හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදී මෙහ්දි හසන් පැවැත්වූ ‘හෙඩ් ටු හෙඩ්’ සම්මුඛ සාකච්ඡාව පසුගිය 06 වැනිදා විකාශය කෙරුණා. මේ සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතාගෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් නීති විරෝධී ලෙස රඳවාගනිමින් වධ හිංසා පමුණුවා මරාදැමුණු බව පැවැසෙන බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. බටලන්ද කොමිෂන් වාර්තාව උපුටා දක්වමින් අල් ජසීරා මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ එම වධකාගාරයේ සැලසුම්කරු රනිල් වික්‍රමසිංහ මහතා බවයි. හිටපු ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දැක්වූ ප්‍රතිචාරයයි මේ. Sri Lanka Latest News
මාධ්‍යවේදී මෙහ්දි හසන්
වික්‍රමසිංහ මහත්මයා, ඔබ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂව විමර්ශනයට ලක් කළේ නැහැ. සමහරු කියනවා යුද්ධය ආරම්භ වූ මුල් කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ නැගීසිටීමත් සමග සිදුවූ ඇතැම් කරුණු පිළිබඳව ඔබත් විමර්ශනයට ලක් වෙන්න ඕනේ කියලා? වර්තමාන නායකයා, ජනාධිපතිවරයා 1980 දශකයේ මුල් භාගයේ පත්කරපු කොමිෂන් සභාවකින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් නිවාස සංකීර්ණයක් ඇතුළේ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන වධ හිංසා පමුණුවා මරාදැමීම සම්බන්ධයෙන් සැලසුම්කරු ඔබ කියලා. ඔබ එහි රැඳී සිටිමින් කටයුතු කළ බව කියනවා. ඔබ මොකද වුණේ කියලා දන්නේ නැද්ද? ඔබේ සම්බන්ධයක් නැද්ද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කොහෙද වාර්තාව තියෙන්නේ?
මාධ්‍යවේදී මෙහ්දි හසන්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව විදියට මේකේ සඳහන් වෙන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කොහෙද වාර්තාව? පෙන්නන්න වාර්තාව?
මාධ්‍යවේදී මෙහ්දි හසන්
මම වාර්තාව තමයි කිව්වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
කවුද වාර්තාව කියවලා තියෙන්නේ?
මාධ්‍යවේදී මෙහ්දි හසන්
ඉතා පැහැදිලියි මේ තියෙන මූලාශ්‍රවලට අනුව බටලන්ද නිවාස සංකීර්ණයේ සැලසුම්කරු එවක කර්මාන්ත ඇමැති රනිල් වික්‍රමසිංහ බව.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මම ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මම ඔබට කියන්නේ ඒ කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වන්න. කෝ? කොහෙද ඒ වාර්තාව? ඒක සභාගත කළාද?
