ගිය සතියෙන් මේ සතියට ආවේ දේවගැති ජෙරොම්ගේ සුවිශේෂ සුව මෙහෙය ගැන ඔබට කියන්න. අපි දැක්කනේ සුව මෙහෙයේදී ගැරඬින්ට භූමිතෙල් ගහලා වගේ දඟලන මිනිස්සු ඉන්නවා කියලා. අපි නිතරම දකින්නේ මේ පින්තූර මේ වීඩියෝස්. එතකොට මේ කතාව ඇත්තද? ඇත්තටම එහෙම එන හැමෝම දැඩිබිඩි ගාලා බිම වැටෙනවාද? ඔළුවට අත තියපු ගමන් බිම වැටෙන්න ඕනෙද? කලින් උගන්නලාද? කලින් සැලසුම් කරලාද? මේ හැම දේම මම දන්නේ නැහැ. හැබැයි මම දැක්ක දේ විතරක් ඔබට කියන්නම්. Sri Lanka Latest News
සුව මෙහෙය පටන් අරගන්නේ මට අවබෝධ වෙච්ච විදිහට සාමාන්‍යයෙන් මේ වගේ මෙහෙයක අවසාන කොටසේදී. ඒ වගේම මේ ස්ථානයේ ඉන්නවා විදේශීය අමුත්තෝ. නැත්නම් පිටරටවලින් ආපු කට්ටිය. ඒගොල්ලො ඉන්නේ ඒගොල්ලන්ගෙ රටේ කොඩි එහෙම අරගෙන. ඒ අය අතරත් ඉන්නවා සුව මෙහෙයට සහභාගි වෙන අය. සමහර අය ඉන්නවා සුව මෙහෙයට සහභාගි වෙන්න නෙමෙයි ඒගොල්ලො ඇවිල්ලා තියෙන්නේ දේවගැති ජෙරොම්ගේ දේශනා සහ දේව මෙහෙයට සහභාගි වෙන්න. නමුත් ඊට වඩා අපි දැක්කා විදෙස් රටවල්වලින් ආපු කීප දෙනෙක් හිටියා. එක්කෙනෙක් මම දැක්කා සරමක් එහෙම ඇඳලා හිටපු විදේශිකයෙක් හිටියා. ඔහු සුදු ජාතිකයෙක්. හොඳටම පේනවා ඔහු වෙන ජාතිකයෙක් කියලා. ඔහු කතා කරන්නේ වෙන භාෂාවකින්. ඒ වගේ රටවල් කීපයකින් ආපු අයත් හඳුනාගන්න පුළුවන් විදිහට හිටියා. ඒ වගේම පිට රට ඉන්න ශ්‍රී ලාංකිකයෝ නම් මගේ දැනුම හැටියට දෙතුන්සීයක පිරිසක් හිටියා. මට හිතන විදිහට 200කට එහා ප්‍රමාණයක් වෙන්න ඇති. ඒක මට ගණන් මිනුම් වශයෙන්ම සඳහන් කරන්න බැහැ. ඒ අය අතර විවිධ රෝගාබාධ සහිත අය හිටියා. සමහර අයට හිසේ කැක්කුම්, සමහර අයට ඇවිදින්න බැහැ. සමහර අය ගෙනැල්ලා තිබ්බේ රෝද පුටුවල. සමහර අය ගෙනැල්ලා තිබ්බේ මෙට්ටෙක දාලා නිදි කරවලා. එහෙම බොහෝ දෙනෙක් හිටියා. මම අර කලින් කිව්වා වගේ ඒ හැම කෙනෙක්ගෙම රෝගය සහ රෝගය සම්බන්ධව කරන්න ඕනේ අධ්‍යයනයන් කරලා කියලයි මට තේරුණේ. සමහර අයව මිරකල් ඩෝම් එකට ඇතුළු වෙන දකුණුපස දොරටුවෙන්ම පරීක්ෂණයට ලක්වෙනවා. ඇවිදින්න බැරි රෝද පුටුවලින් යන විවිධ දැඩි රෝගාබාධ තියෙන අයව. අනිත් අයව හීලින් රූම් එක ඇතුළේ පරීක්ෂාවට ලක් වෙනවා. ඒ කියන්නේ විද්‍යාත්මක පරීක්ෂාවක්. ඒ පරීක්ෂාව සඳහා සහභාගි වෙන්නේ වෛද්‍යවරු. පළපුරුදු වෛද්‍යවරු. මේ සියල්ලෙන් පස්සේ තමයි මේ සුව මෙහෙය පටන් අරගන්නේ.
