.
මාධ්‍ය නිවේදනයයි,
පසුගිය දින කීපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතුකරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මවිසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින්ද, ඒවා අදාළ ආයතනයෙන් ලබාගැනීමට සිදුව ඇති බැවින්ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත්, අප කෙරෙහි විශ්වාස තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි. Sri Lanka Latest News
ස්තුතියි,
අශෝක සපුමල් රංවල,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
2024.12.13
පාර්ලිමේන්තුවේ නිල ලාංඡනය වන සෙංකෝලය සහිත ලිපි ශීර්ෂයකින් තමයි මේ ලිපිය පිටවුණේ. 12 වැනි මාසේ 13 වැනිදා. ඒ කියන්නේ අද වෙනකොට මාස දෙකකට වැඩි කාලයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට කතානායකවරයෙක් පත්කර ගැනීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරද්දී එම යෝජනාව ඉදිරිපත් වෙන්නේත් ආචාර්ය සපුමල් රංවල කියලා. ඔහු දේශපාලන සටනේදී තමන්ගේ සියලු නිල ලියවිලි භාවිත කරන්නේද අශෝක රංවලගේ නම ඉදිරියෙන් ආචාර්ය අශෝක රංවල කියලා. ආචාර්ය අශෝක රංවල, ආචාර්ය සුදුසුකම විරහිතව මෙම සෑම අවස්ථාවකදීම පෙනීසිටි බව දැන් පිළිගන්න සිදුවෙලා ඉවරයි. හැබැයි කතාව අපි දන්නවා. ඇත්තටම මැතිවරණ සටනකදී ඔහුට අදාළ ලීෆ්ලට් සහ ලියවිලි හදන්නේ ඔහු නෙවෙයි, වෙන කෙනෙක්. එහෙම හදද්දී ඒකට ආචාර්ය කියන එක දාන්න සිදුවීම ගැන ඔහුගෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහනවා හැර, ඔහුට ඒකට ලොකුවට මැදිහත් වෙන්න බැරිවෙන්න ඇති. ඒත් අශෝක රංවලව එක තැනකදී හිරවුණා කියන එක අපිට ඉතාම පැහැදිලියි. බීබීසීය ඔහුත් සමග පහුගිය දවසක මේ සම්බන්ධව ඍජුව කතා කරලා තිබුණා. එහිදී ඔහු විවිධාකාරයෙන් පිළිතුරුත්, විවිධාකාරයේ ගැටලුකාරී තැන්වලට හසුවෙන ආකාරයත් අපිට දැක්කා. ඔහු එහිදී කියනවා ඒ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බව. නමුත් ජනතාවගේ ප්‍රශ්නයක් නොවුණාට පාර්ලිමේන්තුවට ඔවුන් එන්නේ 225 දෙනාම හොරු බව කියලා, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවන්න ඕනේ කියලා, ආචාර්ය මහාචාර්යවරු පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ කියලා. ඔහු ආචාර්ය කියන නම සහිතව ඡන්දයට ඉදිරිපත් වුණාම මිනිස්සු ඡන්දේ දෙන්නේ අශෝක සපුමල් රංවලට නෙවෙයි, ආචාර්ය අශෝක සපුමල් රංවලට කියලයි සාමාන්‍යයෙන් පිළිගැනීම සහ විශ්වාසය තියෙන්නේ. ඉතින් ඔහුට බැහැ දැන් ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි කියලා ගැළවිලා යන්නට.
අශෝක සපුමල් රංවල මහතා ලබාදුන්න දීර්ඝ පිළිතුර සහ ඊට අදාළව ඔහු කියන ඉතාම කනගාටුදායක තර්කය බීබීසී මාධ්‍ය ඔස්සේ පළකරලා තිබුණා. අපි මෙතැන් සිට එම ප්‍රකාශය ඔහුගේ වචන බීබීසීයේ පළව තිබූ ආකාරයටම ඔබට උපුටා දක්වන්නම්. එසේ නොවුණොත් අපි නිසා ඔහුට අගතියක් හෝ අසාධාරණයක් සිදුවීමට ඉඩ ඇති නිසා. මේවා වෙනස් කර හෝ සංස්කරණය කර හෝ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති නිසා. නමුත් මෙතැනදී අපට කියන්න තියෙන කාරණාව තමයි මෙම තර්කය යොදාගෙන අපි දැක්කා පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස වගේ පාර්ලිමේන්තුවේ ඉන්න වෙනත් පාක්ෂිකයන්ට දැඩි සේ පහර දෙන ආකාරය, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කරලා. අප කිසිසේත්ම පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් යා යුතුයි කියන තැන හෝ, පාර්ලිමේන්තුවට යන මිනිස්සුන්ට ආචාර්ය උපාධි තිබිය යුතුයි කියන තැන හෝ ඉඳගෙන මේ කතාව කියනවා නෙවෙයි. යම් කිසිවෙක් යම් කිසිවක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු ජනතාවගේ මනාපයෙන් ඡන්දයේ බලයෙන් පාර්ලිමේන්තුවට පත්වූවෙක් නම් ඔහුට වගකීමක් තියෙනවා ඔහු විසින් ඉදිරිපත් කරන ලද සුදුසුකම් පිළිබඳ ඔප්පු කරන්න. ඔහු උපාධියක් දරනවා නම්, ඒ උපාධිය කුමනාකාරයේ උපාධියක් හෝ වේවා, උපාධියක් නම්, එතැනින් එහාට ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ. ඔහු ආචාර්ය උපාධියක් දරනවා නම්, එම ආචාර්ය උපාධිය කුලියට හෝ සල්ලිවලට හෝ කුමන ආකාරයෙන් හෝ ලබාදී තිබෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ අයිතියක් අපට නෑ. ඔහුට වෙනත් සුදුසුකම් තිබෙනවා නම් එම සුදුසුකම් කොහෙන් ලබාගත්තත් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න අපට අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නෑ. නමුත් ඔහු දැන් මේ කියන කාරණා නිසා අපිට මේ ගැන තවදුරටත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා සහ තවදුරටත් මේ පිළිබඳ දිගින් දිගටම කතාබහ කරන්න සිද්ධ වෙනවා. අමනාප වෙන්න එපා මන්ත්‍රීතුමා, මේ ඔබත් සමග අමනාපයෙන් කරන කතාබහක් නෙවෙයි. මේක රටක් විදියට අපිට දැනුණු ප්‍රශ්නයක්. දැන් මාස දෙකක් ගතවෙලා ගිහිල්ලත් ඔබ කියනවා අපූරු කතාවක්. කොහෙටද ඉදිරිපත් කරන්නේ, ඉදිරිපත් කරන ක්‍රමවේදයක් නෑ වගේ කතාවක්. ඒ නිසා අපි ඔබේ උත්තර දෙකත් මේකත් එක්ක අමුණනවා.
‘ඔය ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මම කතානායක ධුරයට පත්කළේ අපේ පක්ෂයේ වගකීමක් අනුව. ඒ වගකීම ඉෂ්ට කරන කොට පාර්ලිමේන්තුව තුළදී සැසිවාරයක් ආවා දෙසැම්බර් මාසේ 17, මේ රටේ දරුවන්ගේ පාසල් පොත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න සැසියක්. මේ රටේ පාසල් දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න අවස්ථාවක්. ඒ වගේම මේ රටේ අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම තවදුරටත් දීර්ඝ කරලා රුපියල් 17,500 දක්වා වැඩිකරලා යම් සහනයක් දෙන අවස්ථාවක්. ඒක මග හැරුණා නම් මේ වෙලාවෙදී ඉතාම බරපතළ ප්‍රශ්නයකට ඒ අදාළ ප්‍රජාව මුහුණ දෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙන්න මේ තත්ත්වය අවුල්කරන්න සැලසුම්සහගත ක්‍රියාවලියක් දියත් වෙන්න පටන් ගත්තා. ඇත්තටම කතානායක ධුරය සම්බන්ධව ප්‍රශ්න කරනවා නම් බහුතරයකින් මේක අපිට දිනන්න පුළුවන්. හැබැයි මට පැවරුණු ප්‍රධාන වගකීමක් තමයි, කතානායක ධුරයෙදී මේ සභාව ඉතාම සමබරව පවත්වගෙන ගිහිල්ලා සභාව තුළ ආරවුලක් වෙන්නැතිව බේරගන්න එක. එකෙදි මම නිසා ආරවුලක් වෙන්න ගියා නම් සභාව ඇතුළේදී ඒක අපේ බහුතරයෙන්, එහෙම නැත්නම් අපේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඒක අපිට පරාජය කරන්න පුළුවන් හැකියාව තිබිලා, පරාද කළාට අපිට බොහෝ දේවල් අහිමි වෙනවා. අපේ රටේ ජනතාවට.’
ඉන් පස්සෙ ඔහු මෙහෙම උත්තරයක් දෙනවා.
‘මම නැවත නැවතත් කියන්නේ ජනතාවට ඉදිරිපත් කරන ක්‍රමවේදය මොකක්ද කියන්න. ජනතාවට එහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන ක්‍රමවේදය.’
බීබීසී – ඔබතුමාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.
‘පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද ඒකෙ තියෙන සම්ප්‍රදාය මොකක්ද? ඒවා මහ තුට්ටුදෙකේ වැඩ. පාර්ලිමේන්තුවට යන්නේ තමන්ගේ සහතික පෙන්වන්න නෙමෙයි. හරිද? ඒක නෙමේ ඊට වඩා විශාල දෙයක් අපි කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ. නමුත් අපි අපේ ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධව මැදිහත් වෙනවා. ඒකට අවශ්‍ය දේවල් අපි ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. කරගෙන යනවා වැඩ ටික….’
ඔහු කියනවා. අපි අහනවා. එපමණයි ගරු හිටපු කතානායකතුමනි. මම මේ කතාව මෙතැනින් ඉවර කරනවා.

ජීවන පහන් තිළිණ