මාධ්‍යවේදී මෙහ්දි හසන්
ගොඩක් සාක්ෂි තියෙනවා කොමිෂන් වාර්තාව ගැන.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සාක්ෂි නෙවෙයි මෙතැන වාර්තාවක් තියෙනවා.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
බටලන්ද කොමිෂන් වාර්තාව.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ඒක සභාගත කළේ නෑ.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
ඒ වාර්තාවේ ප්‍රධාන සාක්ෂිකාරයෙක් ගැන කියැවෙනවා. මේ කඳවුර භාරව හිටපු ඔබගේ විශ්වාසවන්ත සේවකයෙක්. ඔහු සාක්ෂි දීලා තියෙනවා. මේ වධකාගාරය තුළ තිබුණු රැස්වීම්වලදී ඔබ ප්‍රධානත්වය ඉසිලුවා කියලා. ඔහු අවුරුදු 36දී මැරෙනවා. ඔබ කොමිසමට ගිහින් සාක්ෂි දෙන්න දවසකට කලින්. ඔහු වින්සන්ට් ප්‍රනාන්දු. ඔහුගේ සාක්ෂියේ කියනවා. මම උපුටා ගන්නවා. ඔබ නියෝග දීලා තියෙනවා විනාශ කරන්න කියලා. ඒක තමයි සාක්ෂිය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ඔහු කවදාවත් සාක්ෂි දීලා නෑ.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
නැහැ එයා සාක්ෂි දීලා තියෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
නැහැ, වාර්තාවක් එළියට දාලා තියෙනවා. මට විරුද්ධව මොනවත් අනාවරණ වෙලා නෑ. ඒක හමුදා කඳවුරක්. පරණ නිවාස සංකීර්ණයක. මේකට අදාළව කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ. කිසිම දෙයක් මට විරුද්ධව තහවුරු වෙලා නෑ.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
වින්සන්ට් කියනවා වික්‍රමසිංහ මහතාට මේ සැකකාරයෝ විනාශ කරන්න වුවමනාව තිබුණා කියලා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මම ඔය වෙලාවේ හිටියේ විපක්ෂයේ. මම විපක්ෂයේ අවුරුදු 10ක් හිටියා. බලන්න කිසිම වාර්තාවක් නෑ. ඔබ මේ වාර්තාවක් උපුටා දක්වනවා.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
ඔබ ඒ කාලේ කර්මාන්ත ඇමැති?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වාර්තාවක් නැහැ.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
නැහැ, වාර්තාවක් තියෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වාර්තාවක් නැත.
මාධ්‍යවේදී මෙහ්දි හසන්
මෙතැන ඉන්නවා බීබීසී එකේ හිටපු වාර්තාකාරිනී ෆ්‍රාන්සස් හැරිසන්. ෆ්‍රාන්සස් ඔබ මොනවද බටලන්ද ගැන අහලා තියෙන්නේ? මොකක්ද මේ බටලන්දට අදාළව සහ සිවිල් යුද්ධයේදී වගවීමක් තිබුණේ නැති එක ගැන ඔබේ දැක්ම මොකක්ද?
ෆ්‍රාන්සස් හැරිසන්
මම මවිතයට පත්වෙනවා. මගේ අතේ මේ වාර්තාවේ පිටපතක් තියෙනවා. මේක මේ රජයේ නියෝග මත මුද්‍රණය කරපු එකක්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ඕක පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ.
කෑලි කපලා! හොඳ ඒවා දාලා නෑ – රනිල්
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 07 වැනිදා පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළවේ.
‘ඇත්ත වශයෙන්ම අපේ වාගේ නෙවෙයි. අපේ සජීව අරගෙන එවේලෙම සියල්ල දානවා. හොඳයි නරකයි ඔක්කොම තියෙනවා. මේක පැය දෙකක් විතර අරගෙන, පැයයි දාලා තියෙන්නේ. සමහර හොඳ ඒවා තිබුණා දාලා නෑ. ඒ ගැන මට කරන්න දෙයක් නෑ. ඒ ඔක්කොම දැම්මා නම් මීට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. දෙවැනුව මම ගිය අවස්ථාවේදී මට දුන්න නම් තුනෙන් එකක් තමයි අම්බිකා සත්කුලනාදන් මැතිනිය. ඒ ගැන මම හුඟක් සතුටු වුණා. අපි දෙන්නගේ එක අදහසක් නෑ. ඒත් එතුමිය එයි කියලා මම බලාපොරොත්තු වුණා. එතුමිය හිටියේ නෑ. අන්තිමට දුන්නේ තව කාන්තාවක්. රාසරත්නම් මැතිනිය. මට කිව්වේ නෑ රාසරත්නම් මැතිනියගේ ස්වාමිපුරුෂයා ඇන්ටන් බාලසිංහම්ට උපදෙස් දුන්න පුද්ගලයෙක් කියලා. මම කියන මේ දේ වැරැදි නම් රාසරත්නම් මැතිනියට කියන්න පුළුවන්. එහෙනම් එල්.ටී.ටී.ඊ. එකේ හිටපු දෙන්නෙක් දාලා තිබුණා. එක්කෙනෙක් නෙවෙයි. ෆ්‍රාන්සස් හැරිසන් හිටියා. ඒ වගේම රාසරත්නම් මැතිනිය දාලා තිබුණේ නෑ. ඒ වගේම තව කරුණු ගණනාවක් තිබුණා. ඒවා මම මෙතැන කියන්නේ නෑ. දැන් වැඩක් නෑ. මම කිව්වා මේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. අපි ගන්නේ ප්‍රධානියා මල්වත්තේ මහානායක ස්වාමින්වහන්සේ. අනිත් ආගමික නායකයන්, කාදිනල්තුමා වෙන්න පුළුවන්, බිෂොප්වරු වෙන්න පුළුවන් ඉන්නේ උන්වහන්සේ යටතේ. මොකක් හරි හේතුවකට ඒක කියලා නෑ…’
