ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසයි.Sri Lanka Latest News
ඒ අදාළ ගුවන් අනතුරට හේතුව අත්වැරදීමක් බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉකුත් ඉරිදා ප්‍රකාශයක් කළ පසුබිමකය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩා වැටුණේ පසුගිය මාර්තු 21 වනදාය.
අනතුරට හේතුවූ කරුණු සෙවීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සත් පුද්ගල කමිටුවක් පත්කෙරුණි.
මෙවන් පසුබිමක පසුගිය ඉරිදා අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් පුහුණු ජෙට් යානය කඩාවැටීමට හේතුවී ඇති බව තහවුරු වූ බවය.
කෙසේවෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා අද (25) ප්‍රකාශ කළේ අනතුරට හේතුව සෙවීම සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැති බවය.
ඒ අනුව ගුවන් අනතුරට හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේ.










