මහ වැස්සක් මැද්දේ කොළඹින් පිටත්වෙච්ච අපිට කතරගමට යන්න ඕනෙත් ඒ වැස්සෙමයි. එක සීරුවේ පොළොවට වැටෙන වැහි දියට විදුලි එළි දියවෙලා. පාර පුරා වැක්කෙරිලා. අධිවේගය අඩු වේගයක් කරන්න නීති හදලා. වෙනදා තැඹිලි පාටට පත්තු වුණු විදුලි එළි අද රතු පාටයි. ඒ අනතුරු සහිත බව යනෙන අපිට දන්වන්න. කවුදෝ කෙනෙක් ගත්ත තීන්දුවකට අවනත වුණු පහන් කණු ඇස් පියාගෙන. අපිට යන්න වෙලා තියෙන්නේ කෑලි කපන්න පුළුවන් තරමේ අන්ධකාරයක් මැදින්. පාරේ අලි ඉන්නවා කියලා සඳහන් කරලා තියෙන අධිවේගයේ මාර්ග සංඥා පුවරු වාහන එළියෙන් පෙනී නොපෙනී යනවා. කොයි වෙලාවේ අලියෙක් මතුවෙයිද කියලා හිතන්න විතරයි අධිවේගයේ බලධාරීන් මහජනතාව වෙන අපිට ඉඩකඩ හදලා තියෙන්නේ. හුදී ජන පහන් සංවේගය උදෙසා භයානක මොනරු ගැන අපිට නොතේරෙන භාෂාවෙන් සුද්දන්ට කියල දෙන ඒ මහත්තුරු අධිවේගයේ අනතුරුවලින් ජීවිත දෑත් දෙපා අහිමි වූවන්ව සදහටම අමතක කරලා කියලයි මට නම් හිතුණේ. ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය කරලා වැඩි කාලයක් නැති වුණාට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිහිල්ලත් ඉවරයි. ඒ තමයි සනත් නිශාන්ත මහත්මයා. අඩි පාරක හෙමින් හෙමින් ඇවිදින ගල් ඉබ්බෙක් වගේ පිටිපස්ස පැත්තෙ කිසිම ආලෝකයක් නැතිව හෙමින් හෙමින් යමින් හිටපු ලොරි දැක්කම අපිට ඔහුව මතක් වුණා. ඒ වගේම අධිවේගී මාර්ගයට ඇතුළු වෙනකොට හොඳින් දෙපයින් ආපු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් මේ අධිවේගයෙන් පිට වෙන්නේ තමන්ගේ දෙපයින් එකක් අහිමි කරගෙන. ඒ නිසා හිතන්න, හිතෙන්න දේවල් ගොඩක් තියෙද්දී අපි මත්තලින් පිටවුණා. ඒ, ඉඩකඩම්, දේපළ, ගේදොර අහිමි කරගත්තු සියලු සත්වයෝ නිදුක් වෙත්වා… නිරෝගි වෙත්වා… සුවපත් වෙත්වා… කියලා හිතාගෙන. Sri Lanka Latest News
අපි වැඩ ගොඩකට, ඒ අස්සෙ මෙන්න බොලේ කියවෙච්චි දේශබන්දු ඉන්නෙ කතරගමලු. උන්දැ හැංගිලා ඉන්නවලු. ඒ කොහෙ ද? කොතැන ද? වගේ කතන්දර අස්සෙ අපිත් ගේමට බැස්සා. දේවාලෙද දේවේලෙ කපොලකද පන්සලේද පින්සල් විකුණන තැනකද බණ මඩුවෙද බොන තැනද කෝවිලේද මල් විලේද පල්ලියකද පිල්ලියකද හෝටලේකද හෝටලේ දාන තැනද යාල කැලේ ගල්ගුහාවකද අයාලේ යන පොට් එකකද කාගෙ හරි විශ්‍රාම ශාලාවකද ගෙදරකද කක්කුස්සියකද මහ පාරෙද බස් එකකද වාහනේකද බැංකුවකද ඔෆිස් එකකද ගාමන්ට් එකකද බුලත් කොරටුවකද එළවළු කොටුවකද වැටකොළු මෑ පතෝල මැස්සකද පොත් කඩේකද වට්ටි කඩේකද මල් කඩේකද මල් විකුණන තැනකද බාර් එකකද බාර් ඇසෝසියේෂන් එකේ කෙනෙක්ගෙ ගෙදරද අපි දන්නෙ නෑ.
ඇයි එහෙම කියන්නෙ?
දේශබන්දු මල් වට්‍ටියක් දෝතින් අරන් කිරි වෙහෙර වැන්දා. ලොකු වට්ටියක් කරේ තියාගෙන දෙයියො ගාවට ආවා. මිනිස්සු එහෙම කියනවා. පොලිස්පති කෙනෙක් එහෙම වෙන්නෙ ඇයි?
