය සිදුවීම එසේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබිණි. 1991 නොවැ. 26 දා පළකෙරුණු එම පුවත තවදුරටත් මෙසේ කියයි.
‘වවුල්කැලේ ඝාතන නඩුවේ පළමුවැනි විත්තිකාර වීරගුල පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ මාමාට මෙලෙස අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සාහසිකයකු විසින් ඊයේ උදේ 11.00ට වෙඩිතබා එතැනම මරාදමා පලාගොස් ඇත. මෙසේ වෙඩිකා මියගොස් ඇත්තේ වීරගුල පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති ධම්මික චන්ද්‍රසේන සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මයිකල් විජේසේකර යන අයයය. සාහසිකයකු විසින් මොවුන්ට වෙඩිතබන අතරතුරදී නඩුවේ අනෙකුත් විත්තිකරුවන් වහා අධිකරණයෙන් පිටව පැනගොස් ඇත. වෙඩිපහරට ලක්වූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මළ සිරුර අධිකරණ ශාලාව තුළද, ඔහුගේ මාමාගේ මළ සිරුර අධිකරණ භූමියේද වැටී තිබිණි. වෙඩිපහර ගණනාවකින් ඔවුන් එම ස්ථානවලදීම මියගොස් ඇති ආකාරය දක්නට හැකි විය. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු සුපුරුදු පරිදි ඊයේත් පෙරවරු 10.00ට අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ලලිත් ජයසූරිය මහතා ඉදිරියේ ආරම්භ වුණු අවස්ථාවේදී මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත. මෙලෙස එහිදී වවුල්කැලේ ඝාතන නඩු විභාගය ආරම්භ කිරීමට ලකලැහැස්තිව තිබිණි. සාහසිකයාගේ ප්‍රධානතම ඉලක්කය වී තිබුණේ ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනාම ඝාතනය කිරීම බව පැහැදිලිවම පෙනීයයි…’
හරියටම වසර 34කට පෙරදී එනම් මෙරට භීෂණ යුගයේදී (88-89) සිදුවූ මෙම සත්‍ය සිද්ධිය මෙරට අපරාධ ඉතිහාසයට සුවිශේෂ වාර්තාවක් එක්කළ සිදුවීමක් විය. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ප්‍රධාන අධිකරණයක් තුළදී සිදුකෙරුණු ද්විත්ව පුද්ගල ඝාතනයක් ලෙසට එය වාර්තා විය. ඒ හෙයින් මෙම සිදුවීම මෙරට අපරාධ ඉතිහාසය මුළුමනින්ම කණපිට හැරවූ ත්‍රාසජනක බියකරු සිදුවීමක් විය. මෙහිදී තවත් අපූරු කතාවක් මතකයට නැගෙන්නේ පසුගියදා ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධකරුද අලුත්කඩේ අධිකරණය තුළදී සහාසිකයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමය.
මෙම අපරාධ වාර්තාව තවත් දිගු එකකි. එහෙත් ඒ සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩක් නැත. මෙම අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සිදුකළ ද්විත්ව පුද්ගල ඝාතනයට අදාළ ප්‍රධාන චූදිතයා වූයේ එකල 32 හැවිරිදි වියේ පසුවූ ඩෙස්මන් නමැති තරුණයෙකි. ඔහුගේ එක්කුස උපන් බාල සහෝදරයා සහ තවත් තරුණයන් කිහිප දෙනකු වීරගුල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ මාමාගේ මෙහෙයවීමෙන් අත්තනගල්ල වවුල්කැලේ ප්‍රදේශයට ගෙනගොස් කුරිරු වධ හිංසා කොට ඝාතනය කිරීමට අදාළව මෙම පළිගැනීම සිදුව ඇත. ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසය මතකයට නංවමින් ඔබට මේ කතාව ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ එක්තරා සුවිශේෂ සිදුවීමකි. එනම් පසුගියදා අපගේ සිංහල සිනමාවේ නිෂ්පාදනය වුණු නවතම සිනමා නිර්මාණයක් එයට හේතුපාදක විය.
වවුල්කැලේ සමූහ මිනිස් ඝාතනය සහ අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ද්විත්ව මිනිස් ඝාතනය පසුබිම් කරගත් මෙම නවතම සිංහල චිත්‍රපටය ‘ෆාදර්’ (Father) ලෙසින් නම්කර ඇත. සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති මෙම සිනමා නිර්මාණය මගින් හෙළිදරව් වන ප්‍රධාන චරිතය නම් ඩෙස්මන් නමැති තරුණයාය. ‘ෆාදර්’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පවත්වන ලද අතර, එය නවක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චමින්ද ජයසූරියගේ අධ්‍යක්ෂණයකි. නිෂ්පාදනය ශාන්ත ගීතදේව විසිනි. ඉතා තාත්වික ආකාරයෙන් මෙම සත්‍ය කතාව සිනමා නිර්මාණයට ගොඩනගා ඇති ආකාරය දක්නට හැකිවිය. එසේම මෙම චිත්‍රපටයෙන් කියැවෙන ‘ඩෙස්මන්’ නමැති චරිතය රඟදක්වන සිංහල සිනමාවේ තරුණ රංගන ශිල්පියකු වන පූජන දන්දෙණිය විසින් එම චරිතය ඉතා දක්ෂ ආකාරයෙන් නිරූපණය කරන ආකාරය දක්නට හැකිවිය. මෙම ‘ෆාදර්’ (Father) චිත්‍රපටය සිනමා ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම චිත්‍රපටයෙහි ප්‍රකට හා දක්ෂ සිනමා රංගන ශිල්පීන් වන සෞම්‍ය ලියනගේ, දිල්හානි අශෝකමාලා, චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, සනත් විමලසිරි සහ පූජන දන්දෙණිය ප්‍රධාන චරිත රඟදක්වති.
‘ෆාදර්’ (Father) සිනමා නිර්මාණය 2026 ජනවාරි 09 වැනිදා සිට රිදී තිරයේ දිගහැරීමට නියමිතව ඇත. මෙම නවතම සිනමා නිර්මාණය හරහා මෙරට ශ්‍රී ලාංකික අපරාධ ඉතිහාසය කණපිට පෙරළනු ඇතිය. මෙම සත්‍ය සිදුවීමේ අනෙක් අපූරු කතාව නම් අත්තනගල්ල අධිකරණය තුළ සිදුකළ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන චූදිතයා වන ඩෙස්මන් නමැත්තා පසුව අත්අඩංගුවට ගෙන නඩු පැවරූ නමුත් පසුව නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබීමය. ඔහු තවද ජීවතුන් අතර සිටින අතර, දැනට 67 වැනි වියේ පසුවන පුද්ගලයෙකි. ‘ගම්පහ ඩෙස්මන්’ යනුවෙන් ප්‍රකටව සිටින්නේ මොහුය. ඔහු ව්‍යාපාරිකයෙකි.

ප්‍රියන්ත හෙට්ටිගේ