BBC හිටපු මාධ්‍යවේදිනිය බටලන්ද වාර්තාව එළියට දමයි
මේ අතර, අල් ජසීරා රූපවාහිනී සංවාදයේදී බීබීසී පුවත් සේවයේ හිටපු මාධ්‍යවේදිනියක වන ෆ්‍රාන්සස් හැරිසන් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය ඞ සටහනක් තබා තිබෙනවා. අදාළ සංවාදයේදී අල් ජසීරා මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළ අතර, එවිට ෆ්‍රාන්සස් හැරිසන් විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදාහරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.
බටලන්ද වාර්තාව යනු කුමක්ද…?
1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයට පත්වෙන්නේ අවුරුදු 17ක් පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කරමින්. 88-90 කාලසීමාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ අතුරුදන්වීම්වලට සාධාරණය ඉටුකරන බවට ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ පොරොන්දුවක් වුණා. 94දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1995 සැප්තැම්බර් 21 වැනිදා නිකුත් කළ නියෝගයකින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළා. ඒ, සුප්‍රකට බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවයි. රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයිතිව තිබූ බියගම බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නිවාස තුළ නීති විරෝධී ලෙස තරුණයන් රඳවාගෙන වධ හිංසා කර මරාදැමීම හෝ අතුරුදන් කිරීම පිළිබඳ සොයාබලා වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන නිර්දේශ වාර්තා කිරීම කොමිසමට පැවරුණු වගකීම වුණා. එවක අභියාචනාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම මහතා සභාපති ධුරය දැරූ මෙම කොමිසමේ අනෙක් සාමාජිකයා වූයේ මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක මහතායි. විමර්ශනයට සහාය වීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද අනුයුක්ත කළ අතර, සාක්ෂි මෙහෙයවූයේ නීතිපති දෙපාර්තමේන්තුවයි.
වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, එවක රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ සහ වත්මන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා පත්කළා. කොමිසම අවස්ථා 12කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු 26 වැනිදා සිය වාර්තාව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බාරදුන්නා.
බටලන්ද කොමිසම හා රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධය
රනිල් වික්‍රමසිංහ මහතා එවක කර්මාන්ත ඇමැතිවරයා. බටලන්ද නිවාස සංකීර්ණය එවක අයත්ව තිබුණේ කර්මාන්ත අමාත්‍යාංශයටයි. කොමිසමේ සාක්ෂිවලින් හෙළිවූ කරුණු අනුව ඒ දෙක ඒ 2/2, ඒ 2/1, ඒ 2/3, ඒ 1/7, බී 2, බී 1, බී 7 යන නිවාස භාවිත කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතායි. එවක පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ ඩග්ලස් පීරිස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමකට මේ නිවාස සංකීර්ණයේ නිවාස ලබාදී තිබූ බවත් කොමිෂන් වාර්තාවෙන් අනාවරණ කර තිබුණා. කැලණිය කඩාකප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ නිලධාරීන්ටද ඒ තුළ වෙන්කර තිබූ නිවාස ගණන 13ක්.
