මහින්ද යළි සටන පටන් ගනී!
ෆොන්සේකාත් සන්ධාන සාකච්ඡාවල!
රනිල් සජබෙට ගහන ගේම වෙනස් කරයි!
මාලිමාවට වෙන දේ
ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසු මාලිමා ආණ්ඩුව යනුවෙන් සියලු දෙනාම වත්මන් ආණ්ඩුව හැඳින්වුවද මහ මැතිවරණයෙන් සති දෙකක් ඉක්ම යද්දී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ජවිපෙ සහ මාලිමාව යනු එකක් නොව, දෙකක් බවට ක්‍රමක්‍රමයෙන් පත්වෙමින් තිබෙන බවකි. ‘මාලිමා ආණ්ඩුව.. මාලිමා ආණ්ඩුව..’ යනුවෙන් හැමෝම පුරුද්දට කීවද ආණ්ඩුව ඇතුළේ මාලිමාව යටපත් කොට ජවිපෙ බලය හිස ඔසවමින් පවතින බවත්, සම්පූර්ණ මාලිමා ආණ්ඩුව හසුරුවන්නේ ජවිපෙ විසින් බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු.Sri Lanka Latest News
‘ඡන්දෙදී මාලිමාවේ සමහර ජනප්‍රිය කට්ටිය ජේවීපී එකෙන් ගම්වලදී හිතාමතාම සැලසුම්සහගතව පැරැද්දුවා, මාලිමාවට ජවිපෙන් කෙනෙහිළිකම් කරනවා, මාලිමාවේ සමහරු ජේවීපී එකෙන් ගණන් ගන්නේ නෑ…’ යනාදී වශයෙන් නොයෙක් කටකතා දේශපාලන සංවාදවලදී මාතෘකාවන් බවට පත්වුවත් ඒවාට වැඩි ඉඩකඩක් මාධ්‍ය හමුවේ එකල හිමිවූයේ නැත. එවැනි මාතෘකා ජනතාව අතරට ගියේද නැත. ඊට හේතුව වී තිබුණේ ඒ වනවිට රැල්ල ජවිපෙට ගසමින් තිබූ බැවින් ඇතැම් මාධ්‍යද ඒ රැල්ලට බියේ රැල්ලත් සමග ගසාගෙන ගිය නිසාය. ජනතාවද ඒ රැල්ලෙන් ගිනිකන වැටී සිටි නිසා එවැනි පුවත් දුටුවද ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත. නමුත් මහ මැතිවරණය අවස්ථාවේදීම අප මාධ්‍ය වගකීම නිසි අයුරින් ඉටුකරමින් මෙවැනි බෙදීමක්, මෙවැනි මතගැටුමක් මාලිමා ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින බව වාර්තා කර සිටියෙමු. නමුත් මහ මැතිවරණය අවස්ථාවේදී අප කී එම කරුණ දැන් දැන් කරළියට එමින් පවතින බවක් පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුව කෙරෙහි ජනතාව මේ වනවිට කිසියම් අප්‍රසාදයකින් පසුවීම හේතුකොට ගෙනය. ඒ නිසා දැන් දැන් ජනතාව එම අර්බුදය දකින්නට පටන්ගෙන තිබේ. ජනතාව එම අර්බුදය පිළිබඳ කතාකරන්නට පටන්ගෙන තිබේ. ඒ අතින් අපට ඇත්තේ අප අනාවරණ කළ කරුණු සනාථ වීම පිළිබඳ නිහතමානී ආඩම්බරයකි.
ආණ්ඩුව ඇතුළේ ඇති ජවිපෙ-මාලිමා අර්බුදය ඉස්මතු වූ ප්‍රධාන අවස්ථාවක් ලෙස අප මීට ඉහතදී පෙන්වා දුන්නේ රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමය. සෙනේෂ් බණ්ඩාරව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් පත් කළේ අනුර – හරිනි – විජිත කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාද වශයෙන් කටයුතු කළ විජිත හේරත් විසිනි. එම පත්වීම දෙන අවස්ථාවේදී කවුරුන් මොනවා කීවද තමන් සතු නිර්මාණශීලී හැකියාව උපයෝගී කොටගෙන සෙනේෂ් විසින් කබල් රූපවාහිනියේ මකුළු දැල් කඩාදමා ක්ලීන් කිරීමට යම් උත්සාහයක් ගත් බවක් දැකගන්නට ලැබිණි. දක්ෂ තරුණ නිර්මාණකරුවකු වීමත්, මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබීමත් සෙනේෂ්ට ඊට විශාල වාසියක් වී තිබිණි. නමුත් මහ මැතිවරණය පැවැත්වීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍ය ධුරය බාර වූයේ වෛද්‍ය නලින්ද ජයතිස්සටය. නලින්ද පත්වී දින කිහිපයක් ගතවීමත් සමග සෙනේෂ් හදිසියේම සිය ඉල්ලා අස්වීම බාරදී රූපවාහිනියෙන් එළියට බැස්ස ආකාරයක් දැකගත හැකි විය. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා ඇමැතිවරයා සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් සෙනේෂ් ඉල්ලා අස්වූ බව සඳහන් කළත්, දින කිහිපයකට පසු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සෙනේෂ් කියා සිටියේ තමන් රූපවාහිනියේ සභාපති ධුරය බාරගත්තේ මාස තුනක කාලයකට පමණක් බවත්, එම කාලය අවසන් වී තිබීම නිසා වෙනත් ජාතික වගකීමක් බාරගැනීමේ අරමුණින් තමන් එසේ රූපවාහිනී සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්ය. නමුත් අද වනතුරු සෙනේෂ්ට ආණ්ඩුවෙන් එවැනි ජාතික වගකීමක් පවරා ඇති බවක් දැනගන්නට නැත. ඒ අනුව පෙනී යන්නේ යම් මතගැටුමක් හේතුවෙන් සෙනේෂ් ජාතික රූපවාහිනියෙන් ඉවත් වූ බවකි.
