පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවීගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවරවලට ලක්වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් 32ක් පමණ ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවත් මෙය පසුගිය වර්ෂවලට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස අඩු වයසින් ගැබ්ගැනීම් ඉහළ යාමට හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. Sri Lanka Latest News
ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ 2023 වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක්වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ්ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත් ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් පමණ වාර්තා වීම ඉතා දරුණු සමාජ, ආර්ථික, දේශපාලන හා සෞඛ්‍ය අනතුරක් බවයි.
මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ්ගැනීම් පමණක් වන අතර, අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා දැරියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වනවිට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති අතර, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතරද මවුපියන් සහ දරුවන් අතර පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාදෙන සෛද්ධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමග ප්‍රායෝගිකව විෂය කරුණු බෙදාදීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේදී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව පසුගිය මාස පහක කාලසීමාවේදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 22ක්ද, අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහැරීම් සම්බන්ධ සිදුවීම් 63ක්ද, ලිංගිකව අතවර කිරීමට තැත් කිරීම් 216ක්ද, කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක්කිරීම් 85ක්ද මේ දක්වා වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
කුඩා දැරියන් සහ තරුණියන් නිසි වයසට පත්වීමට පෙර ගැබ්ගැනීම තම හිතවත්ම ඥාතීන් හෝ පෙම්වතුන් හරහා සිදුවන බවත් මේ තත්ත්වය කෙරෙහි මවුපියන්ගේ දැඩි අවධානයට ලක්වීම වැදගත්වන බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍ය චමල් සංජීව මහතා, එවන් තත්ත්වයන්ට ගොදුරු වන දැරියන් පසුව රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දෙයි.










