ලිසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අපොහොසත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලිසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් ඊට කිසිසේත් ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබේ.
ලිසිං සමාගම් එසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කරන්නේ නැති බවත්, ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කර ගැනීමෙන් පසුව බවත්, බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැරගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල්වී ඇති බවත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙන තුරු භාර නොගන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය සමග පිඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්රදානය කළ සහන සමුහය යටතේ ත්‍රිවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලිසිං ණය වාරික අයකර ගැනීම මාස 06 කට අත්හිටුවා ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වෙනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වෙයි.
එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා පොලිසිය වෙත උපදෙස් ලබාදී ඇත.











