ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, අත්අඩංගුවට ගෙන ගෙන මාස නමයකට ආසන්න කාලයක් රැදවුම් භාරයේ තබාගෙන සිටි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල් නමැති 21 වියැති තරුණයා, ඇප මත මුදා හැරීමට අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. Sri Lanka Latest News
දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 23 වන දා ය. ඒ, ඔහු, “ජාතික හැදුනුම්පතක් නොමැතිව” මෙරට ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය ඉදිරියේ සිටිය දී ය.
අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව, අත්අඩංගුවට ගත් දිනට පසු දින ඔහු මුදා හැරීමට දෙහිවල පොලිසිය කටයුතු කර තිබුණි.
නමුත්, ඉන් දින දෙකකට පමණ පසු දෙහිවල පොලිසිය නැවත ඔහු කැදවා තිබුණු අතර, එම අවස්ථාවේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම සිදු විය. එම අත්අඩංගුවට ගැනීම සදහා හේතු වී තිබුණේ, ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ බෙදා හැර තිබුණු වීඩියෝවකි. එම වීඩියෝව තුළ ඊශ්‍රායලට එරෙහි අඩංගුවක් තිබුණු බව වාර්තා වේ.
මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහේල්, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගුවන් සේවා ශිෂ්‍යයෙකි.
මෙම තරුණයා කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැති බව දෙහිවල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.










