ආණ්ඩුව ඇතුළෙත් වාදවිවාද!
සුදාත් ඥානක්කා වගේ වෙලාද?
මහින්ද එළියට බහිනවා!
චන්ද්‍රිකා ඇදවැටෙයි
ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ වේදිකාවේදී දෙනු ලැබූ එක් ආකර්ෂණීය පොරොන්දුවක් වූයේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමය. ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාස, විශ්‍රාම වැටුප්, ආරක්ෂාව, කාර්යාල පහසුකම්, අනෙකුත් දීමනා ආදී බොහෝ වරප්‍රසාදයන් කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් සකස් කොට අවසානය. මේ ආකාරයට ආණ්ඩුව පැත්තෙන් අදාළ පනත සකස් වෙද්දී අප මීට සති කීපයකට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ඊට විවිධ අයුරින් මැදිහත් වීමට හිටපු ජනාධිපතිවරුන් තීන්දු කොට ඇතැයි කියාය. එහිදී අප කියා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුල් වටයේදී මෙම පුවත වාර්තා වූ වහාම ඒ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා විසින් පත්කළ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව පිළිබඳ සොයාබැලීමේ කමිටුව වෙත යොමුකර තිබූ බවය. එහිදී ඇය අදාළ ලිපියෙන් ඉල්ලා සිටියේ තමන්ට දැනට ලබාදී ඇති ටොරින්ටන්හි පිහිටි ආණ්ඩුවේ නිල නිවස යළි ලබාගන්නේ නම් සාධාරණ මිලකට එය කුලී පදනම යටතේ ලබාගැනීමට තමන් සූදානම් යැයි කියාය.Sri Lanka Latest News
චන්ද්‍රිකා අදාළ කමිටුවට යොමුකළ එම ලිපියට පිළිතුර පසුගිය සතියේ කමිටුව විසින් ඇයට යොමුකර තිබිණි. එහි සඳහන්ව තිබුණේ ආණ්ඩුවේ නව ප්‍රතිපත්තියට අනුව අදාළ නිල නිවාස යළි පවරා ගැනීම සිදුකරන බවත්, ඉන් අනතුරුව ඒවා නැවත වතාවක් ටෙන්ඩර් කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව වැඩිම ඉල්ලුම්කරුට සහ සුදුසු වැඩසටහනකට අදාළ නිල නිවාස ලබාදීම ආණ්ඩුවේ නව ප්‍රතිපත්තිය බැවින් ඇයටද එම ටෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධ වී මිල ගණන් ඉදිරිපත් කළ හැකි බවද එහි සඳහන්ව තිබිණි.
මෙම ලිපිය ලැබීමත් සමග චන්ද්‍රිකා මහත් බලාපොරොත්තු කඩවූ තත්ත්වයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මීට සති දෙකකට ඉහතදී චන්ද්‍රිකා සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක් වාර්තා කරමින් අප කියා සිටියේ ඇගේ 80 වැනි ජන්ම දිනය කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී මහත් ඉහළින් සැමරීමට කටයුතු කොට තිබූ ආකාරයය. ඊට තම පවුලේ ළඟම සිටින ඥාතීන්ට පමණක් ආරාධනා කර තිබූ බවත්, පිටස්තරයකු වශයෙන් ඊට සහභාගි වී සිටි එකම එක පුද්ගලයා වූයේ මලික් සමරවික්‍රම මහතා පමණක් බවත් අපි එහිදී වාර්තා කර තැබුවෙමු. ලන්ඩනයේ සිටින ඇගේ දියණිය වන යශෝධරා පෞද්ගලික හේතුවක් මත ඊට සහභාගි නොවුණද, යශෝධරාගේ දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකාගේ පුත් විමුක්ති ඊට සහභාගි වී සිටි බවද අපි වාර්තා කර සිටියෙමු. කෙසේ වෙතත් ගෝල්ෆේස් හෝටලයේ පැවැති සුපිරි සාදයෙන් පසු සිය හිතවතුන් සඳහා හොරගොල්ල වලව්වේත් චන්ද්‍රිකා විශේෂ උත්සවයක් සංවිධාන කොට තිබූ බවද එදා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කර සිටියෙමු.
රනිල් පැළ කරයි
මේ ආකාරයට සිය 80 වැනි උපන්දින සාදය මහත් ඉහළින් සැමරීමට චන්ද්‍රිකා පියවර ගෙන තිබුණද සිය නිල නිවසින් තමන්ට යෑමට සිදුවන බවට වූ සිතුවිල්ල කොයි මොහොතේත් චන්ද්‍රිකාගේ සිතේ වැඩකරමින් තිබිණි. ඒ කරුණ සම්බන්ධයෙන් සිය හිතවතුන් සමග තරමක් කනගාටුවෙන් යුතුව ඇය අදහස් හුවමාරු කරගෙන තිබූ ආකාරයක්ද වාර්තා විය. ඒ අනුව සිය නිල නිවස අහිමි වන බව සක්සුදක් සේ වටහා ගැනීමත් සමග චන්ද්‍රිකා කළේ තමන් නිල නිවසින් පිටව යන බවට වූ පුවත මාධ්‍ය නිවේදනයක් මගින් අනාවරණ කිරීමය. ඇය එසේ කළේ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද, රනිල්, මෛත්‍රී ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට උත්සාහ දරමින් තිබූ පසුබිමක වීම විශේෂිතය. එහිදී චන්ද්‍රිකා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් නම් ඊට එරෙහිව නඩු දැමීමට සූදානම් නොමැති බවත්, ටොරින්ටන් නිල නිවසින් නික්ම යෑමට තමන් සූදානම් බවත්ය. චන්ද්‍රිකා ඒ බව නිවේදනය කිරීමත් සමග රනිල්ගේ පැත්තෙන්ද මාධ්‍ය වෙත යම් පුවතක් ‘පැළ’ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම පැළකරන ලද පුවතින්ද කියැවුණේ රනිල්ද ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යෑමට සැලසුම් කර නොමැති බවකි. නමුත් චන්ද්‍රිකා මෙන් රනිල් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් නොකිරීම නිසා එම පුවත සම්බන්ධයෙන් යම් කුකුසක් බොහෝ දෙනකු තුළ මතුව තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණී. නමුත් මහින්දගේ පාර්ශ්වය නම් මේ වනවිටත් සිය වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ නිසාමදෝ මේ දිනවල මහින්දව දැකබලා ගැනීම සඳහා ගම් මට්ටමින් විශාල පිරිසක් මහින්දගේ නිල නිවස වූ විජේරාමයට කදමලු බැඳගෙන එන ආකාරයක් දැකගන්නට පුළුවන.
