මේවා කියලත් බෑ. මේවා නොකියත් බෑ. සමහර දේවල් තියෙනවා එක්කෝ අපිට ඇති වෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලන්ට ඇති වෙන්න ඕනේ. Sri Lanka Latest News
මුලින්ම කියන්න ඕනේ මේ ආණ්ඩුව නරක එකක් නෙමෙයි. මේ ආණ්ඩුව මේ රටට කරගෙන යන වැඩපිළිවෙළේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණට ලොකු ලොකු අඩුපාඩු නෑ. ඉතින් ආණ්ඩුවක් පත්වෙලා එක දවසෙන් මැජික් පෙන්නන්නත් බෑ. ආණ්ඩුවකට කාලයක් ඕනේ. එහෙම නැතුව රටක් හදන්නවත්, තමන්ගෙ ආණ්ඩුවකට හැදෙන්නවත්, දේශපාලකයන්ට වැඩ පෙන්නන්නවත් පුළුවන්කමකුත් නෑ. හුඟක් දේශපාලකයෝ තමන්ට පුළුවන් විදිහට එක එක විදිහේ දේශපාලනික වැඩ පෙන්නමිනුත් ඉන්නවා. අපරාධකාරයෝ අත්අඩංගුවට ගන්නවා, වැරදිකාරයෝ හොයනවා, දඬුවම් කරනවා, මේ ඔක්කොම හොඳයි. කිසි ගැටලුවක් නෑ. අපි එහෙම අඩුපාඩුවක්, වැරැද්දක්, නරකක් කියන්න හදනවා නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය කාලේ පුරාම මේ ආණ්ඩුව කියපු කරපු දේවල්වල ප්‍රශ්න තියෙනවා.
ඒ වගේම මේගොල්ලෝ බලයට එන්නේ මහජනතාවගේ ඡන්දෙන්. මහජනතාව මේගොල්ලන්ට ඡන්දෙ දුන්නේ මේගොල්ලෝ කෙරෙහි විශ්වාසයෙන්. ඒ විශ්වාසය ගොඩනැගුණේ මේගොල්ලෝ කියපු කරපු දේවල්වලින්. මොකද මේ රටේ දේශපාලකයන්ගේ ගොඩාක් අඩුපාඩු තිබ්බ බව අපි දන්නවා. දේශපාලකයෝ කරපු තක්කඩි වැඩ නිසා අපිට මේ රටේ දේශපාලනය එපාවෙලයි තිබුණේ. පාර්ලිමේන්තුවට පත්වෙච්ච මැති ඇමැතිවරුන්ගෙන් 75%ක්ම දැඩි අප්‍රසාදයට ලක්වුණු ක්‍රියාවන් කරලා තිබුණා. එහෙම නොකරපු 25%ත් හොඳයි කියලා කියන්න පුළුවන් මට්ටමක හිටියේ නෑ. ඒ නිසා තමයි අලුත් මුහුණුවලට මේ තරම් පාර්ලිමේන්තු එන්න පුළුවන් වුණේ.
ලංකාවේ පාර්ලිමේන්තුවේ හතරෙන් තුනකට විතර ආසන්න ප්‍රමාණයක් අලුත් මුහුණුවලින් පිරී ගියා. ඒක හරිම වෙනස් දේශපාලන තත්ත්වයක් බව අපිට කියන්න පුළුවන්. අපි හැමදාම කියනවා ඒක දේශපාලනික වශයෙන් රටක සිද්ධ වෙච්ච ජයග්‍රහණයක්. කාලයක් තිස්සේ මුල් බැසගත්තු, යල් පැනගිය දේශපාලන මුහුණු ටිකම හැමදාම මේකට පත්කරන්න ගත්තා නම්, එහෙම පත්කරන බවට ඒගොල්ලෝ තුළ විශ්වාසයකුත් ගොඩනැගුණා නම් කිසි ප්‍රශ්නයක් නැතුව පුළුවන් තරම් ජඩකම්, මැරකම්, හොරකම්, තක්කඩිකම්, කුපාඩිකම් ඒගොල්ලෝ කරනවා.
දැන් මේ ක්‍රමයත් එක්ක කාටවත් මේ දේශපාලන ක්‍රමය ඇතුළේ අතිශයින් නරක විදිහට හැසිරෙන්න බෑ. මොකද ඒගොල්ලෝ දන්නවා කාලයක් තිස්සේ තමන් කරපු වැරදි වැඩවලට මැතිවරණයක් එනකම් මිනිස්සු බලන් ඉන්නේ පාඩමක් උගන්නන්න කියලා. මෙච්චර කල් තිබුණු ප්‍රශ්නේ තමයි කොච්චර බලු වැඩ කළත් ප්‍රශ්නයක් නෑ, අපිව කොහොමත් පාර්ලිමේන්තු යවනවා.අපේ පුත්තු යවනවා, අපේ සහෝදරයෝ යවනවා, අපේ පවුල් පිටින් පාර්ලිමේන්තු යවනවා. මේ රටේ මිනිස්සුන්ට අපි කොච්චර වැරදි කළත් අවුලක් නෑ කියන විශ්වාසය ගොඩනැගිලා තිබිච්ච එක. හැබැයි දැන් ඒක එහෙම නෑ කියලා මේ දේශපාලකයෝ දන්නවා. ඒ නිසා දේශපාලකයෝ දන්නවා තවදුරටත් ජඩ වැඩ කළොත් ප්‍රතිඵල ලැබෙනවා, හැරෙන තැපෑලෙන් ගෙදර යවනවා කියලා. ඒ නිසාම යම් දේශපාලන වෙනස්කමක් සිද්ධ වෙනවා කියලා අපිට පේනවා.