රමාල් අස්වුණේ ඇයි?
සෙනේෂ්ගේ සිදුවීම අප මෙහිදී යළිත් වතාවක් මතු කළේ පසුගිය සතියේ මාලිමා ආණ්ඩුව ඇතුළේ තවත් සභාපතිවරයකු සිය ඉල්ලා අස්වීම බාරදී තිබීම නිසාය. ඒ, වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රකට චරිතයක් වූ රමාල් සිරිවර්ධන මහතාය. රමාල් යනු සිවු වතාවක්ම ලංගම සභාපති ධුරය දරමින් එහි දිග පළල හොඳින් දැන සිටි පුද්ගලයෙකි. රමාල් පළමුවරට ලංගමයේ සභාපති ධුරය බාරගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේදීය. බොහෝ දෙනා කියන කාරණයක් වන්නේ රමාල් ලංගම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාල පරාසයන්වලදී එය තිබූ තත්ත්වයෙන් ඉහළට ගැනීමට සෑම අවස්ථාවකදීම රමාල් කටයුතු කොට තිබුණා යැයි කියාය. ඒ ආකාරයට චන්ද්‍රිකාගේ පාලන සමයේ සිටම ශ්‍රීලනිපයට සම්බන්ධ දේශපාලනයක් කළ රමාල්, පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා දෙද්දී ගම්පහෙන් මාලිමාවට නාමයෝජනා ලබාදීමට පියවර ගත්තේය. ඒ, ගම්පහ දේශපාලන ප්‍රබලයා වූ විජිත හේරත් සමග රමාල්ට තිබූ සමීප සම්බන්ධය නිසාය.
අනුර, විජිත, හරිනි කැබිනට් මණ්ඩලයෙන් තනතුරු තෝරද්දී රමාල්ට නැවත වතාවක් ලංගම සභාපති ධුරය හිමිවූයේ විජිත සමග තිබූ එම සමීප සම්බන්ධය නිසාමය. නමුත් රමාල්ට සිදුවූයේ සෙනේෂ්ට සිදුවූවා හා සමාන දෙයකි. එනම් විජිතගේ ඇමැතිකම වෙනස් වී ප්‍රවාහන අමාත්‍ය ධුරය බිමල් රත්නායකට යද්දී රමාල්ට සිදුවූයේ හිටිහැටියේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ගෙදර යෑමටය. මේ සම්බන්ධයෙන් සොයා බලද්දී බොහෝ දෙනා කියන්නේ ඇමැති බිමල් සමග සිදුවූ සංවාදයක් මෙම ඉල්ලා අස්වීමට හේතුපාදක වූවා යැයි කියාය. සෙනේෂ්ට මුහුණ දීමට සිදුවූ සිදුවීමට වඩා වැඩි යමක් රමාල්ට සිදුව ඇති බවද ඒ ගිය කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි.
කෙසේ වෙතත් රමාල්ගේ මෙම සිද්ධියට මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලැබෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රමාල්ට කතාකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා රමාල්ට පවසා ඇත්තේ කලබල නොවන ලෙසත්, ප්‍රශ්නයක් ඇත්නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවත්ය. එමෙන්ම විජිත හේරත්ද රමාල්ට කතාකොට දැනුම් දී ඇත්තේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා යැයි කියාය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රමාල් විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කරනු ඇති බවට වූ සැකය හේතුකොට ගෙන ඒ ආකාරයට ජනාධිපතිවරයාත්, විජිතත් රමාල්ට කතාකොට ඇති බවකි.
මෙහිදී විශේෂම කාරණාව වන්නේ රමාල් සමග ඇතිවූවා යැයි කියන මතගැටුමට සම්බන්ධ වී ඇති චරිතය වන බිමල් රත්නායක ජවිපෙ ඇතුළේ ඉතා ප්‍රබල චරිතයක් වීමය. කුමන තත්ත්වයක් යටතේ වුවද බිමල්ට එරෙහිව තීන්දුවක් ගත නොහැක්කේ අතිබහුතරයක් විසින් ඊළඟ ජවිපෙ නායකයා ලෙස දැනටමත් බිමල් රත්නායකව හඳුනාගෙන තිබීම නිසාය.
මෙම සිදුවීම අවසන් වී තවත් දින කීපයක් ගතවීමට ප්‍රථම මාලිමා ආණ්ඩුව පත්කළ තුන්වැනි සභාපතිවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. එවර ඉල්ලා අස්වූයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ එන්.බී. මොන්ටි රණතුංග මහතාය. රණතුංගද නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරනු ලැබුවේ අනුර, විජිත, හරිනි කැබිනට්ටුව රට පාලනය කරන සමයේය. නමුත් මහමැතිවරණයෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය බාර වූයේ නිවාස අමාත්‍යවරයා වූ ආචාර්ය අනුර කරුණාතිලක හටය. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේදී අමාත්‍යවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් රණතුංග සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට පියවර ගෙන තිබිණි. මෙයද සැලකෙන්නේ අලුත් ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් පවතින තවත් එක් අර්බුදයක යම් පැතිකඩක් ලෙසය.
ජවිපෙ මාලිමා ගැටුම
අනෙක් අතට මෙම ප්‍රහාරයද ජවිපෙන් මාලිමාවට එල්ල වූ ප්‍රහාරයක් මිස වෙන කිසිවක් නොවන බව බොහෝ දෙනාගේ අදහසය.
