‘පිහිනුම් තටාකයකට වැටී සිසුවෙක් මරුට’ මේ සිරස්තලය යටතේ පළවෙන තෙවැනි ප්‍රවෘත්තියක් ආසන්න මාසයකට අඩු කාලයක් තුළ පහුගිය සතියේ වාර්තා වුණා. ඒ, නුගේගොඩට ආසන්න ප්‍රදේශයක පෙරපාසල් ශිෂ්‍යයකුගේ මරණයත් සමග. මේ මරණය ඉතාම ඛේදජනක සහ ඉතාම කලබලකාරී සිදුවීමක් බවට පත්වුණා. මුළු රටම කතාවෙන සිදුවීමක් බවට පත්වුණා. මියගිය දරුවා පුද්ගලික පෙරපාසලක අධ්‍යාපනය ලබන අතරේ, පාසලේ ගුරුවරුන් හා දරුවන් සමග හෝටලයක පිහිනුම් කටයුතු පුහුණු වීමට පැමිණි බව තමයි ආසන්න වශයෙන් අපිට දැනගන්න තියෙන්නේ. මේ ශිෂ්‍යයා පිහිනුම් තටාකයට වැටීමත් සමග කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කරනවා. නමුත් කළුබෝවිල රෝහලේදී මේ ශිෂ්‍යයා මියයනවා. 2025 දහවෙනි මාසේ නවවැනි දින තමයි කළුබෝවිල රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන්නේ.Sri Lanka Latest News
මේ ලිපිය ලියන මොහොත වෙනකොට සිදුවීමට අදාළව පෙරපාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙක්, පෙරපාසලේ සේවිකාවක්, පිහිනුම් උපදේශකයන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන අවසානයි. මෙසේ මියගිහිල්ලා තියෙන්නේ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු පහක් වයසැති දරුවෙක්. ඒ වගේම මීට දින කීපයකට පෙර දික්වැල්ල ප්‍රදේශයේ සිසුවෙක් මේ විදිහටම තටාකයකට වැටී මියගියා. ඔහු දොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි සඳහන් වෙන්නේ. ඔහු මියගොස් තිබුණෙත් පාසලේ පිහිනුම් තටාකයට වැටිලා. නමුත් එතැනදී ඔහු මියයන්නේ පිහිනුම් පුහුණුවක් අතරතුර නෙමෙයි. ඔහු මියයන්නේ ඔහු පාසලේ ක්‍රීඩා කරමින් ඉන්නවා, ක්‍රීඩා කරමින් ඉද්දී, තමන් ක්‍රීඩා කරමින් හිටපු බෝලය පිහිනුම් තටාකයට වැටීමත් සමග, තටාකයට බැහැලා බෝලය ගන්න ගිය සිසුවා එහි වැටී මියගිය බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔහු පාසල් කාලය ඇතුළත නෙමෙයි මේ විදිහට මියයන්නේ, පාසල් කාලයට පසුව බව තමයි අපිට දැනගන්න ලැබුණේ. එතකොට ඒ සිදුවීම මේ සිදුවීමට වඩා යම් ප්‍රමාණයකට වෙනස් සිදුවීමක්.
ඒ වගේම, කොළඹ පිහිනුම් සමාජ පිහිනුම් තටාකයට වැටී පිරිමි දරුවෙක් මියගිය ප්‍රවෘත්තියක් වාර්තා වුණා, 2025 ඔක්තෝබර් මාසේ මුල් සතියේ. මේ සිදුවීමෙන් මියයන්නේ අවුරුදු අටක ශිෂ්‍යයෙක්. ඔහු මියයන්නේ, ඔහු යම්කිසි සාදයක් සඳහා සහභාගි වී සිටියදී, එම සාදය අතරතුරේදී මෙම දරුවා පිහිනුම් තටාකයට වැටිලා, ඔහුව ගොඩගැනීමේදී එහි පිහිනුම් උපදේශකයෙක් නොසිටි බව පියා විසින් කොල්ලුපිටි පොලිසියට පැමිණිලි කරනවා. ඒ වගේම අදාළ හෝටලයෙන් කියනවා, නෑ පිහිනුම් උපදේශකයෙක් හිටියා. ඔහු විසින් ශිෂ්‍යයාව ගොඩට ගත්තා, අරගෙන එහි, එහි සාදයට සහභාගි වෙලා හිටපු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබාගෙන ශිෂ්‍යයා රෝහල්ගත කළා, නමුත් ඔහු මියගියා කියලා.