යශෝධරා තීන්දුව දෙයි
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට සූදානම් වන්නේ නිල නිවස යළිත් අවශ්‍ය නම් අදාළ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන ලෙසට වූ ලිපිය චන්ද්‍රිකාට ලැබීමෙන් පසු ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳවය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ මෙතෙක් චන්දි්‍රකා සම්බන්ධයෙන් කවුරුත් නොදත් තොරතුරකි. එනම් අදාළ ලිපිය ලැබී දින කීපයකට පසු කොළඹ 07 පිහිටි සුපිරි ලාංකික සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි තරප්පු පෙළ බැසීමේදී චන්ද්‍රිකා එම තරප්පු පේළියෙන් ඇදවැටීමේ සිදුවීමකි. එහිදී එම අනතුරත් සමග ඇයගේ උකුල ප්‍රදේශයට හානි සිදුව තිබූ නිසා වහාම එහි සේවකයන් ඇයව කොළඹ 08 පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාවේදී මෙම අනතුර වාර්තා වීමත් සමග චන්ද්‍රිකාගේ සහායට පැමිණ තිබුණේ වෙන කවුරුවත් නොව චන්ද්‍රිකාගේ ළඟම හිතවතුන් දෙදෙනා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, මලික් සමරවික්‍රමත්ය. අතීතයේ සිටම මේ දෙදෙනා චන්ද්‍රිකාගේ පවුලේ හිතමිතුරන් වීම නිසා වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරමින් චන්ද්‍රිකාට කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳ සොයාබලා තිබුණේ රනිලුත්, මලිකුත්ය. එහිදී වෛද්‍යවරුන්ගේ උපදෙස වී තිබුණේ අනතුරින් චන්ද්‍රිකාගේ උකුල් ප්‍රදේශයට හානි වී ඇති නිසා වහාම ඇයව ශල්‍යකර්මයකට භාජනය කළ යුතු යැයි කියාය.
වෛද්‍යවරුන් එසේ ප්‍රකාශ කළද චන්ද්‍රිකා හදිසි ශල්‍යකර්මයකට එක්වරම සිය කැමැත්ත ලබාදීමට කටයුතු කොට නොතිබිණි. චන්ද්‍රිකාගේ දියණිය වන යශෝධරාද වෛද්‍යවරියක වීම නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ වහාම ඇය ලන්ඩනයේ සිට ලංකාව බලා පැමිණීමට කටයුතු කොට තිබුණේ වෛද්‍යවරුන් සමග ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහාය. ඒ අනුව පසුගිය සතියේ යශෝධරා ලංකාවට පැමිණ වෛද්‍යවරුන් සමග මේ පිළිබඳව කළ සාකච්ඡාවේදී නියත වශයෙන්ම චන්ද්‍රිකාට ශල්‍යකර්මයක් කළ යුතු බවට වෛද්‍යවරුන් විසින් පැහැදිලි කිරීමෙන් පසු ඇයද ඊට සිය එකඟතාව පළකිරීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව පසුගිය සතියේ චන්ද්‍රිකාට අදාළ ශල්‍යකර්මය සිදුකර තිබූ අතර, දින කීපයක විවේකයකින් පසු මේ වනවිට ඇය නැවත වතාවක් ටොරින්ටන්හි පිහිටි සිය නිල නිවසට පැමිණ සිටින බවක් ආරංචිය. කෙසේ වෙතත් ඉදිරි දින කීපය ඇතුළත එම නිල නිවස රජයට භාරදීමට ඇති නිසා චන්ද්‍රිකා පසුගිය දින කීපයේදී කොළඹ හෝර්ටන් පෙදෙසෙන්ම තවත් සුවිසල් නිවසක් කුලී පදනම යටතේ ලබාගැනීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. එය ඇගේ ඥාතියකුට අයත් නිවසක් බවද පැවැසේ. එම ඥාතියා කලක් ආණ්ඩුවේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියකු බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සුදා කලින්ම කියයි
මේ දිනවල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආණ්ඩුව පැත්තෙන් දියත් කර තිබේ. ඒ, රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිදුකළ ලන්ඩන් සංචාරයක් පිළිබඳවය. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රනිල් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස් එතැන් සිට ලන්ඩනයට පැමිණ තිබූ අතර, එම ලන්ඩන් සංචාරය පෞද්ගලික සංචාරයක් වුවද ඒ සඳහා මහජන මුදල් වැයකර ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කොට තිබිණි. ඒ අනුව විමර්ශන කළ කණ්ඩායම් පසුගිය කාලයේදී එම සිදුවීමට සම්බන්ධව සිටි සියලු පාර්ශ්වයන්ගෙන් විශේෂ ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව රනිල් මෙම සංචාරයන් සිදුකරද්දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගෙන් විශේෂ ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කළේය. මේ වනවිට එම නිලධාරියා ඇමෙරිකාවේ වොෂිංටන් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටීම හේතුවෙන් ඔහු යළිත් ලංකාවට කැඳවා එම සිදුවීමට අදාළ ප්‍රකාශයන් ලබාගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කොට තිබිණි.
