මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවරීමකදී එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් (MOH) විමසා සිදුකිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතර ඒ සම්බන්ධයෙන් යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අග්‍රාමත්‍යවරයා ඉදිරියේ සිය එකඟතාවය පළකළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි ඔවුන් මෙම එකඟතාවයට පැමිණියේය.
ඒ අනුව රාජකාරී කටයුතු සිදු කිරීමේදි නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ එකඟතාවය හිමි විය.
මෙහිදී මහජන පරීක්ෂක සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද එම සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා,
“නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනත ආශ්‍රිතව ඇතිව තිබූ ගැටලු සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යතුමා සමඟ පැවති සාකච්ඡාවේදි මෙම ආඥා පනත ක්‍රියාත්මක කිරීමේදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල ප්‍රකාරව යම් කිසි නඩු කටයුත්තකට යාමට අවශ්‍ය වෙනවා නම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ එකඟතාවය ලබාගන්නා ලෙසත් ඉන් ඔබ්බට ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාවය හිමිවුණා. මෙම 1897 පළ කරනු ලැබූ අඥා පනත තුළ ශක්‍යතාවයන් තිබෙනවා වගේම ඇතැම් තැන් වල සුළු ගැටලු තිබෙනවා. ඒවා කාලීනව වෙනස් විය යුතුයි. මෙහිදී ඉදිරියේදි පත්වන පාර්ලිමේන්තුව හරහා මෙම ආඥා පනතේ සංශෝධන ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු වුණා.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා
“සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් කියන්නේ එක පවුලක් වගේ වැඩ කළ යුතු තැනක්. එහි විශේෂ සාමාජිකයෙක් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියන්නේ. එහිදී ඔවුන්ට නායකත්වය දෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්. ඒ අනුව අද දිනයේ එකඟතාවයකට පැමිණියා ආඥා පනත කිසිවක් උල්ලංඝනය නොවන පරිදි පවතින නීති රාමුව යටතේ නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සියල්ල සැලකිල්ලට ගෙන නීති කිසිවක් සංශෝධනය නොකර කොවිඩ් පාලන කටයුතු සහ මැතිවරණ සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කටයුතු කිරීමට. කණ්ඩායමක් හැටියට ඉදිරියේදි පැරණි පනත් යාවත්කාලීන කරලා වර්තමානයට ගැලපෙන ලෙස මහජන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය ලෙස සකස් කරගැනීමටත් මෙහිදී එකඟතාවයකට පැමිණියා. කණ්ඩායමක් හැටියට ඒකාබද්ධව ඉදිරියට කටයුතු කරන්න සියලු දෙනා අද දිනයේ එකඟ වුණා.”
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.
“1897 අංක 03 දරණ නීරෝ‍්ධායන රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ බලය සම්බන්ධව ඇති වූ ගැටලුවක් නිසා පසුගිය 16 වෙනිදා සිට දිවයින පුරා මහජන පරීක්ෂකවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුණා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අතරතුර සෞඛ්‍ය අමාත්‍යවරිය , සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, රජයේ සෞඛ්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ සාකච්ඡා කළා. නමුත් එහිදී නිරාකරණය කරගැනීමට නොහැකි වූ ගැටලු තිබුණා. එම නිසා අගමැතිවරයා සමඟ මේ පිළිබඳව අද දිනයේ සාකච්ඡා කළා.
නීතිපති දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරිම මත මහජන පරීක්ෂකවරුන්ට 1897 අංක 3 දරණ නීරෝ‍්ධායන රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතේ 38 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂකවරයෙකු ලෙස බලතල පවතින බවත් ඒ අනුව ඔහුට ඕනෑම සාධාරණ වේලාවකදී පරීශ්‍රයකට ඇතුළු වීම සෞඛ්‍ය උල්ලංඝනය කිරීමක් වී ඇත්නම් පරීක්ෂා කිරීම , නඩු පැවරීමට බලය ඇති බව මෙම සාකච්ඡාවේදි ප්‍රකාශ කළා. පරීක්ෂකයෙකු සතු බලතල ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙන නිසා මේ ආඥා පනතට අනුව අපි බෝවන රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. දෙපාර්තමේන්තු පරිපාලනමය ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා සංගමයක් හැටියට අපි එකඟ වුණා නඩු පැවරීමක් සිදු කරනවානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් විමසා කටයුතු කරන්නත් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අතර යම් නඩු පැවරීමක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත නඩු පවරන්නත්. පරිපාලමය එකඟතාවයක් ඇති කරගත්තා අඥා පනත උල්ලංඝනය කිරීමකින් තොරව රාජකාරී කටයුතු සිදුකරගෙන යාමට . අද දින පස්වරුවේදී අපිට සහය දක්වන සංගම් 20ක් සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විධායක සභාවේ රැස්වීමෙන් අනතුරුව අපි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද කියලා තීරණයක් ගන්නවා. අපි හිතනවා සුබදායී පිළිතුරක් ලබාගත හැකි වෙයි කියලා.”
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ නීති නිලධාරි ආර්. අහමඩ් මහත්මිය, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සහ රජයේ නීතිඥ ඉන්දුනී පුංචිහේවා මෙනවිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වර්ණසූරිය මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.