දැන් මේ ආසන්න වශයෙන් සිදුවුණු සිදුවීම් තුන පිළිබඳ විස්තරය. සිදුවීම් තුනකින් ශිෂ්‍යයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා, අවුරුදු පහ, අවුරුදු දාහත සහ අවුරුදු අට කියන වයස්වල. මේ තිදෙනාම මියයාමට හේතුව පිහිනුම් තටාකයේ ගිලීම. වෙනත් කිසිම සංකූලතාවක් නෙමෙයි. පිහිනුම් තටාක ඉදිකිරීම, පිහිනුම් තටාක භාවිත කිරීම සහ පිහිනුම් තටාක නඩත්තු කිරීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා දැන් ලංකාවේ. පිහිනුම් තටාකයක් කියලා කියන්නේ වතුර පිරුණු තැනක්, වතුර පිරුණු තැනක ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ගිලී මියයා හැකියි.
ගිලී මිය නොයන්නට නම්, ඒ ගිලී මිය නොයාමට අවශ්‍ය කරන සාමාන්‍ය සරල උපක්‍රම මේ ස්ථානවල ගත යුතුයි. පිහිනුම් තටාකයක් විවෘතව තිබෙන ඕනෑම අවස්ථාවක පිහිනුම් තටාකයට අදාළව නිලධාරියෙක් එම ස්ථානයේ රැඳී සිටිය යුතුයි. පිහිනුම් තටාකයක නඩත්තු කටයුතු සඳහා සේවකයන් එම ස්ථානයේ රැඳී සිටිය යුතුයි. පිහිනුම් තටාකයක් නිවැරදිව පවත්වාගෙන යායුතුයි. නමුත් ගැටලුව තියෙන්නේ, පිහිනුම් තටාකයක පුහුණු උපදේශකවරයෙක් කියලා කියන්නේ, අපේ රටේ බොහෝ දෙනෙක් හිතනවා, හොඳටම පිහිනන්න පුළුවන් කෙනා තමයි පිහිනුම් උපදේශකයා වෙන්නේ කියලා. නමුත්, පිහිනන්න පුළුවන් වීම සහ ජීවිතාරක්ෂාව කියන්නේ දෙකක් කියලා අපි දන්නවා.
ජීවිතාරක්ෂකයෙක් තමයි පිහිනුම් තටාකයක ආරක්ෂාවට තැබිය යුත්තේ. නමුත් අවාසනාවකට ලංකාවේ ජීවිතාරක්ෂකයෙක් නෙමෙයි පිහිනුම් තටාකයක් ළඟ ඉන්නේ. ලංකාවේ පිහිනුම් තටාකයක් ළඟ ඉන්නේ හොඳටම පිහිනන්න පුළුවන් කෙනෙක්. ඔහු පිහිනීමෙන් රන් පදක්කම් දිනූ ශූරයෙක් වූවාට වැඩක් නැහැ. පිහිනීම කියන්නේ වෙනම කලාවක්, ජීවිතාරක්ෂාව කියන්නේ තවත් කලාවක්. ජීවිතාරක්ෂකයෙක් කියලා කියන්නේ වෙනම කෙනෙක්.
එතකොට ලංකාවේ ජීවිතාරක්ෂකයෝ ඉන්නවද? ජීවිතාරක්ෂකයෝ පිහිනුම් තටාක සඳහා සේවයට බඳවා ගන්නවද? පිහිනුම් තටාකවල සේවය කරන්න යන කෙනෙකුට හදිසියේ තමන්ගේ යටතේ පිහිනුම් කරමින් ඉන්න කෙනෙක් තටාකයේ ගිලුනොත්, ඔහුට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර ටිකවත් කරගන්න පුළුවන්ද? ඔහුව බේරගන්න පුළුවන්ද? විසිල් එක ගහන එක නෙමෙයි පිහිනුම් තටාකයක උපදේශකයෙක්ගේ රාජකාරිය වෙන්නේ. ඒ පැත්තට යන්න එපා කියලා විසිල් එක ගහලා, මේ පැත්තට යන්න එපා කියලා විසිල් එක ගහලා, වැඩ කරන එක නෙමෙයි.