එමෙන්ම එවක ලන්ඩනයේ ප්‍රොටෝකෝල් නිලධාරියා වශයෙන් කටයුතු කළ නිලධාරියා මේ වනවිට සිංගප්පූරු තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටින අතර, ඔහුවද ලංකාවට කැඳවා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන කණ්ඩායම් පියවර ගත්තේය. ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් ප්‍රකාශයන් ලබාගැනීමෙන් අනතුරුවය. ඒ අනුව සිකුරාදා දිනයේදී රනිල්ටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කොට තිබිණ.
කෙසේ වෙතත් රනිල්ගේ සිකුරාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීම සම්බන්ධයෙන් ඊට පෙරම මහත් ආන්දෝලනයක් මතුවූයේ කවුරුත් දන්නා යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් තම චැනලය හරහා සිදුකළ විශේෂ ප්‍රකාශයක් නිසාය. එහිදී සුදත්ත කියා සිටියේ සිකුරාදා දිනයේදී මේ සිදුවීම මුල්කොට ගෙන රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීමට නියමිතව ඇති බවත්, දින 14කට රනිල්ව රිමාන්ඩ් කිරීමට නියමිතව ඇති බවත්ය. එය සිදු නොවුණහොත් තමන් සිය යූටියුබ් චැනලය නවතා දමන බවද සුදත්ත එහිදී ප්‍රකාශ කොට තිබිණි. සුදත්තගේ මෙම කතාව සමාජ මාධ්‍යවල වයිරල් වී ගොස් තිබූ අතර, බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කළ ආකාරයක්ද දැකගත හැකි විය. බොහෝ දෙනා ඊට පක්ෂව අදහස් දක්වා තිබූ නමුත්, තවත් සමහරුන් ප්‍රශ්න කොට තිබුණේ අධිකරණය විසින් ගනු ලැබිය යුතු තීන්දුවක් සම්බන්ධයෙන් කල්තියා අනාවැකි ප්‍රකාශ කිරීමට සුදත්ත වැනි අයෙකුට හැකියාවක් ඇත්තේ කෙසේදැයි කියාය. ඒ හරහා දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම අත්අඩංගුව ගැනීම් සිදුවන බවට එල්ල වන චෝදනාවෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බවද ඔවුන්ගේ අදහස වී තිබිණ.
රනිල් යළි වාර්තා පොතට
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පියවර ගත්තේය. නමුත් එහිදී සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රනිල් අත්අඩංගුවට ගැනීමය. ඉන්පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දීර්ඝ කාලයක් පැවැති නීති තර්කවලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය රනිල්ව දින 4කට රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පියවර ගත්තාය. එහි ඇති විශේෂම සිදුවීම වන්නේ ලංකා ඉතිහාසයේ පළමුවරට හිටපු ජනාධිපතිවරයකු රහස් පොලිස් අත්අඩංගුවට පත්වීමත්, ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත්ය. මහමැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරයකු වී පසුව පාර්ලිමේන්තුවෙන්ම ජනාධිපති පුටුවට පත්ව වාර්තාවක් තබා තිබූ රනිල් අවසානයේදී අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් බන්ධනාගාරගත වූ මෙරට පළමු හිටපු ජනාධිපතිවරයා වශයෙන් වූ වාර්තාවද තමා ඉදිරියේ සනිටුහන් කරගැනීම විශේෂ සිදුවීමකි.
ඒ කොයිහැටි වුවත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ රනිල්ගේ මෙම ලන්ඩන් ගමන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පවා විවිධ මතිමතාන්තර පවතින බවකි. මේ සම්බන්ධයෙන් සිදුකෙරී ඇති අදහස් හුවමාරුවලදී ජවිපෙ ඇතැම් ප්‍රබලයන්ගේ අදහස වී ඇත්තේ ආණ්ඩුව විසින් ජනතාවට පොරොන්දු වූ මහා බැඳුම්කර වංචාව, බටලන්ද ජනාධිපති කොමිෂන් වාර්තාව වැනි දැවැන්ත චෝදනා පවතිද්දී රනිල්ගේ කෝටි 6ක් වියදම් කළ පෞද්ගලික ලන්ඩන් සංචාරයක් මුල්කරගෙන රනිල්ව අත්අඩංගුවට ගැනීම හෝ රිමාන්ඩ් කිරීම සුදුසුදැයි කියාය. එමෙන්ම එම අදහස් හුවමාරු කරගැනීම්වලදී රනිල්ට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ලොකු සංවාදයක් සිදුව ඇති බවක්ද දැනගන්නට තිබේ. එම සංවාදයට අනුව මෙම සිදුවීමේ බර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පිටින් යනු ඇද්ද, එසේත් නැත්නම් රනිල්ගේ පිටින් යනු ඇද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට යම් ප්‍රශ්නයක් මතුව ඇති බවක්ද ආරංචිය. මන්ද යත් එම සංචාරය සඳහා මුදල් අනුමත කිරීම සිදුකොට තිබුණේ සමන් ඒකනායක මහතා හරහා වී තිබීම ඊට හේතුවය. නමුත් මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව කුමක් විය හැකිද යන්න පිළිබඳ දැන්ම තියා කිසිවක් කිව නොහැක.