දේවගැති ජෙරොම් ආමන්ත සමග ඔවුන් ළඟට යනවා. ඔවුන්ගෙන් රෝග ලක්ෂණ, රෝග සහ විවිධ ප්‍රශ්න විමසනවා. ඒ අයගේ හිසට අත තියනවා. එහෙම නැත්නම් ඔහුගේ ලේන්සුව අරගෙන මූණට තියනවා, ඇඟට තියනවා, කකුලට තියෙනවා. ශරීරයේ යම් යම් රෝගාබාධ සහිත ස්ථානවලට ඔහු ස්පර්ශ කරනවා. එතකොට කීපදෙනෙක් අපි කිව්වා වගේ වැටෙනවා. ඒ අයව සිහිමූර්ඡා වෙනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඒ අයව හැකි ඉක්මනින් රෙද්දකින් වහනවා. මොකද එයාගේ ශරීරයේ තියෙන ඇඳුම් ආයිත්තම් එහෙ මෙහෙ වෙන එක නවත්තන්න කියලා තමයි මට එහෙම හිතෙන්නේ.
සුවවීම කියන එක එසැණින් පෙනෙන රෝගීන් මම දැක්කේ නැහැ. රෝද පුටුවල ආපු අය නැගිටලා යන වීඩියෝස් මම දැකලා තිබ්බට ඇත්තටම එහෙම දේවල් හැමදාම සිද්ධ වෙන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා. එදා එහෙම විශේෂ කිසිවක් මම දැක්කේ නැහැ. නමුත් සුවය ගැන කියන්න ආපු අය මට මුණගැහුණා. තමන්ට තිබුණු දැඩි හිසේ කැක්කුමක් සුව නොවුණු තැන මේ ස්ථානයට පැමිණි බවත්, ඒ හිසේ කැක්කුම ඉතාම ඉක්මනින් සුව වූ බවත්, රටේ ඉතාම ප්‍රකට පුද්ගලයෙක්ගේ බිරිඳක් ඇවිල්ලා ප්‍රසිද්ධියේ වීඩියෝ සාක්ෂි ඇතුව සඳහන් කරනවා මම දැක්කා. ඒ වගේම තමන්ගේ රෝගය සුව කරගන්න ආපු අනුරාධපුර පැත්තේ පවුලක් ඒ රෝගය සුවවෙන විදිහ සහ ටිකෙන් ටික අඩු වුණු හැටි තමන්ගේ දරුවා එක්කම ඇවිල්ලා කිව්වා. ඔවුන්ට තවත් ඉදිරි උපස්ථානයන් අවශ්‍ය බව දැනුවත් කළා. ඒ වගේම ඒ පවුලේ අයගේ ගමනාගමන පහසුකම් ගැන, ඒ පවුලේ අයගේ නිවස ගැන බොහෝ දේ දේවගැත ජෙරොම් ඔවුන් ආපසු ගිය පසු කතා කළ බව මට දැනුණා. ඒ වගේම ඔහු ඉල්ලා හිටියා ඒ නිවසට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නිවසට යන්න කියලා. ඒ නිවසේ දරුවාට අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්නට කියලා. විශේෂයෙන්ම දරුවා නිදාගන්න ආකාරය පවා බලන්න කියලා දේවගැති ජෙරොම් පසුව සභාවෙන් ඉල්ලා හිටියා. සභාවේ කෙනෙක් ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා. මම හිතන්නේ එහෙම කෙනෙක් ඉදිරිපත් වුණා. ඒ විදිහට විවිධ පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතුවලට පවා සහාය දැක්වීමක් මට දැනෙන විදිහට එතැනදී සිද්ධ වෙනවා. ඒ වගේම මේ රෝගවලට ලක්වූවන් සුව වෙනවා කියන එක විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ කොහොමද කියලත් මම හොයලා බැලුවා.