ඒ අනුව මේ එළියට ඇවිත් ඇත්තේ ජවිපෙ-මාලිමා ගැටුමේ ප්‍රසිද්ධ කරුණු කිහිපයක් පමණි. තිරය පිටුපස අප්‍රසිද්ධ කරුණු මීට වඩා බොහෝ තිබේ. අප ඉකුත් මහ මැතිවරණයේ සිටම මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. එමෙන්ම මෙම මතගැටුම් හේතුවෙන් ජවිපෙ නොවන මාලිමා කණ්ඩායම් මේ වනවිට සිටින්නේ දේශපාලන වශයෙන් හද්ද අනාතභාවයට පත්වය. එම මාලිමා කණ්ඩායම් මේ වනවිට සිටින්නේ ජවිපෙ කිසිවකුගෙන්වත් හවුහරණක් නැති, කාටවත් කිසිවක් කියාගන්නට බැරි, ආණ්ඩුව ඇතුළේ පිළිගැනීමක් නැති දේශපාලන වශයෙන් ගන්ධම්බ තත්ත්වයට පත්වය. පසුගිය මැතිවරණ සමයේදී නම් මෙම මාලිමා කණ්ඩායම් තමන්ට ජවිපෙන් සිදුවන අසාධාරණයන් පිළිබඳ මාලිමාවේ ප්‍රධානියා වූ අගමැතිනි හරිනි අමරසූරිය හට දැනුම් දී සිටියහ. නමුත් හරිනිටද ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ලොකු ඉඩකඩක් හිමිව නොතිබීම හේතුවෙන් හරිනිද මේ වනවිට සිටින්නේ සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලන වශයෙන් නිහඬ ව්‍රතයක් රකිමිනි. ආණ්ඩුවට මේ වනවිට ඡන්දය දුන් පිරිස් වෙතින්ම එල්ල වන පීඩනය හමුවේ ජවිපෙ මැති ඇමැතිවරුන් එළියට බැස ආණ්ඩුව වෙනුවෙන් අදහස් පළ කළද අගමැතිවරිය වශයෙන් හරිනි ඒ ආකාරයට එළියේ ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින ආකාරයක් දැකගන්නට නැත. පාර්ලිමේන්තුව ඇතුළේ පමණක් හරිනි ප්‍රකාශ නිකුත් කරන ආකාරය පමණක් මේ වනවිට දැකගන්නට පුළුවන.
මාලිමාවේ වීසා ප්‍රතික්ෂේපයි
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ යම් යම් අර්බුද මතුවෙද්දී කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ සිදුවීමක්ද පසුගිය සතියේ සිදුවිය. ඒ, ලන්ඩනයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ලන්ඩන් ශාඛාව මගින් සංවිධාන කරන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ආරක්ෂණ වැඩමුළුව සඳහා නම්කොට තිබූ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබීමය. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා නියෝජිතයන් දෙදෙනකු ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් නම්කර එවන ලෙසට කරනු ලැබ තිබූ දැනුම් දීමට අනුව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කන්ද උඩරටින් තේරීපත් වූ මන්ත්‍රීවරයකුද, විපක්ෂය වෙනුවෙන් සජබයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරයකු වන චතුර ගලප්පත්තිද නම්කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී චතුර ගලප්පත්තිට වීසා ලබාදීමට පියවර ගෙන තිබුණද ආණ්ඩුවෙන් නම්කළ කන්ද උඩරට මන්ත්‍රීවරයාට වීසා ලබාදීම බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කොට තිබිණි. සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් ලොකු හාහූවක් යද්දී යම් යම් පිරිස් මත පළකරමින් කියා සිටියේ අදාළ මාලිමා මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධ කොට තිබූ අධ්‍යාපන සුදුසුකම්වල ඇතිවූ ගැටලුවක් මුල්කරගෙන ඔහුගේ වීසා ප්‍රතික්ෂ්ප කිරීමට බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කටයුතු කොට ඇති බවකි. තවත් සමහරු මීට පරිබාහිර වෙනත් කරුණුද සමාජ මාධ්‍යයේ පළකර තිබූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ආණ්ඩු පක්ෂයෙන් නම් ඒ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් වූ ආකාරයක් දැකගන්නට නැත. එමෙන්ම බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් නිකුත් කොට නැත. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය බලා පිටත්ව ගිය චතුර ගලප්පත්ති සිය ෆේස්බුක් පිටුවේ විශේෂ ඡායාරූපයක් පළකරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි්‍රතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය රනිල් ජයවර්ධන හමුවූ ඡායාරූපයක් පළකිරීමට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය රහස් තීරය විපක්ෂයේ කිහිප දෙනකුගෙන්ම විමසද්දී ඔවුන්ද තහවුරු කර තිබුණේ මාලිමා මන්ත්‍රීට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇති බව සත්‍යයක් නමුත්, ඊට හේතුවී ඇති කරුණු මොනවාද යන්න පිළිබඳ දැනුවත්භාවයක් නොමැති බවකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරයට නම් විශාල සැකයක් මතුව තිබේ. ඒ, මහකොමසාරිස් කාර්යාලයක් විසින් ආණ්ඩු පක්ෂයකින් නම්කරන මන්ත්‍රීවරයකුගේ වීසා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ කුමන පදනමකින්ද යන්න සම්බන්ධයෙනි. මන්ද එවැනි සිදුවීමක් බොහෝ කලාතුරකින් සිදුවන නිසාය. සාමාන්‍යයෙන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි ප්‍රබල බටහිර රටවල් වීසා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එක්කෝ එම පුද්ගලයාට බරපතළ වංචා, මුදල් විශුද්ධිකරණ චෝදනා හෝ යුද අපරාධ වැනි චෝදනා එල්ලවී ඇත්නම් පමණි. එම නිසා එවැනි චෝදනා නොමැති ආණ්ඩුවේ සාමාන්‍ය මන්ත්‍රීවරයකුට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හරහා බි්‍රතාන්‍ය රජය විසින් වෙනත් යම් ඉඟියක් ලබාදී ඇද්ද යන්න ගැන සැකයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ. මන්ද යත් බටහිර රටවල් යම් යම් ආණ්ඩුවලට විවිධ ඉඟි ලබාදෙන්නේ මේ ආකාරයේ සිදුවීම් හරහා නිසාය. එම නිසා ආණ්ඩුව එම ඉඟිය සුළුකොට තැකිය යුතු නැති බව අපගේ විශ්වාසයය.