කෙසේ වෙතත් රනිල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් අතර පසුගිය සති කීපය පුරාම විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැති බව නම් අපට නිශ්චිතවම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට පුළුවන. ඒ අනුව අප තවත් ඒක විශේෂ තොරතුරක් සහසුද්දෙන්ම මෙම තීරය ඔස්සේ මේ සතියේ වාර්තා කිරීමට සූදානම්ය. ඒ, ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට පමණක් මෙය සීමා නොවන බවය. ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ඇතිවී ඇති එකඟතාවකින් කියැවෙන්නේ රනිල්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවන් දෙක වන මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සහ බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් පවා දැඩි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවය. ඒ අනුව ඉදිරියේදී තවත් නඩු කීපයක්ම රනිල්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනුවීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ. එම නඩු පවරන කාලසීමාව සම්බන්ධයෙන් පමණක් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සංවාදයක් මතුව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මහින්ද එළියට
මේ දිනවල දේශපාලන කරළියේ නැවත වතාවක් ප්‍රධාන චරිතය බවට පත්ව සිටින්නේ වෙන කවුරුවත් නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. පසුගිය කාලය පුරාම මහින්ද විජේරාම නිල නිවසට වී බොහෝ හුදකලාව කාලය ගතකළ ආකාරයක් දැකගන්නට ලැබුණද, මේ වනවිට එය හිටිහැටියේම වෙනස් වී නැවත වතාවක් මහින්දගේ නිල නිවස අමුත්තන්ගෙන් පිරී ඉතිරී ගිය එකක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට හැකිය. ඒ අනුව පසුගිය කාලයේදී මැස්සන් ඇහිරෙමින් සිටි විජේරාම නිල නිවස මේ වනවිට යළිත් වතාවක් සක්‍රීය වී ඇති අතර පාක්ෂිකයන්ගෙන් විශාල අනුකම්පාවක් ලැබී මහින්දට යළිත් වතාවක් බොහෝ ඉල්ලුමක් මතුවෙමින් තිබෙන ආකාරයක් ඒ හරහා දැකගත හැකිය. නමුත් පසුගිය කාලයේ දී විජේරාම නිල නිවසේ පැවැතියේ මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ඊට හේතු වී තිබුණේ මහින්දගේ දුක සැප බැලීම සඳහා වෙනදා ඔහු ළඟ සිටි පිරිසවත් එහි ඉතිරි නොවීමය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ තත්ත්වය කෙතරම් දුරදිග ගොස් තිබුණාද කියනවා නම් වසර ගණනාවක් පුරා මහින්දගේ ළඟින්ම සිටින විශ්වාසවන්තම ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි විසින් මහින්දගේ ඇතැම් හිතවතුන්ට කතාකොට ‘මේ දවස්වල සර් පොඩ්ඩක් පාළුවෙන් ඉන්නේ. ඇවිල්ලා ටිකක් කතාකරලා යන්න පුළුවන්ද….?’ යනුවෙන් විමසමින් විවිධ අයට දුරකතන ඇමතුම් පවා ලබා දී තිබෙන බවය.
නමුත් මහින්දවද නිල නිවසින් එළියට ඇද දැමීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමග මේ වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. පොහොට්ටුව සැලසුම්සහගතව රටේ විවිධ ප්‍රදේශවලින් පාක්ෂිකයන් කොළඹට ගෙන්වා ඊට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී මහින්ද මුණගැසෙන ආකාරය රටට පෙන්වීම ඊට හේතුවය. මේ දක්වා එම ප්‍රචාරක වැඩපිළිවෙළ සාර්ථක වී ඇති ආකාරයක්ද දැකගැනීමට හැකිය. මුල් දෙක තුන මහන්සි වී සංවිධාන කිරීමෙන් පසු මේ වනවිට එය ස්වභාවිකවම වර්ධනය වී ගම්වල සිටින පොහොට්ටු පාක්ෂිකයන් මහින්දගේ දුක සැප බැලීම සඳහා කොළඹ එන තත්ත්වයක් දක්වා එය වර්ධනය වී ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.
කෙසේ වෙතත් මහින්දද මේ වනවිට සූදානමින් සිටින්නේ කොළඹ විජේරාම නිල නිවසින් කොයි මොහොතේ හෝ ඉවත්වීමේ සූදානමින්ය. දැනටමත් මහින්දට ප්‍රබල ව්‍යාපාරිකයන් සහ දන්නා කියන හිතවතුන් කොළඹ නිවාස කීපයක්ම ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කොට තිබේ. පිටරට සිටින හිතවතුන්ද මහින්දට කතාකොට සිය කොළඹ නිවෙස් ඔහුට ලබාදීමට හැකි බව දැනුම් දී ඇති බවක්ද ආරංචිය. ඒ සියලු නිවාස ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව දැනටමත් මහින්ද ඉන් දෙක තුනක් ලකුණු කොට ගෙන ඇති බවත්, ඉදිරියේදී තමන්ට විවේකීව සිටිය හැකි එක් නිවසක් තෝරාගෙන එහි පදිංචියට යනු ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ප්‍රබල දෙන්නෙක් මාට්ටු
මීට අමතරව නාමල් මේ දිනවල සිටින්නේ රට වටා යමින් නැවත වතාවක් පොහොට්ටුව පණගැන්වීමේ ක්‍රියාවලියක නිරතවය. පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ දෙකහමාරකට පොහොට්ටුවේ ඡන්ද පදනම බිඳවැටුණද මාස 6ක් ඇතුළත මෙම ඡන්ද ප්‍රමාණය පළාත් පාලන මැතිවරණයේදී ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ගැනීමට නාමල් සමත් වී තිබිණි. එමෙන්ම මේ වනවිට පොහොට්ටුව හැරගිය හිටපු ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් සහ සංවිධායකවරුන් සමග නිතර සාකච්ඡා පවත්වමින් යළිත් ඔවුන් පොහොට්ටුව වටා එකතු කරගැනීමේ වැඩපිළිවෙළක්ද නාමල් විසින් මේ දිනවල සිදුකරගෙන යමින් තිබේ. ඒ අනුව ඉදිරියේදී රනිල් සමග එකතුව සිටි රෝහිත අබේගුණවර්ධන, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ වැනි ප්‍රබලයන්ද යළිත් පොහොට්ටුව සමග එකතු වීමේ වටපිටාවක් ගොඩනැගී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මේ ආකාරයට නාමල් පොහොට්ටුව ගොඩදැමීමේ මෙහෙයුමක නිරත වෙද්දී ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව මෙහෙයවන ප්‍රධානම අවිය වූ වත්කම් සෙවීමේ අවිය රාජපක්ෂ පවුල වෙත එල්ල කිරීමට සූදානමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් දෙදෙනකුට හෙට අනිද්දා වනවිට බරපතළ චෝදනා කීපයක්ම එල්ල වීමේ ඉඩකඩක් මතුව ඇති බවකි. දැනටමත් විමර්ශන කණ්ඩායම් මෙම රාජපක්ෂ පවුලේ ප්‍රබල තරුණයන් දෙදෙනාගේ නිවාස, බැංකු ගිණුම් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ සියලු වත්කම් ආදිය පිළිබඳ පරීක්ෂණ සිදුකොට අවසන් බවක් දැනගන්නට ඇත. එමෙන්ම මෙම පරීක්ෂණ ඉතා තියුණු අවසානයක් කරා මේ වනවිට ගමන් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ඉදිරි සති කීපය ඇතුළත රාජපක්ෂ පවුලේ මෙම ප්‍රබලයන් දෙදෙනාට එරෙහිව ප්‍රබල දූෂණ චෝදනා යටතේ නඩු පැවරීමේ වාතාවරණයක් මතුව ඇති බවක් දැනගන්නට තිබේ.