එක පැත්තකින් සුව වීම් කියන ඒවා වාර්තා වෙනවා. ඔවුන් ඉන්න රෝද පුටුවෙන් නැගිටිනකොට, අත නමන්න බැරි එක දිග අරිනකොට, පේන්නේ නැති ඇස් පේනකොට, ඒ මොහොතේ, ඒ වෙලාවේ සුවවීම් හඳුනාගන්නවා. මේ සුවවීම් විශේෂයෙන්ම කීපයක් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම වාර්තා වුණු බවට සාක්ෂි තියෙනවා. නමුත් සුවවීම් හඳුනාගැනීම ගැන මම වෛද්‍යවරුන්ගෙන් විමසා සිටියා. මොකද ඒකට හේතුව, සමහර රෝග තියෙනවා එහෙම සුව වෙන්නේ නැහැ. එතකොට වෛද්‍යවරු දුන්නු පිළිතුර තමයි, අපි මේ ස්ථානයේදී කරන පරීක්ෂණය නැවත වතාවක් කරනවා. උදාහරණයක් විදිහට ශරීරයේ රුධිරගත සීනි මට්ටම පහළ බහින්නෙම නැති කෙනෙක් එනවා නම්, දේවගැතිවරයාගේ උපස්ථානයෙන් පස්සෙ ඊළඟ වතාවේ ඔහුගේ සීනි මට්ටම පරීක්ෂා කරනවා. බොහෝ වෙලාවට ආශ්චර්යවත් විදිහට ඒවා අඩුවෙලා තියෙනවා. ඉතින් මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවේ, ඔබ වෛද්‍යවරු විදිහට මේ විදිහේ පරීක්ෂණ වාර්තා ගැන ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? ඔවුන් කියනවා ඇත්තටම මේක ආශ්චර්යයක් කියලා. ඒ වගේ දේවල් සිද්ධ විය හැකිද කියලා මම ඔවුන්ගෙන් ඇහුවාම ඔවුන් කියන්නේ විද්‍යාවට හසු කරගත නොහැකි, විශ්වාස කළ නොහැකි බොහෝ දේ සිද්ධ වෙනවා කියලා. මම ඔවුන්ගෙන් ඇහුවා, ඇයි ඔබ මේ දේව මෙහෙය, සුව මෙහෙය මේ ස්ථානයේ කරන්නේ? ඔබට පුළුවන්නේ පිළිකා රෝහලකට ගිහිල්ලා මේ සුව මෙහෙය කරන්න. ඔබට පුළුවන්නේ රෝහලකට ගිහිල්ලා ප්‍රසිද්ධියේ මේ සුව මෙහෙය කරන්න. රෝහල් වහලා දාන්න. හැබැයි ඔවුන් ඒකට දුන්නු උත්තරය මම දන්නේ නැහැ සාධාරණද කියලා. ඔවුන් කියන්නේ මේක පාරේ ඉන්න මිනිස්සු ගාවට ගිහිල්ලා කළාට මිනිස්සු හොඳවෙන තැනක් නෙමෙයි. මෙතැනට එන කෙනාගේ වුවමනාව, කැමැත්ත සහ විශ්වාසය සහ ඇදහිල්ල ගොඩනැගෙන්න ඕනේ. වුවමනාව, කැමැත්ත සහ විශ්වාසය නැතුව මිනිස්සුන්ව බලහත්කාරයෙන් සුව මෙහෙයවල්වලට සහභාගි කරවා ගන්න බැහැ. මිනිස්සුන්ව බලහත්කාරයෙන් සුව කරන්න බැහැ. ආගම, ජාතිය, කුලය වැදගත් නැහැ. නමුත් විශ්වාසය වැදගත්. යේසුස් වහන්සේ කුරුසියේදී නිමාකළ කාර්ය ගැන ඇදහිල්ලක් ඇතිවෙන්න ඕනෙ. සුවකිරීමට පෙර දේව වචනයේ දේශනාවට ඔවුන් යොමුකරවන්නේ ඒ නිසයි කියලා
ඔවුන් කියනවා, මේ ස්ථානයට බෞද්ධයෝ එනවා, කතෝලිකයෝ එනවා, හින්දූන් එනවා. ඉස්ලාම් අය එනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝටම අපි උපස්ථාන කරනවා. අපි කාටවත් කියන්නේ නැහැ ආගම මාරුකරන්න කියලා. අපි කාටවත් කියන්නේ නැහැ අපේ ආගමට එන්න කියලා. අපි ඔවුන්ව සුව කරනවා. හැබැයි ඔවුන්ට තියෙන්න ඕනේ ඇදහිල්ලක් දෙවියන් වහන්සේ කෙරෙහි සහ දේවගැතිවරයා කෙරෙහි. එහෙම නැතිව සුව වෙන්නේ නෑ කියලයි ඔවුන් මට කිව්වේ. දේවගැතිවරයා මම අහගෙන එක තැනකදී