රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් එදා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ජාතික තරුණ සේවා සභාව සහ රට පුරා විසිරී පවතින යෞවන සමාජ ව්‍යාපාරය අද වනවිට ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ ග්‍රහණයට නතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පසුගිය 03 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර සිටියා. Sri Lanka Latest News
මේ රටේ 1977න් පස්සේ බිහිවුණු තරුණ සේවා සභාව. අපි දන්නවා එතැනින් පස්සේ අපි දැක්කා ඉතිහාසයේ තරුණ සේවා සභාව හරහා එළියට ආපු විශාල නායකයන් ප්‍රමාණයක්. ඒ වගේම ගායක ගායිකාවන් ප්‍රමාණයක්. බෙල්වුඩ් ගම්මාන, තරුණ කඳවුරු, යොවුන්පුරය වගේ දැවැන්ත තරුණ කඳවුරු. අපි මේ හැම එකක්ම දැක්කා. මේක ආරම්භ කළේ ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. ඒ ව්‍යාපාරය ආරම්භ කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය. නමුත් කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත්, එතුමාගේ එක්සත් ජාතික පක්ෂයවත් මේ තරුණ සංවිධානයට අතගැහුවේ නෑ. එය ස්වාධීනව හැම ගමකම ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා.
සාමාන්‍යයෙන් මේ රටේ ඉන්න අති බහුතරයක් තරුණ සහෝදරවරු, සහෝදරියන් ඉතිහාසයේ මේ තරුණ සේවා සභාවේ යොවුන් සමිතියත් එක්ක එකට එකතු වෙච්ච අය තමයි අවසානයේ ක්‍රීඩා තරගවලට ඇවිල්ලා මේ රටේ ඉතාම ඉහළ තැනකට යනකල් මේක තල්ලු කළේ. ඒ විතරක් නෙවෙයි, පස්සේ මේක තවත් වැඩිදියුණු වෙලා ග්‍රාමීය මට්ටමෙන් විවිධ ව්‍යාපෘති කරන්න තරුණයන්ට හුරුපුරුදු කළා. විශේෂයෙන්ම කුඩා පාලමක් ඉදිකරන්න, පාරක් ඉදිකරන්න, නැත්නම් ගොඩනැගිල්ලක් හදන්න, ගමේ මිනිස්සුන්ගේ ශ්‍රමය එකතු කරගෙන, ඒ වගේම ගමේ මිනිස්සුන්ගේ ආධාර එකතු කරගෙන, තරුණ සේවා සභාවෙනුත් යම් මුදලක් පරිත්‍යාග කරලා, සමහර වෙලාවට රුපියල් ලක්ෂ පහේ, දහයේ වැඩ තරුණයෝ එකතු වෙලා කළා ගම් ඇතුළේ. මේවාට කිසිම දේශපාලනයක් තිබුණේ නෑ. ඔවුන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන්න මේ තරුණ සමිති කවදාවත් පාවිච්චි කළේ නෑ. ඉතින් එවැනි තත්ත්වයක් තිබිච්ච තරුණ සේවා සභාව තමයි අද සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙලා, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ ව්‍යාපාරයේ නායකයන්ගේ තෝතැන්නක් බවට පත් කරමින් යන්නේ.
මේක සම්පූර්ණයෙන් වැරැදියි. මේ ක්‍රියාදාමය තුළ මේ රටේ ස්වාධීනව කටයුතු කරපු තරුණ සේවා සභාව අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කඳවුරක් බවට පත්වෙලා තිබෙනවා. මේක සම්පූර්ණයෙන් වැරැදියි.