බටලන්ද කොමිෂන් වාර්තාවේ දැක්වුණේ එක් නිවසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයක් ලෙසද පරිහරණය කර තිබූ බවයි. අනෙක් නිවාස ලබාදීමේදී වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ නියෝග ක්‍රියාත්මක කර තිබූ බවත් වාර්තාවෙන් හෙළිවුණා.’
‘බටලන්ද කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ මහතාද කැඳවා කරුණු විමසීමට මේ කොමිසම පියවර ගත්තා. අවුරුදු 3කට ආසන්න කාලයක් සාක්ෂි විමසා සකස් කළ බටලන්ද කොමිෂන් වාර්තාව අවසානයේ කරුණු කිහිපයක් නිර්දේශ කළා. ඉන් ප්‍රධාන නිර්දේශය වූයේ මෙම වධකාගාර සිද්ධියට සමාජ මහජන නියෝජිතයන් හා පොලිස් නිලධාරීන් මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බැවින් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට අවශ්‍ය අතිරේක බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලෙසයි. විධායකය නියෝජනය කළ පුද්ගලයා දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි බියක් නොමැතිව පිට පිටම නීතිය උල්ලංඝනය කර ඇති බවද කොමිෂන් වාර්තාවේ නිර්දේශවල දැක්වුණා.
බටලන්ද වාර්තාවට මොකද වුණේ…?
වාර්තාව එවක ජනාධිපතිනියට බාරදුන්නත් එහි නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ පිළිබඳ එවක මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ එවක රජයේ ප්‍රබලයකු වූ මංගල සමරවීර මහතා දැක්වූ ප්‍රතිචාරය මේ.
‘ඒ වාර්තාව එතුමිය අදත් ඉදිරිපත් කරන්න ප්‍රතික්ෂේප කරන්නේ, එතුමිය කියන්නේ මම කැමැති නෑ මගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා, එහෙම නැත්නම් මේ රටේ විපක්ෂ නායකවරයාට එදා එක්සත් ජාතික පක්ෂය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කරපු දේ කරනවා කියන චෝදනාව අහන්න අකැමැති නිසා, විශේෂයෙන්ම එතුමියගේ මැතිවරණය අවසන් වන තෙක් මෙය ඉදිරිපත් කරන්නේ නැහැ කියන තීරණයේ තමයි එතුමිය ඉන්නේ. ඒ මැතිවරණයෙන් පස්සේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මේ සම්පූර්ණ වාර්තාව රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ජනතාධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා….’
‘මැතිවරණ ව්‍යාපාරවලට බටලන්ද කොමිෂන් වාර්තාව මාතෘකාවක් වුණත් තවමත් එය යුක්තිය ඉටුකිරීම උදෙසා ඉදිරිපත්ව නැහැ.’
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති කතාබහත් සමග විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ අදහස් දැක්වීමට මාධ්‍ය හමු කැඳවා තිබුණා. මේ, ජාතික ජනතා පක්ෂය පසුගිය 10 වැනිදා කැඳවූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා දැක්වූ අදහස්.
වහාම පියවර ගන්න – මංජු නිශ්ශංක
‘බටලන්ද වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා නම් දැන් ඒක පාර්ලිමේන්තුවට සභාගත කරලා විමර්ශනයක් කරලා අනිවාර්යෙන්ම වින්දිතයන්ට සහ චූදිතයන්ට අවශ්‍ය පියවර ගත යුතුයි. මේ පරණ කුණු තියෙන දේශපාලනඥයන් තවදුරටත් අපේ දේශපාලන පක්ෂ ඇතුළේ කරගහගෙන යෑම තුළින් සිදුවෙන්නේ රට ඇතුළෙත් රටෙන් එළියෙත් අපිව හෑල්ලුවට ලක්වීම. අපි අලුතෙන් දේශපාලන සංස්කෘතියක් හදාගෙන, රටක් විදියට ඔළුව උස්සන්න උත්සාහ කරනකොට මෙවැනි පුද්ගලයන් නම් තාමත් ඒ දේශපාලන පක්ෂවල ඉන්නේ, ඔවුන්ව නැවත නැවත වතාවක් ප්‍රශ්න කිරීම්වලට ලක්වෙනවා. නමුත් මේ වගේ පුද්ගලයන්ව තවදුරටත් මේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ සංතර්පනය කරන්න එපා…’
බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පළකළේ මෙවැනි අදහසක්.