රනිල්ගේ අයටත් නඩු
මේ ආකාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමීපයේ සිටි කිහිප දෙනකු පිළිබඳවද මේ වනවිට විමර්ශන අංශ මගින් ප්‍රබල විමර්ශන කීපයක්ම ආරම්භ කොට තිබේ. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රනිල්ට සමීපයෙන්ම සිටි ඉතා ප්‍රබල අයකුගේ වත්කම් පරීක්ෂණ මේ වනවිට ඉතා දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, විශාල හෙළිදරව් කරගැනීම් රැසක් ඒ හරහා පරීක්ෂණ කණ්ඩායම් විසින් හෙළිකොට ගෙන ඇති බවත්ය. එම ප්‍රබලයාට අමතරව රනිල්ගේ තවත් හිතවතුන් වන වජිර අබේවර්ධන, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ් වැන්නවුන්ගේ වත්කම් පිළිබඳවද මේ වනවිට විශේෂ පරීක්ෂණ කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ළඟදීම ඒ සම්බන්ධයෙන්ද ලොකු දෙයක් වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව රනිල් සමග කටයුතු කළ බොහෝ දෙනකුගේ ඉරණම මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට අත්ව ඇති ඉරණමට සමාන වනු ඇති බව මේ වනවිට බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මහින්ද හොරෙන්ම ඇවිත්
මෑත කාලයේදී රට ලැබූ ලොකුම ජයග්‍රහණයක් ලෙස සියල්ලන්ම අවිවාදයෙන් යුතුව පිළිගත් කාරණයක් වූයේ ට්‍රම්ප් රජය විසින් ලංකාවට එරෙහිව පනවා තිබූ 44%ක තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමය. ආණ්ඩුව ඇතුළේ සිටින නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ වැනි අමාත්‍යවරුන් මෙම ජයග්‍රහණය ලඝු කොට සලකමින් තීරුබද්ද අඩුකර ගැනීම සඳහා තිරය පිටුපස විශාල මෙහෙයක් කළ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වුවද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම අවස්ථා දෙකකදී ඔහුට ප්‍රශංසා කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා පමණක් නොව, රටම පිළිගත් කරුණක් වූයේ මහින්ද සමරසිංහ වැනි පලපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයකු ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීම එම ජයග්‍රහණය පසුපස තිබූ විශාලම සාර්ථකත්වය යැයි කියාය.
මේ ආකාරයට හැමෝම ට්‍රම්ප්ගේ තීරුබද්ද ගැන කතාවෙද්දී කවුරුත් නොදැන සිටි දෙයක් පසුගිය සතියේ සිදුවිය. ඒ, මහින්ද සමරසිංහ මහතා කිසිවකුටත් නොකියා හොර රහසේම දින 3ක කාලයකට ලංකාවට පැමිණීමය. තුන්වැනි පාර්ශ්වවලින් අපට ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා මුණගැසීම සඳහා මහින්ද සමරසිංහ මෙසේ හදිසියේම ලංකාවට පැමිණි බවකි.