මම කියන්න කැමතියි විශේෂයෙන්ම යෞවන සමාජ පිහිටුවීම සඳහා ගත්තොත්, ඉස්සර මීට කලින් තිබුණ තත්ත්වය තමයි පූජ්‍ය පක්ෂය, තරුණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, දිස්ත්‍රික් බලමණ්ඩල, ජාතික මණ්ඩල නියෝජිතයෝ, තරුණයන් වගේ අය තමයි යෞවන සමාජ පිහිටුවීම සඳහා සාමාන්‍යයෙන් සහභාගි වෙන්නේ. වර්තමානයේ කවුද එන්නේ? තරුණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, කොට්ඨාස සමිති සාමාජිකයෝ, සමාජවාදී තරුණ ව්‍යාපාර නියෝජිතයෝ සහ පක්ෂ නියෝජිතයෝ. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙළ එහෙම පිටින්ම දේශපාලනීකරණයට ලක්කරලා තියෙන්නේ. ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී යනවා ගමේ යෞවන සමාජය පිහිටුවන්න. මේක සම්පූර්ණයෙන් වැරදියි. ඉතිහාසයේ කවදාවත් මේ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. යෞවන සමාජ නිලවරණය ඉස්සර තිබුණේ තරුණ සේවා නිලධාරීන් ආවා, ග්‍රාම නිලධාරීන් හිටියා, දිස්ත්‍රික් මණ්ඩල නියෝජිතයෝ හිටියා, ජාතික මණ්ඩල නියෝජිතයෝ හිටියා, යෞවන සමාජ ක්රියාකාරිකයන් හිටියා. වර්තමානයේ තරුණ සේවා නිලධාරී, ප්‍රාදේශීය සභා මන්ත්‍රී, සමාජවාදී තරුණ සම්මේලනයේ ඒ නියෝජිතයා, පක්ෂ නියෝජිතයෝ, කොට්ඨාස සමිති සාමාජිකයෝ. මේ අය තමයි අද මේ යෞවන සමාජ හදන්න මූලිකත්වය අරගෙන ක්‍රියා කරන්නේ. එතකොට ඒක එහෙම පිටින්ම තරුණ සංවිධාන, යෞවන සමාජ සම්පූර්ණයෙන් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට පාවිච්චි කරන තැනකට තල්ලු වෙලා තිබෙනවා. ඔවුන් හදන්නේ මේ ලබාගත්ත බලය ආරක්ෂා කිරීම සඳහා තරුණයන්ගේ ඔළු සම්පූර්ණයෙන්ම විනාශ කරලා, ඔවුන් මේ රටේ වෛරක්කාරී දේශපාලන ක්‍රියාදාමයකට තල්ලු කරන්න.
ඒ විතරක් නෙමෙයි, යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය පිහිටුවන්න ඉස්සර සහභාගි වුණේ, පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සම්බන්ධීකාර අධ්යක්ෂ, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී, ග්‍රාම සේවා නිලධාරීන්, නිස්කෝ සාමාන්‍යාධිකාරී, ක්‍රීඩා නිලධාරී, ජාතික හා දිස්ත්‍රික් බලමණ්ඩල නියෝජිතයෝ, යෞවන සමාජ විධායක නිලධාරී කියන අය. අද වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය ලේකම්, තරුණ සේවා නිලධාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂයෙන්ම යෞවන සමාජ ප්‍රාදේශීය සභා බලමණ්ඩලය පිහිටුවන්න කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහිල්ලා තිබුණේ නැහැ. යන්නේ නැහැ. මොකද හේතුව, එය ස්වාධීනව ඔවුන්ට කරගන්න තියෙන නිසා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රාදේශීය සභා මන්ත්‍රී, පක්ෂ නියෝජිතයෝ, සමාජවාදී තරුණ ව්‍යාපාරයේ නායකයෝ ටික තමයි දැන් මේකට යන්නේ. දැන් එහෙම පිටින්ම සම්පූර්ණයෙන් යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය හදන එකත් ජේවීපී එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් කරන තැනකට දැන් තල්ලු වෙලා තියෙනවා.
ඊළඟට, යෞවන සමාජ ප්‍රාදේශීය නිලවරණයේ ක්‍රියාපටිපාටිය ගත්තොත් ඡන්දයකින්, ඒකමතික යෝජනා ස්ථිර කිරීම් මගින් තමයි සමහර වෙලාවට සිද්ධ වුණේ. ස්ථාවර නියෝග අලුතින් එකතු කිරීම කරලා සම්මත කරගත්තා. ස්වාධීන හා සාධාරණ නිලවරණයක් අනිවාර්යයෙන් තිබුණා ඒ කාලේ මීට පෙරාතුව. සාමාජිකයන්ට ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාව තිබුණා. නිලවරණය පවත්වන ස්ථානයට පිටස්තර පුද්ගලයන්ට එන්න දුන්නේ නැහැ. පක්ෂ නියෝජනයට ඇතුළුවෙන්න දුන්නේ නැහැ. වර්තමානයේ මොකද කරන්නේ? පක්ෂය විසින් නිලවරණයට පෙර සකස් කරන ලද ජේවීපී එකේ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දේශපාලන තර්ජන කරනවා. දේශපාලනඥයන්ගේ සහභාගිත්වය තිබෙනවා. තරුණ සේවා නිලධාරීන්ගේ බලපෑම් සම්පූර්ණයෙන්ම තිබෙනවා. සමාජවාදී තරුණ ව්‍යාපාරයේ මැදිහත් වීම. ඒක මෙහෙයවීම සම්පූර්ණයෙන්ම කරන්නේ එතැන. ස්ථාවර නියෝග ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්නේ නැහැ. ස්වාධීන තරුණයන්ට නිලතල දැරීමට අවස්ථාව ලබාදීම සම්පූර්ණයෙන් පැහැර හැරලා තියෙනවා. පක්ෂවල නියෝජිතයන්ගේ මැදිහත් වීම සම්පූර්ණයෙන් දූෂිත නිලවරණ, ඒ වගේම පක්ෂයේ තරුණයන්ට පමණක් තනතුරු ලබාදීමේ ක්‍රියාවලිය. ඒ වගේම එක මතවාදයක ලාංඡනයක් ප්‍රදර්ශනය කරලා තමයි නිලවරණය පවත්වන්නේ. ඒ කියන්නේ තරුව ලකුණෙන් තමයි මේගොල්ලෝ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.