ප්‍රජා අයිතිය අහෝසියට එහා ගිය දඬුවමක් දෙන්න – ලැසිල් ද සිල්වා
‘කොමිසමට ඉදිරිපත් වෙලා තියෙන තොරතුරු අනුව තුවාලවල පණුවන් පවා ඉඳලා තියෙනවා. අන්තිමට කොමිසමට යනකොට. එවැනි රටක සමහර රැඳවියන් එළියට ගෙනිච්චා, ආවේ නෑ. මේ සේරම වුණේ රටේ නීතියක් තියෙද්දී. අත්‍යාවශ්‍යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා නියෝගයක් තිබුණා. නමුත් ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමටත් වඩා බරපතළ දඬුවමක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනේ. මට ඒක කියන්න බෑ. අධිකරණය ඒක තීන්දු කරන්න ඕනේ. මොකද හේතුව, දහස් ගානක් මැරුවා. ඔවුන්ට අවශ්‍යතාවක් තිබුණා මේගොල්ලන්ට බලය ගෙනියන්න…’
‘පීපල්ස් ටුමාරෝ’ සංවිධානයද මාධ්‍ය හමුවක් කැඳවමින් බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ අදහස් පළ කළා. එම සංවිධානයේ සභාපති අමිල එගොඩමහවත්ත මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
අපරාධ නඩු පවරන්න – අමිල එගොඩමහවත්ත
‘බටලන්දේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ රනිල් වික්‍රමසිංහ ලැජ්ජා නැතුව ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ බොරු කියනවා. අපි දැන් කියනවා දැන් ඒවායේ නිර්දේශ තියෙනවා. ඒවායේ සාක්ෂි තියෙනවා. ඒවා මත කටයුතු කරන්න ඕනේ. හරි නම් ඒවායෙන් මේ අය වැරැදිකරුවෝ වෙනවා නම් මේ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන තැන දක්වා මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේවා අපරාධ නීතිය යටතේ ඔවුන් වගකිව යුතු නම්, ඔවුන්ව බන්ධනාගාරගත කරන මට්ටමට මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ.’
‘පීපල්ස් ටුමාරෝ’ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මනෝජ් නානායක්කාර මහතා දැක්වූ අදහස්.
බටලන්ද විතරක් නෙවෙයි රනිල්ගේ සියලු වාර්තා ගේන්න – මනෝජ් නානායක්කාර
‘බටලන්ද ගැන කියනකොට රනිල් වික්‍රමසිංහට ඉතින් ගැරඬියට භූමිතෙල් ගැහුවා වගේ. අපි තේරුම් ගන්න ඕනේ මොන දේ මොන විදියට බලය පාවිච්චි කරලා වැහුවත්, බලය තමන්ට රිසි සේ යොදාගෙන දුබලයා ඝාතනය, ප්‍රබලයා විසින් යටපත් කරන්න උත්සාහ කළාට ඔය හැමෝගෙම හෘදසාක්ෂිය කතාකරන මොහොතක් තියෙනවා. අපි මේ ආණ්ඩුටවට පැහැදිලිව කියනවා, විෂයභාර අමාත්‍යවරයා මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන බටලන්ද පමණක් නොවෙයි, රනිල් වික්‍රමසිංහ වගේ අය සම්බන්ධයෙන් තියෙන සියලු කොමිෂන් සභා වාර්තා නැවත සමාලෝචනයකට ලක්කරන්න. සමහර චරිත තියෙනවා දේශපාලනයෙන් අතුගාලා දාන්න අවශ්‍යයි. මේ සියල්ල ගැන පැහැදිලිව පරීක්ෂා කළ යුතුයි….’