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ අප ට්‍රම්ප්ගේ තීරුබද්ද අඩුකර ගැනීම සඳහා ලංකාව පැත්තෙන් පොරොන්දු වූ කරුණු පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ එම කොන්දේසි ඉටුකිරීමේදී ආණ්ඩුවට මේ මාස දෙක තුන ඉතා තීරණාත්මක කාලයක් වනු ඇතැයි කියාය. අභියෝගය මතුව ඇත්තේ දැන් බවත්, පොරොන්දු වූ පරිදි ගෑස් සහ තෙල් යනාදිය මෙම මාස දෙක තුන ඇතුළත ඇමෙරිකාවෙන් මිලදීගෙන පෙන්විය යුතු බවත් අපි එහිදී කියා සිටියෙමු. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම තත්ත්වය මත මහින්ද සමරසිංහ හදිසියේම ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වී ඇති බවකි. එම සාකච්ඡාව අතිශය රහසිගත සහ අතිශය පෞද්ගලික එකක් බවත්, අවම වශයෙන් ඊට ආණ්ඩුව පැත්තෙන් ඇමැතිවරයකු හෝ නිලධාරියකු හෝ සහභාගි වී නොමැති බවත්, ජනාධිපතිවරයා සහ මහින්ද අතර පමණක් මුහුණට මුහුණ මෙම සාකච්ඡාව පැවැත්වී ඇති බවත් අපට ආරංචිය. එම නිසා අදාළ සාකච්ඡාවේදී සිදුව ඇති කිසිදු තොරතුරක් මේ වන තෙක් අප වෙත වාර්තා වී නොමැත. නමුත් ඇමෙරිකානු බද්ද සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අතිශය තීරණාත්මක අදහස් හුවමාරුවක් සිදුව ඇති බව නම් මෙහිදී පැහැදිලිව සඳහන් කළ හැකිය. නමුත් එහිදී දෙදෙනා අතර ඇතිවූ එකඟතා මොනවාද, ප්‍රතික්ෂේප වූ කරුණු මොනවාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැත. එමෙන්ම අදාළ හමුවෙන් පසු මහින්ද සමරසිංහ මහතා ඊට පසු දිනම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් මහින්දගේ නික්ම යෑමෙන් පසු ජනාධිපතිවරයා හා විදේශ ඇමැති විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවක්ද ආරංචිය.
ජපන ගමනත් ජර්මන් වගේද?
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිතය. සාමාන්‍යයෙන් සෑම වසරකදීම මෙම සමුළුව සඳහා සෑම රාජ්‍ය නායකයකුටම ආරාධනා ලැබෙන අතර, ඒ අනුව, අදාළ රාජ්‍ය නායකයා ඇමෙරිකාව බලා ගොස් එම සමුළුව ආමන්ත්‍රණය කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඒ අනුව මෙවර පළමු වතාවට අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.
ඇමෙරිකානු සංචාරය අවසන් වීමත් සමග ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ කෙළින්ම ජපානය බලා යෑමටය. ඇමෙරිකානු සංචාරය කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරය සම්බන්ධයෙන් නම් මේ වනවිට මහත් ආන්දෝලනයක් දේශපාලන ක්ෂේත්‍රයේ මතුව තිබේ. ඒ, ජනාධිපතිවරයා මෙසේ ජපන් සංචාරයක නිරත වන්නේ එරටින් ලැබුණු නිල ආරාධනාවකටදැයි කියාය. පසුගිය කාලයේ මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අනුර කිහිප වතාවක්ම ජපන් සංචාරවල නිරත වී තිබිණි. ඒ එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ආරාධනාවන්ට අනුවය. නමුත් මෙවර අනුර ජපානයට යන්නේ මන්ත්‍රීවරයකු වශයෙන් නොව මෙරට ජනාධිපතිවරයා වශයෙන්ය. එසේ නම් ජනාධිපතිවරයා ජපානය බලා යායුත්තේ එරටින් ලැබුණු නිල ආරාධනාවකට අනුව නිල සංචාරයක් ලෙසටය. එසේ නම් ජපන් රජයේ ප්‍රධානියා වන එරට අගමැතිවරයා සහ එරට නාමික ප්‍රධානියා වන ජපන් අධිරාජ්‍යයා මුණගැසිය යුතුය.
මේ ආකාරයටම පසුගියදා ජනාධිපතිවරයා ජර්මනියේ කළ සංචාරය පිළිබඳවද දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහක් මතුව තිබිණි. විපක්ෂය ඒ සම්බන්ධයෙන් ලොකු හඬක් නොනැගුවද බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණේ ජනාධිපතිවරයා ජර්මනියට ගියේ එරටින් ලැබුණු නිල ආරාධනාවකටද, එසේත් නැත්නම් පෞද්ගලික සංචාරයකටදැයි කියාය. ජනාධිපතිවරයා නිල සංචාරයකට ගියා නම් අනිවාර්යයෙන්ම එරට රාජ්‍ය නායකයා වන ජර්මන් චාන්සලර්වරයා මුණගැසිය යුතුව තිබිණ. නමුත් එවැන්නක් ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේදී සිදුවූයේ නැත. ජනාධිපතිවරයා මුණගැසුණේ එරට නාමික බලයක් හිමි ජනාධිපතිවරයා පමණි. මේ ප්‍රශ්නය මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ බරපතළ ලෙස සාකච්ඡාවට ලක්වන කරුණක් බවට පත්ව තිබේ. ඒ අනුව බොහෝ දෙනා ඒ මොහොතේ ගොඩනැගූ තර්කයක් වූයේ දැන හෝ නොදැන ජනාධිපතිවරයා ජර්මනියේ වෙසෙන දෙමල ඩයස්පෝරාව මුණගැසී සාකච්ඡා කිරීම සඳහා ගොස් තිබුණා යැයි කියාය.
ඒ අනුව, මේ වනවිට ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය අලලාද බොහෝ දෙනා කියන්නේ එය නිල සංචාරයක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයක් නිකුත් විය යුතු බවකි. මන්ද යත් ජපානය යනු අතීතයේ සිටම ලංකාවට විශාල වශයෙන් ආධාර උපකාර කළ රටකි. ඒ අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයක නිරත වන්නේ නම් නියත වශයෙන්ම ජපානයේ ප්‍රධාන තනතුරු දරන අගමැතිවරයා සහ අධිරාජ්‍යයා මුණගැසිය යුතුය. නොඑසේ නම් ජපාන සංචාරයෙන් පසු ජනාධිපතිවරයාට ජර්මන් සංචාරයේදී එල්ල වූ චෝදනාවම එල්ල වීම වැළැක්විය නොහැක.
