අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දරුණු ආපදා තත්ත්වය, ‘හදිසි ආපදා තත්ත්වයක්’ (Emergency Situation) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයෙන් ඉල්ලා සිටියි.Sri Lanka Latest News
විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසා සිටියේ රට මුහුණ දී ඇති මෙම හදිසි තත්ත්වය දෙස තමන් දැඩි අවධානයකින් යුතුව බලා සිටින බවයි.
මෙම ව්‍යසනය පාලනය කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහය අගය කරන නමුත්, පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා දැන් ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය මොහොතක් එළැඹ ඇති බව ඇය පෙන්වා දුන්නාය.
“රජය මෙය හදිසි තත්ත්වයක් ලෙස නම් කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ වගේම මේ මොහොතේ ජාත්‍යන්තර ආයතනවල සහාය ඉල්ලා සිටිය යුතුයි. අපට මෙය තනිවම පාලනය කළ හැකි යැයි මා සිතන්නේ නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිනිය අවධාරණය කළාය.
දහස් ගණනක් ජනතාවට තම නිවාස අහිමි වී ඇති බවත්, ඔවුන්ට ආහාර නොමැති බවත් ඇය සිහිපත් කළාය. එසේම මාර්ග අවහිර වීම නිසා ජන ජීවිතය, රජයේ කටයුතු සහ ව්‍යාපාර අඩාල වී ඇති හෙයින් ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම අනිවාර්ය කරුණක් වී ඇති බව ඇයගේ අදහසයි.
මෙම ව්‍යසනයෙන් ජීවිත අහිමි වූවන් සහ දේපළ අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් තම ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් සඳහන් කළාය.










