සංගීතය නමැති විශ්වීය භාෂාව තුළ අලුත් රටා මවන්නට නව පරම්පරාවට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මේ නව පරපුරේ, රටම ආදරය කරන විශ්වීය හඬක හිමිකරුවකු වන දිනේෂ් ගමගේ සැබැවින්ම වත්මන් සංගීත ක්ෂේත්‍රයේ දීප්තිමත් තරුවකි. ඉතින්, මේ අපූරු හඬ සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News
ඉතින්, කොහොමද දිනේෂ්, ජීවිතේ?
මේ දවස්වල ඉතාමත් සතුටින් ඉන්නවා.
රටම ආදරය කරන නව පරපුරේ දක්ෂයෙක්නේ ඔබ. කොහොමද මේ සංගීත ගමන පටන් ගත්තේ?
ඇත්තටම මම මගේ සංගීත ගමන පටන් ගත්තේ නුවරඑළියෙන්. මගේ ගම නුවරඑළිය. සංගීතයට මුලින්ම ආස වුණේ ගීත ගයන්න නෙවෙයි. ඇත්තටම මම හොඳ ගීත අහන කෙනෙක්. ඉතින් ඒකත් එක්කම තිබුණු ආසාවත් සමඟ තමයි ගීත නිර්මාණය කරන්න සහ ගයන්න පටන් ගත්තේ. වෘත්තීමය වශයෙන් මේක පටන් ගත්තේ මුලින්ම මම ඉගෙන ගන්න ආවා, ලහිරු පෙරේරා, දිනේෂ් කුරේ, මනුරංග අයියා එකතුවෙලා හදපු ඉන්ස්ටිටියුට් එකක මියුසික්. ඒකේ මුලින්ම මම ඕඩියෝ ඉංජිනියරින් විෂයයක් විදියට ඉගෙන ගන්න ආවා. ඒක තමයි මේ ක්ෂේත්‍රයට, ඒ කියන්නේ කොළඹට ඇවිත් හරියටම සංගීතය පටන් ගන්න මුල් තැන.
පවුලේ විස්තර ටිකකුත් කියමු?
මගේ පවුලේ විස්තර තමයි ඉතින් මමයි, අයියයි, අම්මයි, තාත්තයි. අපේ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධ නෑ. ඉතින් එහෙම අපේ පොඩි පවුලක් තියෙන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා එකවුන්ටන්ට් කෙනෙක්. අම්මා ගෙදර ඉන්නේ. ඉතින් හරිම සතුටින් ඉන්න පවුලක්.
මේ දවස්වල හැමෝම කතාබහ කරන ‘දැන දැන මා’ අලුත් නිර්මාණය ගැනත් කියමු?
‘දැන දැන මා’ කියන ගීතය, කාංචනා එක්ක කළ ‘දැනෙනා තුරු මා’ ගීතයට පස්සේ අවුරුදු පහකට පස්සේ එන ගීතය. මේකේ තනුව මගේ, ලිව්වේ මනුරංග අයියා. සංගීතය අමිත් අයියා. සංගීත වීඩියෝව කළේ, චමිල් පතිරණ. ඒක අපි ඉතින් එකතු වෙලා හොඳ නිර්මාණයක් කළා. කාලයක් තිස්සේ හැමෝම මහන්සි වෙලා. ගිය සතියේ රිලීස් වුණා. හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතනවා හැමෝම ආදරය කරන නිර්මාණයක් කියලා.

දිනේෂ්, ඔබේ කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය මොකක්ද?
මට කලා ජීවිතයේ ලැබුණු වටිනාම ජයග්‍රහණය තමයි, මගේ නිර්මාණවලට සහ මට ආදරය කරන ජෙනුයින් ප්‍රේක්ෂක පිරිසක් හමුවීම.
මේ දවස්වල තවත් වැදගත් දෙයක් තමයි ‘මෝඩ තරිඳු’ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කළේ දිනේෂ් ඔබ. කොහොමද රසික ප්‍රතිචාර?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද මගේ පළමු සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයක් වෙනුවෙන්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා තිසර ඉඹුලාන අයියටයි, තිසර මංගල බණ්ඩාර අයියටයි මාව මේකට සම්බන්ධ කරගත්තට. අපි හිතුවටත් වඩා මේක සාර්ථක වුණා. තිසර අයියා කියන්නේ මගේ ‘දැනෙනා තුරු මා’ ඉඳලා මගේ වැඩිම ගීත ගණනක් රූප රචනා කරපු අධ්‍යක්ෂවරයා. ඔහු එක්ක කාලයක් වැඩකරලා, අපේ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණා. ඉතින් මේ වැඩේ කරන්න හරිම ලේසි වුණා. ඉතින් ලොකු ටීම් එකක් වැඩකරලා ආපු අවුට්පුට් එක ගැන හරිම සතුටුයි. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැඩක් නෙවෙයි. ලොකු ටීම් එකක් එකතු වෙලා කරපු හොඳ වැඩක්.
ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරලම කතාබහ අවසන් කරමු?
ලබන අවුරුද්දේ මගේ දෙමිළ ගීත පැත්තට තියෙන වැඩ ටික මම ෆෝකස් කරලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පොඩ්ඩක් කල්ගියා මගේ ඉතිරි වැඩත් එක්ක. ඇත්තටම ප්ලෑන් කරපු ගීත ගොඩක් තියෙනවා. ලබන අවුරුද්දේ විදේශ සංචාර සහ සංගීත වැඩකටයුතු ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඉදිරිය සැලසුම් වෙලා තියෙන්නේ. ඒ වගේම හැමෝටම ස්තුතිවන්ත වෙනවා මගේ නිර්මාණත් එක්ක හිටියට. ඒ හින්දම තමයි මෙතරම් ගමනක් මම ඇවිත් තියන්නේ. හැමෝටම ආදරෙයි මේ තරම් දුර මාත් එක්ක හිටියට ස්තුතියි.
හිරුෂිකා ධනංජලී