ඒත් පුදුමේ කියන්නේ මේ ආපු මැති ඇමැතිවරු කිව්වට වඩා වෙනස් දේවල් කරන එක. මේගොල්ලෝ අතිශය චෝදනාවට ලක්කරපු දෙයක් තමයි මේ විවෘත කරන ඒවා, නම් දාගන්න ඒවා, ඉස්කෝලවල උත්සවවලට දේශපාලකයෝ සහභාගි වෙන ඒවා වගේ දේවල්. ඒත් පුදුමේ කියන්නේ ඔන්න එකමත් එක වෙලාවක එක මන්ත්‍රී කෙනෙක් ටැප් එකක් විවෘත කරනවලු. මම දන්නේ නෑ මේක මේ ඇත්තටම හදපු එකක්ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද ඒ තරමටම මේ මිනිස්සු මේ තත්ත්වෙට වැටෙයි කියලා අපිට විශ්වාස කරන්න බැරි හින්දා. මේ අපිට ආරංචි යාපනේ පැත්තෙ කියලා. මේ මන්ත්‍රී කෙනෙක්ද, ඇමැති කෙනෙක්ද දන්නෑ. ඉතින් ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්නත් පුළුවන්නේ. ඒ නිසා අපි අපේ බේරිල්ලට දෙකම කියන්නම්කෝ. ටැප් එකක් විවෘත කරනවා.
ටැප් හදලා විවෘත කරපු රටක් නෙමෙයි මේක. ළිං හදලා විවෘත කළා කියලා හාස්‍ය කතා තියෙනවා නේද? ළිඳකට ගිහිල්ලා ළිඳෙන් වතුර ඇදගෙන නාලා විවෘත කරපු අය, වැසිකිළියක් විවෘත කරන්න ගියපු අය ගැන කතන්දර තිබුණට, ටැප් එකක් හදලා විවෘත කරපු එක ගැන කතාවක්වත් තිබුණේ නෑ. හැබැයි මේ මහත්තයා ටැප් එකක් හදලා විවෘත කරනවා. ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධම දේශපාලන චරිතයක් 155 මොරටුව බස් එකක් පාරට දාලා සින්දු දාලා, පපරේ බෑන්ඩ් ගහලා, මල් මාලා දාලා මහා ජෝගියක් නටනවා.
ඒ අස්සේ තව එක්කෙනෙක් සොරොව්වක් විවෘත කරනවා. ඒ අස්සේ අපි දැක්කා පාරට තාච්චියකින් ගල් ටිකක් දාලා පාර හැදීම ආරම්භ කරන එක්කෙනෙක්. ඒ අස්සේ අපි දැක්කා උඩ තට්ටුවක ගොඩනැගිල්ලකට මුල්ගලක් තියෙනවා කවුද මම දන්නේ නෑ එක්කෙනෙක්. අපි කලින් වතාවෙත් කිව්වානේ සමහරු වැලි ගොඩදානවා, සමහරු බිත්ති බඳිනවා, ඒ වගේ සෙල්ලම් ටිකකුත් කට්ටිය දාලා තිබුණානේ. ඉතින් අපිට තේරෙන්නේ නැත්තේ රටක දේශපාලනය සඳහා පත්වෙලා එන මේ මිනිස්සු පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අමුතු වෙනවද? එහෙම නැත්නම් මේ මිනිස්සු සහජයෙන්ම අමුතු නිසා ඒගොල්ලෝ දේශපාලනය කරනවද? එහෙම නැත්නම් අපි හිතනවට වඩා දේශපාලනය කියන්නේ වෙනස් එකක්ද? ඇත්තටම මහින්දලා, රනිල්ලා කරපු දේශපාලනය වරදක් නැද්ද? මොකද මේගොල්ලොත් ඒ විදිහම දේවල් කරනවා නම්, ඊටත් වඩා, ඊට හපන් දේවල් කරනවා නම්, අපිට දැනෙන්නෙ, අපිට හිතන්න වෙන්නේ, අපිට විශ්වාස කරන්න වෙන්නේ, අනේ මහින්දලා, රනිල්ලාත් එච්චර නරක නෑ, ඒගොල්ලොත් හරි, මේගොල්ලොත් හරි කියලා. අපි හිතුවේ ඒගොල්ලෝ නරකයි කියලා. කොහොම කළත් මහින්දලාගේ, රනිල්ලාගේ දේශපාලනය දැන් අවසන් විය යුතුයි කියන විශ්වාසය අපිට තිබ්බා.
ඉතින් ඒ නිසා මේ වෙලාවේ පුළුවන් නම් ඔය දේශපාලනික වශයෙන් රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස යථාර්ථයක් බවට මහ පොළොවේ සිද්ධ කරන්න. මොකද අපි විශ්වාස කළා, මේ රටේ මිනිස්සු විශ්වාස කළා, මේක තමයි අපිට තියෙන එකම විකල්පය කියලා. අවුරුදු පහක් විතර යනකම් මිනිස්සුන්ට ඉවසාගෙන ඉන්න වෙනවා, අල්ලගෙන ඉන්න වෙනවා, දරාගෙන ඉන්න වෙනවා. ඒ නිසා ඒ දරාගෙන ඉන්න මිනිස්සුන්ව රිදවන්න එපා. ඒ මිනිස්සුන්ට හැකි පමණින් ඒ මිනිස්සු විඳගෙන ඉඳී. හැබැයි විඳගෙන ඉන්න මිනිස්සුන්ව විඳවන තැනට පත්කරන්න එපා කියලා අපි සමහර දේශපාලකයන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.

ජීවන පහන් තිළිණ










