ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.Sri Lanka Latest News
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත් තමන් මෙම කමිටු වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවය.
එමෙන්ම මෙම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇතැයි හෙළිව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
තවද මන්ත්‍රීවරයා පැවසුවේ මෙම රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවද ස්කෑන් පරීක්ෂාවන් සිදුකරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු බවට සටහනක් යොදා තිබුණද කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇතැයි මෙම කමිටු වාර්තාවෙන් හෙළි ව ඇති බවය.
තවද ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කරන ලද්දේ බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත් එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනි දින බහාලුම් 02ක් ද නිදහස් කර ඇති බවය.










