වසර 9ක් පුරා එකදු දිනයක් හෝ කඩ නොකොට අඛණ්ඩව අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව සහ එහි ඇති මල් ආසන සෝදා පිරිසිදු කිරීමේ දුෂ්කර මෙහෙවරේ නියැළී සිටින පින්වන්ත පුද්ගලයකු හඳුන්වා දීමට පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ සිය ෆේස්බුක් පිටුව හරහා පසුගියදා කටයුතු කර තිබුණා. අලුයම 2ට මහ සෑ මළුවට පැමිණ සිය පිරිසිදු කිරීම් අරඹන පාලිත නමැති මෙම තැනැත්තා සමග ගෝතම ස්වාමින්වහන්සේ සිදුකළ කෙටි පිළිසඳරකි මේ.
පූජ්‍ය වල්පොල ගෝතම හිමි
දැන් වෙලාව පාන්දර දෙකයි. මම ඉන්නේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ළඟ. ඔබ හිතන්න, අවුරුදු නමයක් එක දිගට කිසිම දවසක් කඩවෙන්නේ නැතුව පාන්දර දෙකට වතක් කරනවා, මුළු සෑ රජාණන් වහන්සේ වටේ සියලු මල් ආසන සෝදලා, අතුගාලා, පිරිසිදු කරලා, පහන් වැටවල් සුද්ද කරන සියලු කටයුතු බලාගන්නවා නම් කෙනෙක්, අවුරුදු නමයක් එක දිගට එකම එක දවසක්වත් කඩ නොවී, ඒ මුළු ලෝකෙටම ඉන්න පින්වන්තම කෙනා තමයි මේ ඉන්නේ. එතුමාගේ නම පාලිත. මම මගේ ජීවිතේ ගොඩක් ආදරය කරන කෙනෙක් එතුමා. මේ මනුස්ස ලෝකයේ මේ යුගයේ දැක්ක සුන්දරම කෙනෙක් ඔහු. අවුරුදු නමයක් අඛණ්ඩවම එක දවසක්වත් කඩ නොවී මේ වත කළත්, මේ වත පටන් අරන් අවුරුදු නවයක් නෙමෙයි නේද?
පාලිත මහතා
අවුරුදු විස්සක් පිරෙනවා පෙබරවාරි නව වැනිදාට.
පූජ්‍ය වල්පොල ගෝතම හිමි
මේ මහා සෑ රජාණන් වහන්සේගේ සලපතළ මළුවේ පුංචි හරි අඩුපාඩුවක් දැක්කොත් ඒක පුරවන, වටේම පහන් ගෙවල් ටික සකස් කරන, එකී මෙකී නොකී බොහෝ දේ එතුමා සිදුකරනවා. ඒ වගේම ඔබතුමාගේ මේ අත්දෙකෙන් හදපු සෑ රජාණන් වහන්සේලා කී නමක් තියෙනවද මේ වෙනකොට?
පාලිත මහතා
දහඅට නමක් විතර.
පූජ්‍ය වල්පොල ගෝතම හිමි
දහඅට නමක් විතර චෛත්‍ය රාජයාණන් වහන්සේලා හදපු අත් දෙකක් සහිතව, භාග්‍යවතුන් වහන්සේගේ මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ සලපතළ මළුව හදනවා විතරක් නෙමෙයි, අභයගිරියේ, ජේතවනයේ, ථූපාරාමයේ, ඒ වගේ බොහෝ සෑ රජාණන් වහන්සේලාගෙත් පුංචි පුංචි පිළිසකර කිරීම් හැමදෙයක්ම හොයලා බලන මේ මහා පින්වන්ත තාත්තා, මේ අවුරුදු විස්සෙම කරපු හැම පිනක්ම ඔබ අනුමෝදන් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මේ ආදරණීය පාලිත තාත්තාගේ සිහිකල්පනාව ඉතාම හොඳින් අන්තිම හුස්ම පොද වෙනකම්ම රැකිලා, මේ මහා සෑ රජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු චිරාත් කාලයක් කරන්න ඔහුට හැකිවේවා කියලා අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බොහොම සෙනෙහසින්….