සියලු ඝාතන ගැන සාධාරණය ඉටුකරන්න – කුමාර් ගුණරත්නම්
‘මේක බටලන්ද වධකාගාරය සම්බන්ධ ප්‍රශ්නයකුත් නෙවෙයි. බටලන්ද වැනි වධකාගාර රට පුරාම ක්‍රියාත්මක වෙච්ච වකවානුවක්. සපුගස්කන්දේ සමහර ස්ථාන තිබුණා, සුගතදාස ක්‍රීඩාංගණය මේකට පාවිච්චි කළා. කොළඹ විශ්වවිද්‍යාලය මේ සඳහා පාවිච්චි කළා. රට පුරාම තියෙන රජයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ සඳහා පාවිච්චි කළා. සමහර හමුදා කඳවුරු, පොලිස් ස්ථාන මේ සඳහා පාවිච්චි කළා. රනිල් අල් ජසීරා සමග කළ සාකච්ඡාව හරහා මතුවෙන්නේ මේ ක්‍රියාවලිය. මෙන්න මේකයි අපි හෙළිදරව් කරගන්න ඕනේ. ජනතාවට යුක්තිය අවශ්‍ය නම් ජනතාවට සාධාරණය අවශ්‍ය නම්, වින්දිතයන්ට සාධාරණය අවශ්‍ය නම්, තාමත් අතුරුදන් වූවන් වෙනුවෙන් හඬ නගන මවුපියන්ට සාධාරණය ඉටුකරන්න අවශ්‍ය නම්, මේ සියල්ල සම්බන්ධ හෙළීදරව්වක්, ඒ වගේම යුක්තිය ඉටුකිරීමක්, යුක්තිය සාධාරණත්වය පසිඳලීමේ කාර්යභාරයත්, මෙය නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය නීතිමය සහ දේශපාලනමය ප්‍රතිපාදන සැකසීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉතා බරපතළ ලෙස ඉල්ලා සිටිනවා මේක පාර්ලිම්න්තුවට ගෙනල්ලා, පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් එහාට ගිහිල්ලා, මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාධාරණය ඉටුවෙන ක්‍රියාදාමයකට වර්තමාන රජය යායුතුව තියෙනවා….’
විජයදාස ලියනාරච්චිට සාධාරණය ඉටුකරන්න – දුමින්ද නාගමුව
‘අද බලය තියෙන්නේ අසාධාරණයට ලක්වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවට. ඒ නිසා බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න 159 දෙනෙක් ඉන්නවා ජාතික ජන බලවේගයේ. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ විශාල පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනාට හැකියාව තියෙනවා මේ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න. රනිල් වික්‍රමසිංහට එරෙහිව බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. මෙච්චර කාලයක් යටගහලා තිබුණු රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා උසුළු විසුළු කරන බටලන්ද කොමිෂන් වාර්තාවට යුක්තිය ඉටුකරන්න අද ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලැබිලා තියෙනවා. විජයදාස ලියනාරච්චි සහෝදරයට යුක්තිය ඉෂ්ට කරන්න අද ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයා දිහා දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. මේ ප්‍රශ්නෙට ඔවුන් ලබාදෙන විසඳුම මොකක්ද කියලා. ඒක ඉතා පහසු දෙයක්. පනත් සම්මත කරන්න දෙයක් නෑ. කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා 1997 ඉදිරිපත් කරපු. ඒ කොමිෂන් වාර්තාව සභාගත කරන්න. ඒ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අවම වශයෙන්. ඒ වගේම ඔහුට විරුද්ධව නඩු පවරන්න.’