මහින්ද යළි සටනට
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රය හෙල්ලී ගිය මීළග ප්‍රධානම සිදුවීම වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමය. පසුගිය සෙනසුරාදා දිනයේදී කොළඹින් පිටත්ව ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් මගින් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොලපැලැස්ස පිවිසුමෙන් පිටතට පැමිණෙද්දීය.
මේ ආකාරයට යෝෂිත අත්අඩංගුවට ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේ සත් දින පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමේ කටයුතු සංවිධාන කරමිනි. මෙහිදී ආරම්භයේදීම කියැවුණේ මෙම පිරිතට සහභාගි වන ලෙසට දෙතුන් දෙනකු හැරෙන්නට පොහොට්ටුව නියෝජනය කළ සියලු කණ්ඩායම් වෙත දැනුම්දිය යුතු බවකි. ඒ අනුව හිටපු මැති ඇමැතිවරුන්ට ආරාධනා කිරීම භාරකෙරුණේ නාමල්ටය. නාමල් වෙනුවෙන් එම ආරාධනා කටයුතු සිදුකළේ නාමල්ගේ පෞද්ගලික ලේකම්වරයකු වන සංජය විසිනි. නමුත් පසුව එම ආරාධනා කිරීමේ කටයුත්ත පොහොට්ටුවේ සිට රනිල් සමීපයට ගිය ප්‍රබලයකු ලෙස සැලකුණු රත්නපුරේ ජානක වක්කුඹුර විසින් බාරගෙන තිබිණි. ඒ අනුව පොහොට්ටුව සමග දේශපාලනය කොට මේ වනවිට සීසීකඩ විසිරී සිටින සියලු දෙනාට කතාකොට මහින්දගේ ගෙදර රැස්වීමක් සහ පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන බව කියමින් ඊට සහභාගි වෙන ලෙස ආරාධනා කළේ වක්කුඹුරය. මේ ආකාරයට මහින්දගේ නිවසේ සියලු පොහොට්ටු මන්ත්‍රීවරුන් රැස්වන බවට වූ පුවත පළමු වරට රටට හෙළිදරව් කළේ අප වෙබ් අඩවිය වන www.mawratanews.lk විසින්ය. බොහෝ ජනමාධ්‍යවේදීන් මෙන්ම කැමරා ශිල්පීන්ද කැමරා ආම්පන්න මානාගෙන මහින්දගේ නිවස ඉදිරිපිටට ගොස් තිබුණේ අප හෙළිකළ එම පුවතින් අනතුරුවය.
කෙසේ වෙතත් මෙහිදී පොහොට්ටුවේ හිටපු ප්‍රබලයන් දෙතුන් දෙනකුට ආරාධනා නොකරන ලෙසට ඉහළින්ම නියෝගයක් ලැබී තිබිණි. මහින්දගේ එම ආරාධනාව නොලැබුණු පිරිස වූයේ නිමල් ලන්සා, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පහුගිය කාලයේ රනිල් සරණං ගච්ඡාමි කියමින් ගොස් පොහොට්ටුවට කෙණෙහිලිකම් කළ කිහිප දෙනෙකි.
මෙහිදී රනිල්ට එක්වූ ප්‍රබල පොහොට්ටු සාමාජිකයන් තිදෙනකු වූ මාතර කංචන විජේසේකරටත්, ගාල්ලේ රමේෂ් පතිරණටත්, අනුරාධපුරයේ ශෙහාන් සේමසිංහටත් ආරාධනා කිරීමට වක්කුඹුර කටයුතු කර තිබිණි. එහිදී ඒ තිදෙනාම වක්කුඹුරට දැනුම් දී තිබුණේ තමන් එම දිනවල කොළඹින් පිට සිටින නිසා බොහෝ දුරට ඊට සහභාගි වීමට අපහසු වනු ඇතැයි කියාය.
නමුත් අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ කංචන, රමේෂ් සහ සේමසිංහ යන තිදෙනා පසුව අවස්ථාවක වෙන වෙනම මහින්ද සහ නාමල් හමුවී සාකච්ඡා පැවැත්වීමට තීරණය කොට ඇතැයි කියාය. එසේ මහින්ද සහ නාමල් වෙන වෙනම හමුවී ඔවුන්ට බලපා ඇති ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට මේ තිදෙනාම සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත. විශේෂයෙන්ම ඔවුන්ගේ තර්කය වී ඇත්තේ පොහොට්ටුවේ මහලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා පසුගිය කාලයේදී හැසිරුණු ආකාරය සම්බන්ධයෙනි. සාගරගේ එම ප්‍රශ්නය ලොකු එකක් නොවන බවත්, විසඳාගත හැකි බවත්, සාගර ඒ අයුරින් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කළේ එවක පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතිය ඇතිව බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මහින්දගේ සහ නාමල්ගේ පාර්ශ්වයෙන් ඔවුන්ට දැනුම්දී ඇති පණිවුඩයය. කෙසේවෙතත් පසුගිය කාලයේදී රනිල් සමග සමීපව කටයුතු කළද ඔවුන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ නැවතත් පොහොට්ටුව සමග එක්ව දේශපාලන කිරීමට බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඒ අනුව පසුගිය සතියේ මහින්දගේ නිවසේ පැවැති සත් දින පරිත්‍රාණ ධර්ම දේශනාව පින්කමක්ම පමණක් නොව, එක්තරා ආකාරයකට ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පොහොට්ටුව නැවත ඒකරාශි කිරීම සඳහා තැබූ දේශපාලන පියවරක් ලෙසද හැඳින්විය හැකිය. මෙම පින්කම හරහා පොහොට්ටුවෙන් කැඩී වෙන්වී ගිය සියලු පාර්ශ්වයන් නැවතත් මහින්දගේ සෙවන යටතට ගැනීමට කටයුතු කර තිබූ ආකාරයක්ද එහිදී පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
මේ ආකාරයට පොහොට්ටුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින්නේ පරණ පුරුදු පුටුව ලකුණ යළිත් එළියට ගෙන ඒ හරහා පළාත් පාලන මැතිවරණයට තරග වදින්නටය.
