පළාත් සභා මැතිවරණය නුදුරේදීම පැවැත්වෙන බවට පක්ෂ විපක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කළද එම මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිරීති තම කොමිෂන් සභාවට නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පහත පළවන්නේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඒ මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අදහස්ය.
‘පළමුවැනි දේ තමයි මැතිවරණයක් තියන්න නීතියක් අවශ්‍යයි. කොමිෂන් සභාව කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන, විධායක කාර්යයක් කරන ආයතනයක්. අපි භාරදුන්නාට පස්සේ විෂයභාර අමාත්‍යවරයා, කතානායකවරයා, ඊට පස්සේ ඒක සභාගත වෙලා සභානායක සහ ඒ පාර්ශ්වයන් පාර්ලිමේන්තුවේදී, ඊට පස්සේ නැවත කමිටුවක් පත්කළා හිටපු අග්‍රාමාත්‍යවරයා. ඒ සියලු දෙනාගේ එකතුවෙන් තමයි මේක නැති වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට, කොමිෂන් සභාවට චෝදනාවක් එල්ල කරන්න එපා, අද කොමිෂන් සභාව මේ ඡන්දය තියන්නේ නැහැ කියලා. තමන් තමන්ටම ඇඟිල්ල දික්කරගන්න තමයි ඕනේ. මොකද හේතුව, අද ඡන්දය පිළිබඳ උනන්දුවෙන් කතාකරන පාර්ශ්වයන්ට ඒ කාලේ ඔය උනන්දුව තිබුණා නම්, පළාත් සභා ඡන්ද පවත්වලා එක වාරයක් අවසන් කරලා දෙවැනි සභාවාරයටත් ගිහිල්ලා තියෙනවා සමහර පළාත් සභාවල. එතකොට ඒක නැතිවෙච්ච එක සම්බන්ධයෙන් කොමිෂන් සභාවට කිසිදු වගකීමක් ගන්න බැහැ. හොරු අරන් ගියාද, හොරුන්ට කරේ තියාගෙන යන්න ඉඩ දුන්නද, කියන කාරණා සම්බන්ධයෙන් එවක හිටපු පාර්ශ්වයන් වගකීම භාරගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කිසිම වෙලාවක වර්තමානයේ මේ කොමිෂන් සභාවට ඒ වගකීම භාරගැනීමේ හැකියාවක් නැහැ.
අපි දිගින් දිගටම ඉල්ලන්නේ කොමිෂන් සභාව විදිහට, අපිට ඡන්දයක් තියන්න අවශ්‍ය කරන නීතිය සකස් කරලා දෙන්න කියලා. එතකොට මේක අද නෙවෙයි අපි එදා ඉඳන් කිව්වේ. අනිත් අය වාරෙන් වාරෙට තමන්ගේ කාලය එනකොට ඕනේ කියනවා, අනිත් කාලෙට එපා කියනවා. නමුත් අපි එහෙම තත්ත්වෙක නැහැ. කොමිෂන් සභාව ඡන්ද වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි දිගින් දිගටම මේ කාරණාව ගැන කියනවා. ඉතින් ඒ හින්දා අපිට තියෙන තත්ත්වය තමයි, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට හෝ සමානුපාතික නියෝජන ක්‍රමයට හෝ වෙනත් මොනයම් ක්‍රමයකට හෝ ඡන්දය තියන්න නීතියක් නැහැ. මේ නීතිය නැහැ කියලා කියන්නේ රටේ නීතිය නැති කතන්දරයක් නෙමෙයි. ඒක මාධ්‍ය පාවිච්චි කරනවා තමන්ගේ මාධ්‍ය සතු මතවාද ජනතාවගේ ඔළුවට රිංගවන්න, මේ කියන කතන්දර වෙනස් කර කර. ඉතින් ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. අපි කියන්නේ මේ රටේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නීතියක් නැහැ. ඉතින් අපි පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්තුවා, පළාත් පාලන මැතිවරණ පැවැත්තුවා, ජනාධිපති මැතිවරණය පැවැත්තුවා. අපි නීති තියෙන ඒවා පැවැත්තුවා. ඒවා නොකර හිටියේ නැහැනේ කොමිෂන් සභාව.’