ඒ නිසා, මේ සම්බන්ධව අපිට විශේෂයෙන් හොයලා බලන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධව අපි කතාකරන්න තෝරාගත්තේ ඒ පිළිබඳ දැනුම තියෙන මහත්මයෙක්ව. ඔහු තමයි රොෂාන් විජයසිංහ, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජාතික පුහුණුකරු, ඒ වගේම ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක. ඔහු පැහැදිලිව අපිට කිව්වා කාරණා තුනක් ගැන සැලකිලිමත් විය යුතුයි, පිහිනුම් තටාක පවත්වාගෙන යන්නන් කියලා. මේ පළමුවැනි දේ තමයි, පිහිනුම් තටාක සම්බන්ධව කටයුතු කරන විදුහල්පතිවරුන්ට විශාල වගකීමක් තියෙනවා තමන්ගේ පිහිනුම් තටාකය නඩත්තු කිරීම සම්බන්ධයෙන්. ඒ හින්දා පිහිනුම් තටාකයට පුහුණුකරුවෙක් පත්කරගන්නවා නම්, ඒ පුහුණුකරුවා සී.පී.ආර්. කියන සහතිකය සහිත පුහුණුකරුවෙක් විය යුතුයි. ඔහු කියන්නේ, ජීවිතාරක්ෂාව පිළිබඳ ඔහුට දැනුම තිබිය යුතුයි. යම් අනතුරකට යම්කිසි කෙනෙක් ලක්වුණොත්, ඒ අනතුරට ලක්වුණු පුද්ගලයාව බේරාගැනීමේ හැකියාව, විනාඩි කීපයකට ඔහුගේ ශ්වසන පද්ධතිය නතර වුණාම, කෘත්‍රිම ශ්වසනය දීලා ඔහු විනාඩි තුන හතරක් ඇතුළත යළි යථා තත්ත්වයට පත් කරගෙන, රෝහල් ගත කරනතුරු ඔහුගේ හුස්ම පවත්වා ගැනීමේ ශක්තිය තිබිය යුතුයි කියලා තමයි රොෂාන් විජේසිංහ අපිට කිව්වේ.
ඒ වගේම, ඔහු කියනවා මේ සහතිකයට යන්නේ රුපියල් 2000යි කියලා. ඉතින් මේක හරි පහසු දෙයක්. විශාල මුදලක් යන දෙයක් නෙමෙයි, විශාල කාලයක් වැයවෙන දෙයක් නෙමෙයි. තමන්ගේ වෘත්තිය මේක වුණාම, මේ සම්බන්ධයෙන් වගකීම සහ වැඩකිරීමේ වුවමනාව මේ අයට තිබිය යුතුයි කියන එක තමයි ඔහු පැහැදිලි කළේ.
ඒ වගේම, පිහිනුම් තටාකයක් තියෙන ඕනෑම තැනක එහි ආරක්ෂාව ගැන අදාළ බලධාරීන් සිහිපත් කළ යුතුයි. පිහිනුම් තටාකයක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විශේෂ නීති පද්ධතියක් තියෙනවා. මෙන්න මේ නීති පද්ධතිය යටතේ කටයුතු කළ යුතු බව තමයි රොෂාන් විජේසිංහ මහත්තයා අපිට කිව්වේ. ඒ සම්බන්ධව නිතරම මේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පළවෙනවා, ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ඒ ගැන සිහි තබාගත යුතු බව ඔහු කිව්වා.