ඒ අනුව ශ්‍රීලනිප ප්‍රධානීන්ද මේ දිනවල ශ්‍රීලනිපයෙන් කැඩීගිය පිරිස් ඒකරාශි කිරීමේ මෙහෙයුමක නිරතව සිටින ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඔවුන් වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ පොහොට්ටුව විසින් නැවතත් කිසිසේත්ම පක්ෂයට වද්දා නොගන්නා බවට තීන්දු කොට ඇති පිරිස්ය. ඒ අනුව පසුගිය සතියේ ශ්‍රීලනිප නායකයන් විසින් එසේ පොහොට්ටුව ප්‍රතික්ෂේප කර ඇති නිමල් ලන්සා වැනි පිරිස් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඊට දිලිත්ගේ සර්වජන බලය නියෝජනය කරමින් චන්න ජයසුමන, පොහොට්ටුවේ හිටපු ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීහුද සහභාගි වී සිටියහ.
ෆොන්සේකා එළියට ඇවිත්
මේ ආකාරයට පොහොට්ටුව සහ ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණයට බලමුළු තර කරද්දී හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයකට පත්ව පරදිනවාට බයේ මහ මැතිවරණයට පවා ඉදිරිපත් නොවූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමකට අතගසා තිබීමය. ඒ අනුව ෆොන්සේකා පසුගිය සතියේ සිය නිවසේ දේශපාලන සාකච්ඡාවක් සංවිධාන කොට තිබූ අතර, ඊට විපක්ෂයේ නියෝජිතයන් වූ නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න වැනි විශාල පිරිසකට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. මේ සාකච්ඡාවේදී ෆොන්සේකා අවධාරණය කොට තිබුණේ දූෂණයට එරෙහිව විශාල සන්ධානයක් ගොඩනැගිය යුතුව ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ෆොන්සේකා මේ ආකාරයට දූෂණයට විරුද්ධව සන්ධාන ගොඩනැගීමට කතා කරද්දී එහි සිටි ඇතැම් පුද්ගලයන් ඊට ආරාධනා කොට තිබූ ඇතැම් පුද්ගලයන් දෙස බලා සිනාසී ඇති බවකි. එම රැස්වීම අවසන් වීමෙන් පසු එළියට පැමිණෙමින් සිටි ඇතැම් අය, ‘දූෂණයට විරුද්ධව සන්ධාන හදන්න මරු බඩු ටිකකට තමයි ෆොන්සේකා කතාකරලා තියෙන්නේ’ යැයි කියමින් සිනාසී ඇති බවක්ද ආරංචිය. එමෙන්ම ඇතැමුන් සාකච්ඡාව අතරමගදී නැගිට ගිය බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. ඒ අනුව ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිතව ඇති බව කියන මෙම දූෂණ විරෝධී සන්ධානය පළමු දවසේදීම විහිළුවක් බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ.
එජාප-සජබ හවුල් සාකච්ඡා
මේ සියලු සන්ධාන සාකච්ඡා මැද බොහෝ දෙනාගේ මාතෘකාව බවට පත්ව ඇත්තේ සජබ-එජාප සන්ධාන සාකච්ඡාවය. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් අනාවරණ කිහිපයක්ම කළ අප පෙන්වා දුන්නේ මෙම සන්ධාන සාකච්ඡා සජිත් සහ සජබය විනාශ කිරීමට රනිල් විසින් ගසන ගේමක් යැයි කියාය. කන්ද උඩරට නිවසක ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති ආකාරයත්, ඊට රනිල්ගේ හිතවත්ම ව්‍යාපාරිකයකු මෙන්ම ප්‍රබල කාන්තාවක්ද සහභාගි වී සිටි ආකාරයක් පසුගිය සතියේ අනාවරණ කළ අපි, එම සාකච්ඡාවේදී සන්ධාන සාකච්ඡා දිගටම ඇදගෙන ගොස් අවසන් මොහොතේ සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එජාපයට එක්කර ගැනීමේ සැලසුමක් පිළිබඳ සාකච්ඡා වී ඇති බවක්ද වාර්තා කළෙමු. මේ කිසිවක් නොදැන මයික් එකක් දුටු පමණින් අදහස් දක්වන බිම් මට්ටමේ දේශපාලනය නොතේරෙන සජබ කිහිප දෙනකු සජබය – එජාපය වෙත පූට්ටු කිරීමේ මෙහෙයුමක නිරතව සිටින බවද අපි එහිදී අනාවරණ කළෙමු.