එමෙන්ම අප ජපානය පැත්තෙන්ද ජනාධිපතිවරයාගේ මේ සංචාරය පිළිබඳ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට ඇති තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා මේ යන්නේ නිල සංචාරයකට නොවේ යැයි කියාය. 80 දශකයේ සිටම ජවිපෙ ප්‍රබලම ජාත්‍යන්තර සංවිධානය බිහිව තිබුණේ ජපානයේය. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් සමන්විත ජපන්-ජවිපෙ සංවිධානය එවක සිටම විශාල වශයෙන් ජවිපෙට මුදල් පොම්ප කිරීම සිදුකළේය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඊට කෘතගුණ සැලකීම සඳහා ජපානයේ ඇති ජවිපෙ ශාඛාවේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙසේ ජපාන සංචාරයක නිරත වනවා යැයි කියාය. එහිදී ජපාන අගමැතිවරයා හෝ අධිරාජ්‍යයා මුණගැසීමක් සිදු නොවනු ඇතැයි කියාය. ඒ අනුව ආණ්ඩුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක් නොකරන්නේ නම් ජර්මානු සංචාරය හරහා සිදුකරගත් අත්වැරැද්දම මෙම සංචාරය තුළදීද ජනාධිපතිවරයා සිදුකරගන්නවා නොඅනුමානය.
සජබයේ අවුලක්
සජබය යනු කාලයෙන් කාලයට විවිධ චරිත එළියට එන පක්ෂයකි. කලක එහි වීරයෝ වන්නේ ටයිකෝට් පොරවාගෙන සිටින ඔස්තාර්ලාය. තවත් කලකට ජාතික ඇඳුම ඇඳගෙන කෑගහන වීරයන්ද සජබයේ සිටී. තවත් කාලයක පක්ෂ නායකයාට, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පහරදී වීරයන් වීමට උත්සාහ කරන මන්ත්‍රීවරුන්ද එහි නැතුවා නොවේ. කාලයකදී මතුවන එවැනි එක් චරිතයක් ලෙස බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන චමින්ද විජේසිරි පෙන්වා දිය හැකිය. පසුගිය සතියේද චමින්ද විජේසිරි යළිත් කරළියට පැමිණ සජබය සහ එහි නායකයන් ඉලක්ක කරගෙන ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
චමින්ද විජේසිරි මේ ආකාරයට සජබ ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර පළාත් පාලන මැතිවරණයෙන් පසුවද චමින්ද විජේසිරි මේ ආකාරයටම සජබයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබුණේ එම මැතිවරණයෙන් පරාජයට පත්වූ සිය සහෝදරයා ලැයිස්තුවෙන් ප්‍රාදේශිය සභාවට නම් නොකිරීමට සජබය තීන්දු කිරීමත් සමගය. ඒ අවස්ථාවේදී සිය පළමු පළාත් පාලන මැතිවරණයට මුහුණ දුන් සජබය කල් තියාම තීරණය කර තිබුණේ කිසිදු පරාජිත අයකු ලැයිස්තුවෙන් ප්‍රාදේශීය සභාවට නම් නොකිරීමටය. එමෙන්ම දේශපාලන පවුල්වල ඥාතීන්, හිතවතුන් ලැයිස්තුවෙන් සභාවට නොඑවීමටය. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු රංජිත් අලුවිහාරේලා, බන්දුලාල් බණ්ඩාරිගොඩලා, චමින්ද විජේසිරිලා එම ප්‍රතිපත්තියට එරෙහිව පක්ෂය ඇතුළේ කැරැල්ලක් ගසමින් සිය පරාජයට පත්වූ ඥාති හිතවතුන් නම්කරන ලෙසට බලකොට සිටියහ. නමුත් පක්ෂය තීන්දු කර තිබූ ආකාරයටම ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් ලැයිස්තුවෙන් සභාවට එවීමට ගත් තීන්දුවේ සිටියේය. ඊට හොඳම උදාහරණයක් වූයේ කොළඹ නගර සභාවේදී සිදුවූ සිදුවීමය. එහිදී කොළඹ සජබ නගරාධිපති අපේක්ෂකයා සිය කොට්ඨාසය පරාජය වූ නිසා අඩුම තරමින් ලැයිස්තුවෙන් හෝ ඔහුව නගර සභාවට නම්කිරීමට සජබය කටයුතු නොකළේය. ඒ අනුව මතුවූ අර්බුදය හමුවේ අදාළ පත්වීම් සිදුකිරීම මාස කීපයකින් කල් දැමීමට සජබය තීරණය කර තිබිණි.
චමින්ද දොට්ට
ඒ අනුව පසුගිය සතියේ සජබ නායක සජිත් සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටියදී අදාළ පුරප්පාඩු පිරවීමට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සජබ ජ්‍යෙෂ්ඨයන් තීන්දු කොට තිබිණි. ඒ අනුව පක්ෂය ඊට පෙර ගෙන තිබූ තීන්දුවට අනුව අදාළ කොට්ඨාසවල ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයන් හට අවස්ථාව ලබාදීමට සජබය කටයුතු කොට තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ නැවත වතාවක් චමින්ද විජේසිරි මාධ්‍ය හමුවක් කැඳවා සජබයටත්, සජබ ජ්‍යෙෂ්ඨයන්ටත් ප්‍රහාර එල්ල කිරීමය. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සමග චමින්ද විජේසිරි දරුණු වාග් ප්‍රහාරයක පවා නිරත වී ඇති බවකි. ඒ අනුව රංජිත් සහ එම සාකච්ඡාවේ සිටි පිරිස් මේ බව වහාම සූම් සාකච්ඡාවක් හරහා සිංගප්පූරුවේ සිටි සජිත්ට වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව සජබය මේ වනවිට තීන්දු කොට ඇත්තේ පක්ෂයට ප්‍රහාර එල්ල කරන, පක්ෂ නායකත්වයට ප්‍රහාර එල්ල කරන, පක්ෂ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන සියලු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, පක්ෂය ගෙන ඇති තීන්දු තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටත්ය. එය චමින්ද විජේසිරිගෙන්ම ආරම්භ කිරීමටද පක්ෂය මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත.