කියනවා, දෙවියන් වහන්සේ බෞද්ධයන්ට හරි ආදරෙයි කියලා. මම දන්නේ නැහැ මේවා ඇතුළේ තියෙන යටි අරමුණු මොනවාද කියලා. මම දන්නේ නැහැ මේවා ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොනවාද කියලා. මම දන්නේ නැහැ මේ සුවවීම් සත්‍යද, අසත්‍යද කියලා. මම හිතන විදිහට, මට පෙනෙන විදිහට මම බොහෝ දේ ඔබට කියන්නේ. සමහර ඒවා පිටපතකට අනුව සූදානම් කරපු දේවල්ද කියලා බොහෝ විට තර්කයක් තියෙනවා. මට එක දෙයක් විතරක් කියන්න පුළුවන්. මේවා පිටපතක් විදිහට සූදානම් කරපු, කලින් පුරුදු පුහුණු කරවපු පුද්ගලයන් සමග කරනවා නම්, මේ වැඩේ තව අවුරුද්දක්වත් කරගෙන යන්න බැහැ. ඒකට හේතුව, මේ තරම් පිරිසක් පුහුණු කරලා, පුරුදු කරලා, මේ තරම් පිරිසකට උගන්නලා, සල්ලි කීයක් හරි දීලා, මෙතැනට ගෙනල්ලා සුවවෙන බව පෙන්වා සිටියා නම්, වැටෙන්න කියලා උගන්නලා ගෙනල්ලා වැට්ටුවා නම්, ඒ මිනිස්සු තව මාස හය හතක් යනකොට අහල පහළ අයත් එක්ක, මඟුල් ගෙදරදී, පාටියේදී, දානෙ ගෙදරදී, අඩියක් ගැහුවාම, අනිවාර්යයෙන්ම කියාවි, මට දේවගැති ජෙරොම්ගේ කණ්ඩායම විසින් සල්ලි දීලා මෙන්න මෙහෙම කරන්න කිව්වා කියලා. ඒ නිසා මේ සෙල්ලම වැඩි කාලයක් කරන්න බැහැ. මාධ්‍යයට මේක ගියේ ළඟදි වුණාට ජෙරොම් මේක අවුරුදු 30ක් විතර තිස්සේ කරගෙන ඇවිල්ල තියෙනව. නමුත් එහෙම නැත්නම් මේක සෑහෙන කාලයක් පවතියි. කතන්දරය ඔච්චරයි මේ සතියට කියන්න තියෙන්නේ සුව මෙහෙය ගැන අපි දැකපු දේවල්.
මේ ගමන තව සතියකින් හමාරකින් කෙළවර වෙනවා. ඔබට තියෙන්නේ මම කියන දේවල් විශ්වාස නොකර ගිහිල්ලා බලන්න. ඔවුත් කියනවානේ ඇවිත් බලන්න කියලා. ඔබට ඕනේ නම් කතාකරලා බලන්න පුළුවන්. ඔබට ඕනෙ නම් ඔවුන් එක්ක ප්‍රශ්න විසඳගන්න. මම මේ කිසි දේකට වගකියන්නේ නැහැ. නමුත් මම කියන්නේ දකින දේ. මම මේ යන්නේ දෙවියන් සොයා යන ගමනක්. දෙවියෝ ඉන්නේ මිරකල් ඩෝම් එකේද? දෙයියෝ ඉන්නේ කච්චතිව් පල්ලියෙද? දෙවියෝ ඉන්නේ කතරගමද? දෙවියෝ ඉන්නේ කැබිලිත්තේද? දෙවියෝ ඉන්නේ බත්තලංගුන්ඩුවෙද? දෙවියෝ ඉන්නේ පන්සලේද? පල්ලියෙද? කෝවිලේද? කොහෙද කියලා මම දන්නේ නැහැ. මම මෙතැන් සිට මේ ගමන දිගින් දිගටම යනවා. බොහෝ තැන් හොයා යනවා. බොහෝ දේ සොයා යනවා. බොහෝ දේ මුණගැසේවි. බොහෝ දේ මුණනොගැසේවි. මුණගැසෙන දේ ඔබට මම කියන්නම්. ඔබට ඕනෙ නම් දුරකතන අංක දෙන්නම්. ඔවුන්ව සම්බන්ධ කරගත හැකි හැම ක්‍රමයක්ම මම හොයලා දෙන්නම්. ඔබ කැමැති නම් යන්න, අකැමැති නම් නොයන්න. මේ මම කරන්නේ මගේ රාජකාරිය. මමවත් අපේ පත්තරේවත් ආර්ථික හෝ වෙනත් වාසියකට කරන දෙයක් නෙවෙයි. හැබැයි තරගයක් ටී.වී. එකේ නරඹලා වාර්තා කරන් නැතිව පිට්‍ටනියට ගිහිං මැච් එක බලල වාර්තා කරන එක අපේ මාධ්‍ය ප්‍රතිපත්තිය. ඔන්න එහෙනම් එයාලගෙ අංකය 011 777 4877

ජීවන පහන් තිළිණ