කෙසේ වෙතත් පසුගිය සති දෙක තුළ පැවැති සාකච්ඡාවලදී එජාපයේ ප්‍රධානීන් තේරුම් ගෙන ඇති කාරණාවක් වන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ සජබය අත්හැර දමා පැමිණීමට එහි සිටින මන්ත්‍රීවරුන් සූදානම් නැති ආකාරයය. විශේෂයෙන්ම ගම්වල එජාපයක් තියා නාමයක් හෝ නොමැති වීමත්, පළාත් පාලන මැතිවරණයට හෝ අපේක්ෂකයකු සොයාගත නොහැකි තැනට එජාපය ගම් මට්ටමින් දියවී ගොස් තිබීමත් මේ සඳහා හේතු වී තිබේ. ඒ අනුව එජාපයේ අලුත්ම සැලසුම වී ඇත්තේ සජබයේ ඉන්න මන්ත්‍රීවරුන් කඩනවා වෙනුවට මතවාදයක් නොමැති වීම හේතුකොට ගෙන අක්‍රීයව සිටින ගම් මට්ටමේ සජබ සංවිධායකවරුන්, පරාජයට පත්වූ සජබ ජනප්‍රිය දේශපාලන චරිත යළිත් එජාපය වටා එක්කර ගැනීමය. රනිල් මෙම මෙහෙයුම බාරදී ඇත්තේ තලතාටත්, රුවන්ටත්ය. ඒ අනුව ඔවුන් දෙදෙනාම මේ වනවිට සජබයේ බිම් මට්ටම නියෝජනය කරන ආසන සංවිධායකවරුන්ට සහ පරාජයට පත්ව සිටින ජනප්‍රිය චරිතවලට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔවුන්ව එජාපයට බිලීබාගැනීමේ කටයුත්තට අතගසා ඇති බවක් දැකගන්නට තිබේ.
මීට අමතරව එජාපය පැත්තෙන් දියත්කොට ඇති තවත් සැලසුමක් වන්නේ කිසිදු අයුරකින් සජබයට එකඟ විය නොහැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කොට අවසන් මොහොතේ සාකච්ඡා කඩාකප්පල් කිරීමය. ඒ අනුව එම යෝජනාවලිය ඉදිරි සාකච්ඡා වටයකදී එජාප-සජබ සාකච්ඡා මේසයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බවක් ආරංචිය. ඒ අකාරයට එකඟ විය නොහැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට එජාපය සූදානම් වන්නේ එම සාකච්ඡා ඉදිරියට ඇදගෙන ගොස් සජබයේ ගම් මට්ටමේ සංවිධායකවරුන් යළි එජාපයට එක්කර ගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමටය. එජාපයේ මෙම සැලසුම සජබයේ ඉහළ මට්ටමේ ඇතැම් නායකයන්ට වටහා ගැනීමට අසීරු වී ඇතත්, ගමේ සිටින සජබ නායකයන්ට නම් ඒ බව හොඳහැටි පැහැදිලි වී ඇති බව පෙනී යන්නේ පසුගිය සතියේ අනුරාධපුරයේ සජබ නායකයා වූ රෝහණ බණ්ඩාර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන් හරහාය. හෙතෙම මාධ්‍ය හමුවේ කියා සිටියේ එජාප – සජබ එකතු වීම හොඳ වුවත් එහි ලකුණ දුරකතනය විය යුතු බවත්, පක්ෂ නායකයා සජිත් විය යුතු බවත්ය. මීට අමතරව අනුරාධපුරයේ නවක මන්ත්‍රිවරයකු වන සුරංග රත්නායකද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ එජාපය, සජබය සමග එක්වුවද සජිත්ට කිසිසේත්ම අසාධාරණයක් සිදුවිය යුතු නැතැයි කියාය. අද එක්වීමට කතාකරන එජාපය ජනාධිපතිවරණයේදී එක්වූයේ නම් මේ වනවිට රටේ නායකයා සජිත් බවත්, එසේ නම් පවතින්නේ එජාප-සජබ ආණ්ඩුවක් බවත් සුරංග රත්නායක එහිදී සඳහන් කර සිටියේය. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සජබයට සම්බන්ධ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් මේ වනවිටත් පක්ෂයේ ප්‍රධානීන්ට දැඩිව දැනුම් දී ඇත්තේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සජබ නියෝජිතයන්ට හැරුණු විට වෙනත් කිසිවකුටත් සජබ ලැයිස්තුවෙන් අවස්ථාව ලබාදිය යුතු නැති බවත්, ඡන්දයකින් ජයග්‍රහණය කළ නොහැකි පිරිස් මේ වනවිට සජබ ලැයිස්තුවෙන් පළාත් පාලන ආයතනවලට රිංගා ගැනීමට කැසකවමින් සිටින බවත්ය.
ආණ්ඩුවත් බලන් ඉන්නේ
කෙසේ වෙතත් දැනටමත් ජනාධිපතිවරයා නම් ප්‍රකාශ කර ඇත්තේ ලබන අප්‍රේල් මුල වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවකි. ආණ්ඩුව ඒ සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත්තේ ජනාධිපතිවරයා දැනටමත් සුහද හමු පවත්වමින් රට වටා යෑම ආරම්භ කර ඇති නිසාය. නමුත් තවමත් සජබය පැත්තෙන් පළාත් පාලන මැතිවරණයට සූදානමක් වීමක් දැකගන්නට නැති අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් තවමත් එජාප-සජබ සන්ධාන සාකච්ඡාවල යෙදී සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.
මෙහිදී මේ එකතුව ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන සිටින සජබ ඇතැම් ප්‍රධානීන්ට පැවැසිය යුතු තවත් කරුණක් තිබේ. ඒ, ආණ්ඩුවද මේ එකතු වීම සිදුවන්නට ඉඩ හැර ඒ දෙස බලා සිටින බවය. මන්ද යත් ඔවුන්ද මේ වනවිට සැලසුම් කොට ඇත්තේ එජාපය සමග එක්වූ වහා සජබය හොරු සමග එක්වූ බව කියමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. මන්ද යත් පසුගිය කාලයේදී එජාප ප්‍රධානීන්ට මහබැංකු හොරු, ඉඩම් හොරු, ගෑස් හොරු, තෙල් හොරු, ගල් අඟුරු හොරු ආදී වශයෙන් කියමින් ප්‍රබල ප්‍රහාරයක් දියත් වී තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් තවමත් විමර්ශන රැසක් ක්‍රියාත්මකය. එමෙන්ම සජබ සාමාජිකයන් එජාපයෙන් ඉවත් වන විට එජාප ප්‍රධානීන්ට එල්ල කළ චෝදනා ඇතුළත් හඬ පටද ආණ්ඩුව පැත්තෙන් මේ වනවිට එකතු කරගෙන ඇති ආකාරයක් දැනගන්නට පුළුවන. ඒ අනුව ආණ්ඩුව සූදානමින් සිටින්නේ එජාප සජබය එකතු වූ වහා හොරු එකතු වූ බව කියමින් දැවැන්ත ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමටය. එහි ආරම්භක පියවරක් ලෙස පසුගිය සතියේ රනිල්, සජිත්, මහින්ද, මෛත්‍රීගේ රූපරාමු යොදාගනිමින් ‘ආපසු අපට’ යනුවෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට නිකුත් කිරීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කොට තිබිණි.