‘හොරකං වහගන්න…’ මිනිස්සු කියනවා. බලු වැඩවලට හොරකම්වලට සපෝට් එක දෙන එක පොලිස්පති කෙනෙක්ගෙ වැඩක්ද?
අපි කෙළින්ම අහනවා.
මේ කතරගම හැංගිලා ඉන්නවා කියන්නෙ කොහෙද ඇත්තටම. අපි එහෙන් මෙහෙන් කටින් කට පැතිරෙන ආරංචිවලින් අන්තිමට ඉසව්වක් ගැන ආරංචියක් දැනගත්තා.
‘පන්සලක්…’
කතරගම තියෙන වැඩසිටි කන්ද හෝ කිරිවෙහෙර නොවන වෙනත් විහාරස්ථානයක නමක් කියැවුණා. ඒ, අතිශය රහසිගත ආරංචියක්. විශ්වාසකටයුතු ආරංචියක් නොවන නිසාත් කටින්කට පැතිරෙන දේවල් කටකතා නිසාත් අපිට නමක් ගමක් සඳහන් කරන්න බෑ.
‘මේ හොයන්නෙ පොලිස්පතිවනෙ?’ එක් අයෙක් කිව්වා.
‘හොයන්නෙත් පොලීසියෙන් නෙ…’
‘ඕඩර් එක දීලා තියෙන්නෙත් පොලීසියෙන්නෙ…’
‘මෙහෙ චෙක් කරනවා නම් කරන්න ඕනෙත් පොලීසියනෙ…’
‘පොලීසිය පොලීසියෙ ඕඩරේකට පොලීසියෙම ලොක්කව හොයනවා…’
ඕක නිසා අදාළ තැන පරීක්ෂා කළා හෝ නොකළා කියා වෙනසක් නෑ කියලයි බොහෝ අය කියන්නෙ.
අපි ඒ ගැන ඉතාම ඉහළ වගකිවයුතු කෙනෙක් එක්ක කතා කළා.
‘මේ වෙලාවෙ ඔය කියන කට්ටිය ඔය තරම්ම අභියෝගයක් ගනී කියලා හිතන්න පුළුවන්ද?’
ඔව් ඒක ඇත්ත. ඒත් ඔහු දීලා තියෙන සපෝට්වල තරමට එහෙම නොකර බැරි වෙන්නත් පුළුවන්.
ඒ වගේම තවත් ආරංචියක් ආව විදියට කිඹුල්ලු ඉන්න වැවක් කිට්ටුව හෝටලයක් ගැනත් කියැවුණා. ඒ පැත්තෙ මීට කලිනුත් රාජ්‍ය මට්‍ටමේ කට්ටිය සෙල්ලම් කරපු පැත්තක්ලු. එහෙ ඉන්න ලොකු මහත්තයෙක්ට කරලා තියෙන උදව්වලට දෙන සපෝට් එකක් වෙන්නත් පුළුවන්ලු.
තව තැනක කියනවා උන්දා හේන් වාඩියක ඉන්නවා වෙන්න පුළුවන්ලු. ඒ වාඩිය කතරගම සීමාවෙම තියෙන තැනක්ලු. අලි වැටවල් එහෙමත් ගහලා තියෙනවලු. පුද්ගලිකව කරන්ට් එක ඇදලා කියලා එහෙම කියනවා.
ඔව්වා ඉතින් අනේ මන්දා. අපි වැහි දියට හේදෙන සුදු වැල්ලෙ පා සටහනක් හෝ නොහිටින්න ආපහු හැරුණා. දෙයියන්ගෙ නෑයොන් ඕනෙ වෙලාවක ඇරෙන අපේ දුකට වෙලාව බලන කෝවිල්වලට පූජා වට්ටි දීලා අපි ආවා. කිරි වෙහෙර පාමුලදි අව්වට දෙපා පිච්චුණා.
පාර පුරා මුරකාවල් සන්ග්ලාස් දාපු තරුණ පොලිස් කොල්ලො අපිට රවනවා. තරුණ කෙල්ලන්ට හිනා වෙනවා. පැයට කිලෝමීටර් හතළිහේ වේගෙන් ඇවිත් දහදොළොස් පොළක නැවතිලා අපි පෙන්නුවා අපේ වාහනේ දේශබන්දු නෑ කියලා. මේ යන විදියට බය හිතුණා බන්දු සමරංසිංහ උනත් හදිස්සියෙ කොටු වෙන්න බෑ. දේශෙ වැඩක් නෑ, උඹත් බන්දුනෙ කියලා.

ජීවන පහන් තිළිණ