ඇත්තටම වත්මන් රජයේ තරුණ සේවා සභාව ‘කනෙක්ට් 2025 යූත් ක්ලබ්ස්’ කියලා මේ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් දැන් සිද්ධ වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාවගේ මුදල්, රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙතැන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ තරුණ සේවා සභාවේ මුදල් සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ මේ රටේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්න, නැත්නම් එය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. එතකොට පැහැදිලිව මේ රටේ ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරනවා පක්ෂයක ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනියන්න. මේක සම්පූර්ණයෙන්ම අල්ලසක්, මේක දූෂණයක්. මේ සම්බන්ධව අපි ඉතාම ඉක්මනින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ සම්බන්ධව තිබෙන මේ තත්ත්වය වහාම මැදිහත් වෙලා විසඳගන්න ඕනෑ කියන අදහස අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමැතියි.
ඒ වගේම මම පෙන්නන්නම්, කුලියාපිටියේ ප්‍රාදේශීය සභා අපේක්ෂකවරයා තමයි මෙතැන තරුණ සමිතියේ ඉන්නේ. (ඡන්ද දැන්වීම් කිහිපයක් පෙන්වයි) ඊළඟට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මේ පුද්ගලයන් මේ සමිතිවල අද ඉන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත්, විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩලයේ උපලේකම්, බිංගිරිය මාලිමා අපේක්ෂකවරිය. අනෙක් පැත්තෙන් ගත්තොත්, පන්නල ප්‍රාදේශීය සභා අපේක්ෂකවරයා මේ ඉන්නේ. මේ අය තමයි අද මේ සමිතිවල සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ලේකම්වරුන් විදිහට පත්වෙන්නේ. මම මේ කතා කරලා පෙන්නුවේ කුරුණෑගල තත්ත්වය. මේක තමයි හැමතැනකම සිද්ධවෙලා තියෙන්නේ.
සමන්ත විද්‍යාරත්නට මිනිස්සු ‘හූ’ කියලා එළෙව්වා. මම ඉල්ලීමක් කරනවා, හැම ගමකම මේ තියන්න හදන සමිතිවලට අපේ සාමාන්‍ය තරුණයන් මැදිහත් වෙන්න. ඔබ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා නම් අපි ඒ ක්‍රියාදාමය කරනවා. මැදිහත් වෙලා මේක ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් වෙනම තරුණ විකල්ප ව්‍යාපාරයක් අපිට හදන්න සිද්ධ වෙනවා. මොකද හේතුව, මේ තරුණ ව්‍යාපාරය මරාදාන්න ඉඩදෙන්න බෑ. මොකද අවුරුදු 76ක් විනාශ කරපු ඉතිහාසයක් ගැන මේගොල්ලෝ කතා කරලා, විනාශ නොවී තිබිච්ච තරුණ සංවිධානය, යෞවන සමාජ සම්මේලනය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කරන්න 77 වැනි වසරේ ක්‍රියාත්මක කිරීම තමයි අපිට තියෙන දැවැන්තම කනගාටුව. ඒ නිසා මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් පරාජය කරන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.
ඒ වගේම විශේෂයෙන් මේ වෙනකොට ආරක්ෂක කමිටු සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට නතුවෙලා තිබෙනවා. තරුණ සංවිධාන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට නතුවෙලා තිබෙනවා. ඒ වගේම ගම්මානවල තිබෙන මරණාධාර සමිතිවලටත් දැන් දේශපාලනය රිංගලා තියෙන්නේ. දායක සභාවෙත් තියෙන්නේ සම්පූර්ණ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය. හෙට අනිද්දා වෙනකොට ගමේ තියෙන කුලඟන සමිතියත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙන්න තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. තමන්ගේ පක්ෂයේ මතවාදය, දේශපාලනය සම්පූර්ණයෙන් මේකට ගාවගෙන. අපිට තමයි බැන්නේ දේශපාලනීකරණය කරලා තියෙනවා කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යන්නේ තමන්ගේ දේශපාලන දර්ශනය මේ රට ඇතුළේ බලහත්කාරයෙන් ඔළුවෙන් හිටවලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක්. ඒකට විරුද්ධව අපි නැගිටිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා.
Top News Lk