ඒ නිසා ‘මව්රට’ පුවත්පත පිළිබඳ තොරතුරු සොයන සජබ – එජාප සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින ඇතැම් සජබ ගිරවුන්ට අප කියන්නේ අප ගැන සෙවීමට ප්‍රථම අප මෙම ගිරා නායකයන් පිළිබඳ සියලු තොරතුරු සොයාගෙන ඇති බවය. එමෙන්ම අප මේ ගිරා නායකයන්ට බිය නැති බවත්, ඔවුන්ට ණය නැති බවත් සඳහන් කළ යුතුව තිබේ. එම නිසා නායකත්වයේ සූට් මසාගෙන සිටින එම ගිරා නායකයන්ට අපට කීමට ඇත්තේ ඔබලාගේ සියලු තොරතුරු අප නිසි වේලාවට රටටත්, ජනතාවටත් ඉදිරිපත් කිරීමට සූදානම් බව පමණි.
මේ සියල්ල අතරවාරයේ සජිත් පසුගිය සතියේ අලුත් වැඩකට අතගසා තිබිණි. ඒ, විපක්ෂයේ පක්ෂ නායකයන් මුණගැසී ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමටය. ඒ අනුව එම සාකච්ඡාවට රවී කරුණානායක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සහභාගි වී සිටියහ.
ලොකු නීති සටනක්
මීට අමතරව පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ඇති බවට බොහෝ මාධ්‍ය වාර්තා පළවූ නාමල් රාජපක්ෂද මේ දිනවල පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට පක්ෂය මෙහෙයවීමේ වැඩකටයුත්තට අත ගසා තිබේ. ඒ අනුව නාමල් සූදානමින් සිටින්නේ සෙනසුරාදා දිනයේදී අනුරාධපුරෙන් පොහොට්ටුවේ ඡන්ද සටන ආරම්භ කිරීමටය.
මේ අතර, මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි නාමල්ට එරෙහිව පසුගිය සතියේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුවිය. ඒ, ක්‍රිෂ් ගනුදෙනුව මුල්කරගෙනය. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් නාමල් පවසා තිබුණේ මෙවැන්නකි.
‘ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා මට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව මම මාධ්‍යවලින් කියෙව්වා. යහපාලන ආණ්ඩුව සමයේ, මෙම කාරණය මුලින් විමර්ශනය කළ විට, මෙම කාරණය ගරු නීතිපතිවරයා වෙත යොමුකරන ලද්දේ වසර 8කට පෙරයි. වත්මන් ආණ්ඩුව යටතේ වසර 8කට පසු අද අධිචෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා. වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත්කර ඇති බව පැහැදිලියි.
මම අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජයගනු ඇතැයි විශ්වාස කරමි. අපට එරෙහිව චෝදනා ගොතන ලද අතර, රට පාලනය කිරීමේදී ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමුකළ හැකි බවත්, ජනතාව මුහුණ දෙන බරපතළ බර අඩුකරගත හැකි බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව විශ්වාස කරන බව පේනවා. කෙසේ වෙතත්, ඔවුන්ගේ අඩුපාඩු ඉක්මණින් සියල්ලන්ටම පෙනෙන පරිදි හෙළිවෙයි. රාජපක්ෂලාට පහරදීම පිටුපස ආණ්ඩුවට ඔවුන්ගේ අසාර්ථකත්වයන් දිගු කලක් සැඟවිය නොහැකියි. යුක්තිය අන් සියල්ලටම වඩා ජයගනු ඇතැයි මම දැඩි ලෙස සහ අවංකව බලාපොරොත්තු වෙනවා සහ විශ්වාස කරනවා’ යනුවෙන් එහි සඳහන්ව තිබිණි.
කෙසේ වෙතත් නාමල් ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම මේ වනවිට තීන්දු කොට ඇත්තේ රාජපක්ෂ පවුලට සහ පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට එරෙහිව ඉදිරිපත් වන නඩු සම්බන්ධයෙන් දැවැන්ත නීති සටනකට එළඹීමටය. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරුන් විශාල පිරිසක් සමග නාමල් ඇතුළු කණ්ඩායම සාකච්ඡා පවත්වා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී නීතිඥ කණ්ඩායම විසින් දැනුම් දී ඇති කාරණාවක් වන්නේ එකම චෝදනාවකට දෙවතාවක් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමේ හැකියාවක් පවතිනවාද යන්න සොයාබැලිය යුතු යැයි කියාය.
මීට අමතරව නාමල්ට එරෙහිව ප්‍රකාශයක් ලබාදුන් නිමල් පෙරේරා මුල්කරගෙන ඔහුට විරුද්ධව නඩුකරයක් ගොනුකරන්නේ කෙසේද යන්න පිළිබඳවද එහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් මේ සියලු කරුණු කාරණා මුල්කරගෙන ඉදිරියේදී දැවැන්ත උසාවි සටනක් රටේ ජනතාවට බලාගත හැකි ආකාරයක් දැකගන්නට තිබේ.