ඔහුට අනුව, සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක් කියලා කියන්නේ, විශේෂ ආරක්ෂාවක් සහිතව පවත්වාගෙන යන තැනක් බව අපිට දැන් පැහැදිලි වෙනවා. ඒ වගේම, පිහිනුම් තටාකයක පුහුණුකරුවෙක් කියලා කියන්නේ, නිකන්ම නිකන් පිහිනන්න පුළුවන් වෙච්ච කෙනෙක් නොවන බව ඔහුත් අපිට තහවුරු කරලා ඔහු කිව්වා. ඉතින් මේ කාරණා ගැන රටේ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕනේ. ඒ වගේම, පිහිනුම් තටාකයකට පුහුණුකරුවෙක් ගත්තහම කීයක් හරි දීලා, ඔහු මේ පිහිනුම් තටාකය ගාව එහෙට මෙහෙට ඇවිද්දට හරියන්නේ නැති බව තමයි මේ අයගේ කතාවලින් අපිට පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම, පිහිනුම් තටාකයකට විතරක් නෙමෙයි, ඕනෑම ක්‍රීඩාවකදී පුහුණුකරුවා කියලා කියන කෙනාට අදාළ ක්‍රීඩාව හොඳටම කරන්න පුළුවන් වෙනවට අමතරව, මේ ක්‍රීඩකයන්ගේ, නැත්නම් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව ගැන විශේෂ වගකීමක් තියෙනවා. ඔහුට දැනුමක් තියෙන්න ඕනේ, ඒ පිළිබඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳ පුහුණුවක් ඇති බවට පිළිගත් සහතිකයක් ඔහු ළඟ තියෙනවා නම් ආරක්ෂාව ගැන ඒ තරම් බයවෙන්න දෙයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහෙම අය ඉන්නවද කියන එක.
අපි දන්නවා පහුගිය කාලෙත් පිහිනුම් තටාකවල ප්‍රශ්න ඇති වුණාම, පිහිනුම් තටාකයක ගැඹුර හෝටලයක නම් අඩි හතරකට වඩා නොවැඩි විය යුතුයි කියලා නීතියක් ආවා. නමුත් පසුකාලීනව අපි දන්නවා, පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන තටාකවලට මේ නීතිය ගේන්න බැහැ. ඒකට හේතුව ඩයිවින් කරන තටාකයක සාමාන්‍යයෙන් අඩි 20ක විතර ගැඹුරක් තියෙන්න පුළුවන්. ඉන් අමතරව ක්‍රීඩා සඳහා භාවිත කරන පිහිනුම් තටාකයකට යම් ගැඹුරක් අවශ්‍යයි. ඒ ගැඹුර පවත්වා ගැනීම වළක්වන්න නෙමෙයි එතැනදී කරන්න ඕනේ, පිහිනුම් සඳහා ක්‍රීඩකයන් යොමු නොකිරීම නෙමෙයි කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන නිසි හැකියාව තියෙන, දැනුම තියෙන පුද්ගලයෝ ස්ථානවලට ගේන්න ඕනේ. ඒක තමයි රොෂාන් මහත්මයා එක්ක කතා කළාට පස්සෙත් අවසාන වශයෙන් තේරුණු කාරණාව.
ඔහු කියන්නේ, මේක මිනිස්සු තවදුරටත් මැරෙනකන් ඉඳලා බැහැ. ඒ වගේම මනුස්සයෙක් මැරෙනකන් ඉඳලා, ශිෂ්‍යයෙක් මැරෙනකන් ඉඳලා, අපි තීන්දු අරගෙනත් බැහැ. අපි මෙවැන්නක් යළි නොවන විදිහට වග බලාගන්න ඕනේ. ඊළඟ ශිෂ්‍යයා මේ අනතුරට, ඊළඟ අනතුර සිදුවෙන තුරු ඉන්නේ නැතුව, අදාළ නිසි ක්‍රමවේදය යටතේ පිහිනුම් තටාක පවත්වාගෙන යන්න, සියලු දෙනාම වගකීමක් ගත යුතුයි කියලයි ඔහු අවසාන වශයෙන් අපිට කිව්වේ.

ජීවන පහන් තිළිණ










