ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇතිවී තිබෙන විකෘති ක්‍රමවේදයන් වෙනස් කිරීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ කුරුණෑගල පල්ලේමුල්ල මොරතිහ ගම්මානයේ ඊයේ පස්වරුවේ (21) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජන හමුවක් අමතමිනි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා –
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයෝ 18 දෙනෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි හිතුවා අපේ අපේක්ෂකයින්ගේ ගෙවල්වලට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඒ අනුව තමයි මේ දින කිහිපය ජන රැලි සංවිධානය වුණේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පත්වෙන අයට ආසනේ පිළිබඳවත්, ප්‍රදේශය පිළිබඳවත්, රට ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. අපි අපේක්ෂකයෝ විදිහට තෝරා ගත්තේ එවැනි පිරිසක්. පාර්ලිමේන්තුවට ගියාම තමන්ගේ ගමේ ප්‍රශ්න විතරක් නෙමෙයි පළාතේ කලාපයේ ප්‍රශ්න තමන්ගේ රටේ ප්‍රශ්න විතරක් නෙවෙයි ලෝකෙ තියෙන ප්‍රශ්න ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හොඳ අවබෝධයක් ඇති අයයි අපේක්ෂකයෝ විදිහට අපි පත් කරලා තියෙන්නේ. අපිට ශක්තිමත් පිරිසක් සිටින්නේග අපේ පක්ෂය කැඩිලා නැහැ. අපි පක්ෂ රැසක් එකතු වෙලා කණ්ඩායමක් විදියට පෙරමුණක් විදිහට මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ වෙලා. එක පිලක් සජිත් ප්‍රේමදාසට අනෙක් පිල රනිල් වික්‍රමසිංහට. පිල්වශයෙන් දෙකට බෙදිලා. අද රූපවාහිනී බැලුවොත් දකින්න ලැබෙන්නේ ඒ දෙගොල්ලෝ ගහ ගන්නවා විතරයි. එකිනෙකාට මඩ ගහ ගැනීම හැර දේශපාලන වැඩපිළිවෙළක් ගැන කතා කරන්නේ නැහැ. සමහරු තමන්ගේ පරාජයන් ගැන කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි තරඟ වැදුණේ. එතුමා වැඩි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් ගත්තා. එදා ඉඳලා හැමදාම තරඟ කරන කොට එන්න එන්න ඡන්ද ප්‍රමාණය එන්න එන්න අඩු වුනා. අවසානයේ අන්තිමට පැරදුනා. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව පරාද වුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එතුමා ගැන පළාතේ ගමේ රටේ තියන හැඟීමයි. ඒ නිසා තමයි එතුමා මේ පාර කොළඹට ආවේ. මට දවසක් එතුමා හමුවුන වෙලාවේ මම කිව්වා ආසනය දාලා යන්න එපා කියලා. ආසනේ දාල ගියොත් ඉදිරියට යන්න ටිකක් අමාරු වෙනවා. ඒ ගැන අවධානයක් යොමු කරන්නැතුව කොළඹට ආවා.
දැන් එක්සත් ජාතික පක්ෂය කැඩිලා වෙනම දේශපාලන පක්ෂයක් හදලා. වෙනම තරඟ වදිනවා. අපේ පොහොට්ටුවේ ජයග්‍රහණය තුනෙන් දෙකක බලයක් දිනා ගැනීම අපේ අපේක්ෂාවයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුනොත් තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇතිවෙලා තියන විකෘති ක්‍රමවේදයන් වෙනස් කරන්න නං තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා.
හරියට වැඩ කරොත් අපිට කුරුණෑගලින් ආසන 12 ක් දිනා ගන්න එක අසීරු නැහැ. අපි හදපු සම්පත් විකුණලා දැම්මා. වරාය පිට රටට විකුණලා දැම්මා. ගුවන් තොටුපොළ විකුණ ගන්න වෙලාවක් ලැබුණෙ නැහැ. කොළඹ වරාය විකුණගන්න ගිවිසුම් ගහලා අත්සන් කරලා ඉවරයි.
මේ තත්ත්වය තමයි රට පුරාම තියෙන්නෙ. යම් යම් රටවල් වලට ඉඩකඩම් කෘෂිකාර්මික කටයුතුවලට කියලා දෙන්න සූදානම් කරලා තියෙනවා. මේවා මේ රටේ ජනතාවගේ ඉඩම්. ඔබේ දරුවාගේ අනාගතය ඉපදෙන්න ඉන්න දරුවාගේ දේපල තමයි මේ අය අන් සතු කරලා තියෙන්නේ. මේවා අපේ රටේ ජනතාවට අයිතියි. මේවා අපේ රටේ ජනතාවගේ දරුවන්ට ඉතුරු වෙන්න ඕනේ. යූ එන් පී ආණ්ඩුව මේ දේවල් පිටරැටියන්ට විකුණනවා. අපේ ආණ්ඩුව අපේ දරුවන් වෙනුවෙන් ඉතුරු කරනවා.
ඊයේ මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කළා. අධිවේගී මාර්ගයේ ප්‍රගතිය ඉතාම දුර්වලයි. ජූලි මාසේ වෙනකොට ජනතා අයිතියට පත් කරන්න තිබුණු අධිවේගී මාර්ගයක්. අඩුම තරමේ නොවැම්බර් මාසේවත් මේ අධිවේගී මාර්ගය ජනතා සතු කළ යුතුයි.
රටක සංවර්ධනය ඇති වෙන්නේ රටේ ප්‍රදේශ සමීප කළාමයි. සියයට හතළිස් පහකට විතර ජලය ලබා දුන්නා. විදුලිය 99්‍ර ක් ලබා දුන්නා. ඒ වගේම බීමට සුදුසු පිරිසිදු නල ජලය සියට සීයක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා. වකුගඩු රෝගයෙන් මිදෙන්න පිරිසිදු ජලය අවශ්‍යයි. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක පක්ෂයක විය යුතුයි. රටේ සංවර්ධනයට එය වැදගත් වෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සහ පළාත් පාලන නියෝජිතයින්ද සහභාගි වූහ.