අනුර ගහන්න යන ගේම
මේ සියල්ල මැද ජනාධිපතිවරයා මේ වනවිට සූදානම් වන්නේ ලබන 17 වැනිදා මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. මේ වනවිට විවිධ පාර්ශ්වවලින් ආණ්ඩුවට එල්ල වෙමින් පවතින චෝදනාවලින් ගැලවීම සඳහා ලොකුම තුරුම්පුව ලෙස ආණ්ඩුව ගහන්නට යන්නේ මෙවර ඉදිරිපත් කරන අයවැයය. ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මෙවර අයවැය ජනප්‍රිය සහ මැතිවරණ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි කියාය. විශේෂයෙන්ම කිසිදු අලුත් බදු අයකිරීමක් මෙවර අයවැය හරහා ඉදිරිපත් නොකෙරන අතර, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් ඇතුළුව සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ. එමෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන සහ ලාභ ලබන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ටෙලිකොම් වැනි ආයතන පිළිබඳවද අලුත් ප්‍රතිපත්තියක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරනු ඇති බව දැනගන්නට තිබේ.
සමුලුවට අඩු සැලකිල්ලක්ද?
ජනාධිපතිවරයා චීන සංචාරයේ නිරත වද්දී ඒ දෙස ඉන්දියාව, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විශේෂ අවධානයක් යොමුකොට සමීපව නිරීක්ෂණය කරමින් සිටි බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි එකල වාර්තා කළෙමු. එහිදී ජනාධිපතිවරයා චීනයේ කරන්නේ මොනවාද, අස්සන් තබන්නේ කුමන ගිවිසුම්වලටද යනාදිය සම්බන්ධයෙන් මෙම රටවල් ඇහැ ගහගෙන සිටි බවක් අපි එහිදී කියා සිටියෙමු. මීට අමතරව කිසිදු මාධ්‍ය්‍යක් හෙළි නොකර සිටියදී අප කියා සිටියේ මෙතෙක් තහනම් කෙට තිබූ චීන පර්යේෂණ නෞකාවන් සදහා නැවත වතාවක් ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී තිබූ බවකි. ඒ බව තහවුරු කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වා තිබිණි. එහිදී විජිත කියා සිටියේ එම පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ වන නව නිර්නායකන් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කොට ඇති බවකි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වීමෙන් පසු තවත් වැදගත් සමුළුවක් පසුගිය ජනවාරි 28 වැනි දින සිට 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්විණි. එය සංවිධාන කොට තිබුණේ ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ මැදිහත් වීමෙනි. වැඩි ප්‍රසිද්ධියට පත් නොවුණද මෙම සමුළුවේදී අවධානය යොමුකොට තිබුණේ ඉන්දීය සාගර කලාපය තුළ වර්ධනය වන නව තත්ත්වයන් පිළිබඳවය. මෙහි ඇති වැදගත්කම නිසාම ප්‍රධාන රටවල් රැසක්ම පාහේ නාවික, පර්යේෂණ, ධීවර, වෙරළාරක්ෂක ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සහ සියලු සිවිල් ආයතන ඊට සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ ඉහළම නියෝජිතයන්ද ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.
පසුගිය වසරේ මෙම සමුළුව පැවැතියේ ඉන්දියාවේදීය. මෙවර එය ලංකාවේ පැවැත්වීමට තීන්දු කොට තිබුණේද මේ වනවිට ඉන්දීය සාගර කලාපය තුළ නව තත්ත්වයන් වර්ධනය වෙමින් පැවැතීම නිසාය. නමුත් ගැටලුව වී තිබුණේ අනෙකුත් ප්‍රධාන රාජ්‍යයන් මෙහි ඇති වැදගත්කම සලකා ඊට වැඩි අවධානයක් යොමුකොට තිබුණද ලංකාව ඒ සම්බන්ධයෙන් නිවැරැදි කියවාගැනීමක සිටියේද යන්නය. මන්ද ලංකාව පැත්තෙන් ඊට නාවික හමුදාව පමණක් සම්බන්ධ වී සිටීමත්, අනෙකුත් වැදගත් ආයතනයන් වූ නාරා ආයතනය, රේගුව, ධීවර සංස්ථාව ආදී සිවිල් ආයතන ඊට සහභාගි නොවීමත් නිසාය. ඒ හරහා ඔවුන් සතුව තිබූ අතිශය සංවේදී තොරතුරු හුවමාරු කරගැනීමේ අවස්ථාව ලංකාවට අහිමි වී ගිය බව බොහෝ දෙනාගේ අදහසය.
කෙසේ වෙතත් මෙම සමුළුවට රුසියාව සහ චීනය සහභාගි වී නොසිටීමද විශේෂ සිදුවීමක් විය. ඔවුන් හිතාමතා එම සමුළුව වර්ජනය කළාද, බටහිර රටවල් එම සමුළුවට සහභාගි වන නිසා ඊට සහභාගි නොවී සිටියාද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා සහභාගි නොවී සිටියාද යන්න ගැන පැහැදිලි තොරතුරක් නැතත් ඔවුන්ගේ නොපැමිණීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ බවක් පෙනෙන්නට තිබිණි.
මීට අමතරව ශ්‍රී ලංකාව එම සමුළුවට අඩු වැදගත්කමක් දුන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳ යම් සැකයක්ද මෙම පිරිස අතර පැවැති බවක්ද ආරංචිය. ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු මෙම සිදුවීම සිදුවූ නිසා ඇතැමුන් ඊට වැරැදි අර්ථකථන ලබාදීමේ ඉඩක් පැවැතීම හේතුවෙන් වහාම මේ සම්බන්ධයෙන් මැදිහත් වී අතිශය සංවේදී කාරණාවක් වන මේ පිළිබඳ අවධානය යොමුකොට, මතුවිය හැකි සැක සංකා දුරුකිරීම ආණ්ඩුවේ වගකීම බව පමණක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත.










