අගෝස්තු පළමුවැනි දින ට්‍රම්ප් ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශයට කලින් පනවන ලද තීරුබද්ද අඩු කළේය. ට්‍රම්ප් එලෙස දකුණු ආසියාවේ මේ රටවලට තීරුබද්ද අඩු කළේ එම රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් එකඟතා ඇතිකර ගැනීමෙන් පසුවය.Sri Lanka Latest News
එම එකඟතාවලට අනුව පාකිස්තානය ඇමෙරිකාවෙන් බොරතෙල් මිලදී ගැනීමට එකඟ විය. ඒ සඳහා පාකිස්තානය සහ ඇමෙරිකාව වෙළෙඳ ගිවිසුමකට අස්සන් තැබීය. ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන පළමු බොර තෙල් තොගය ඔක්තෝබර් අගදී පාකිස්තානයේ කරච්චියට ළඟා වීමට නියමිතව තිබුණේය. පසුගියදා නියමිත දිනට ඇමෙරිකානු බොරතෙල් තොගය කරච්චියට පැමිණියේය.
බංග්ලාදේශය ඇමෙරිකාවෙන් තිරිඟු පිටි ආනයනය කරන්න එකඟතාවක් ඇතිකරගෙන තිබිණි. දීර්ඝ සාකච්ඡා වට කීපයකින් පසුව ඔක්තෝබර් 07 බංග්ලාදේශ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය මිලදී ගැනීම් කමිටුව තිරිඟු මෙටි්‍රක් ටොන් 2,20,000ක් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට අනුමැතිය දුන්නේය. මෙය ඇමෙරිකාව සහ බංග්ලාදේශය අස්සන් කළ අවබෝධතා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙයට අමතරව බංග්ලාදේශය කෘෂිකාර්මික නිෂ්පාදන වන සෝයාබීන්, සේද ඇමෙරිකාවෙන් මිලදී ගැනීමටත්, ඇමෙරිකානු ගුවන් යානා 25ක් මිලදී ගැනීමටත් එකඟ වී ඇත.
ට්‍රම්ප් තම රටවලට පනවපු තීරුබද්ද අඩුකිරීමෙන් පසු පාකිස්තානය සහ බංග්ලාදේශය වහා ක්‍රියාත්මක වී තීරුබද්ද අඩුකර ගැනීම සඳහා ඇමෙරිකාව සමග ඇතිකරගත් එකඟතා මේ වනවිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.
ට්‍රම්ප් ලංකාවට පනවන ලද තීරුබද්ද 20% දක්වා අඩු කළත් තවමත් ලංකාව ඇමෙරිකාවට එකඟ වූ වෙළෙඳ එකඟතා කිසිවක් ක්‍රියාත්මක කොට නැත. පසුගිය සැප්තැම්බරයේදී මෙම වෙළෙඳ එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිත පිරිසක් ලංකාවට ආවේය. මෙම සාකච්ඡා තවත් වටයක් පවත්වන්න එකඟ වුවත් ඒ සඳහා දිනයක් නියම නොවීය. එයට හේතුව සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති නොවීමය. මෙම වෙළෙඳ නියෝජිත පිරිස ලංකාවේ සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති ඇමෙරිකාවේ තෙල් පිළිබඳ පරීක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බවත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවන බව කීවත් තවමත් පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වී නැති බව වාර්තා වේ. ලංකාවට ඇමෙරිකානු තෙල් සාම්පල පරීක්ෂණ සඳහා ලැබුණේ අගෝස්තු මාසයේය.
තීරුබදු අඩු කිරීම සඳහා ලංකාව එකඟ වූ වෙළෙඳ එකඟතා වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව ලංකාවට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතත් ලංකාව ඒ නිවේදනයට තවමත් ප්‍රතිචාර දක්වා නැත.