එමෙන්ම පක්ෂ ප්‍රතිපත්තිවලට පිටින් යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඩීල් දැමූ කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද දැනගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රනිල් සමග නිතර නිතර සාකච්ඡා කරමින් සජබ මන්ත්‍රී කණ්ඩායමක් කඩාගෙන රනිල් සමීපයට යෑමට කාවින්ද ජයවර්ධන සැලසුම් කර තිබූ බවටත්, ඒ සම්බන්ධයෙන් ස්ථාන කීපයකදීම සාකච්ඡා කර තිබූ බවටත් පසුගිය කාලයේ වාර්තා වී තිබිණි. ඒ අනුව ඔහු සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සජබය මේ වනවිට තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත.
සජිත් වැඩ පෙන්වයි
සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා බොහෝ කලකට පසු විදෙස් සංචාරයක නිරත වෙමින් පසුගිය සතියේ සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත විය. පසුගිය කාලයේදී බොහෝ දෙනා රනිල් සමග සංසන්දනය කරමින් සජිත්ට චෝදනා එල්ල කර තිබුණේ රනිල්ට තරම් සජිත්ට ජාත්‍යන්තර සබඳකම් නැතැයි කියාය. ජාත්‍යන්තර හිතවතුන් නැතැයි කියාය. ජාත්‍යන්තරයේ ආධාර සජිත්ට ලැබෙන්නේ නැතැයි කියාය. ජාත්‍යන්තර හිතවත්කම්, සබඳකම් , ආධාර ලබාගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් යැයි කියාය. නමුත් පසුගිය කාලවකවානුව පුරාම මෙම තීරය ඔස්සේ අපි රනිල්ට ඔය කියන කිසිම ආකාරයේ ජාත්‍යන්තර සබඳතාවන් නොමැති ආකාරය අවස්ථා කීපයකදීම ඔප්පු කර සිටියෙමු. උදාහරණයක් ලෙස රනිල් ජනාධිපති ධුරය භාරගත්තේම ජපානයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් තමාගේ අතේ ඇතැයි කියමිනි. නමුත් රනිල්ට ජපානයෙන් තියා වෙන කිසිදු රටකින් එක ඩොලරයක්වත් ඔහුගේ පාලන සමයේදී ලබාගැනීමට හැකියාවක් නොවීය. ලැබුණු එකම මුදල වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් රාජපක්ෂවරුන් ලබාගෙන තිබූ ණය මුදලේ ඉතිරි වාරිකයන් පමණි.
එමෙන්ම වරක් රනිල් සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී එරට අගමැතිවරයා හමුවීම සඳහා නිල ආකාරයෙන් සහ නිල නොවන ආකාරයෙන් විශාල උත්සාහයක් දරා තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී සිංගප්පූරු අගමැතිවරයා තබා ආණ්ඩුවේ ඉහළ පෙළේ කිසිදු බලධාරියකු හමුවීමටවත් රනිල්ට හැකියාව ලැබී තිබුණේ නැත.
නමුත් සජිත්ගේ සිංගප්පූරු සංචාරයේ තත්ත්වය කෙසේද? රනිල්ගේ සිංගප්පූරු සංචාරය හා සසඳද්දී සජිත්ගේ මෙම සිංගප්පූරු සංචාරය අතිසාර්ථක එකක් වී ඇත්තේ තමන්ගේ ඇති සබඳකම් හරහා සිංගප්පූරු රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට සජිත්ට හැකි වී තිබීම නිසාය. කවුරුත් නොදන්නවාට සජිත් හා සිංගප්පූරුව අතර සබඳතාව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සමය දක්වාම දිවයන්නකි. එදා සිටම සජිත් සමග සමීපව කටයුතු කළ සිංගප්පූරු නිලධාරීන් අද එම රජයේ ඉහළම තැන්වල රාජකාරි කටයුතු කරනු ලබයි. ඇතැමුන් මේ වනවිට විශ්‍රාම ගොස් සිටියද සජිත් ඔවුන් සමග ඒ සබඳතාවන් අදටත් යාවත්කාලීනව තබාගෙන තිබේ. ඒ අනුව සජිත් සිය සිංගප්පූරු සංචාරය ආරම්භ කළේම සිංගප්පූරුව් කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ කිෂෝ මහබුබානි මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වමිනි. කිෂෝ මහබුබානි යනු එක්සත් ජාතීන්ගේ සිංගප්පූරුවේ නිත්‍ය නියෝජිතයා ලෙසත්, අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ලී ක්වාන් යූ මහජන ප්‍රතිපත්ති පාසලේ ආරම්භක පීඨාධිපතිවරයෙකි. ඒ අනුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේදී සජිත් හා මහබුබානි අතර ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා සම්බන්ධයෙන් දීර්ඝ අදහස් හුවමාරුවක් සිදුව තිබිණි.
ඉන් අනතුරුව සජිත් සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ගේ පුහුණු සහ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා කැපවූ ප්‍රමුඛ ආයතනයක් වන සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක නිරත වීමටද පියවර ගත්තේය. ඉන් අනතුරුව සජිත් සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධනය හා තොරතුරු අමාත්‍යාංශයට ගොස් එහි බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමටද පියවර ගත්තේය. එමෙන්ම සජිත් සිංගප්පූරුවේ ආරක්ෂාව බාර අමාත්‍ය මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා හමුවී අදහස් හුවමාරු කරගැනීමටද පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.










