ගලෙන් බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් දිවුල්වැව කැඩී යෑමේ අවදානමට ලක්වූයේ නිලධාරීන්ගේ වරදින් බවට ගොවි ජනතාව චෝදනා කරති.Sri Lanka Latest News
වසර ගණනක සිට වැවේ මැද සොරොව්ව අසලින් ජල කාන්දුවක් තිබෙන බව පැවැසුවත් වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා අවසානයේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දේ පොරොවෙන් කපන්නට සිදුවුණා යැයිද ගොවීහු චෝදනා කරති.
අලුත් දිවුල්වැව ආලංකුලම ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයෙක් වූ පී.එස්. වාසුලසේන මෙසේ පැවැසුවේය.
අලුත්දිවුල්වැව වසභ රජතුමාගේ කාලයේ හදලා නටබුන් වෙලා තිබුණු වැවක්. පස්සෙ අපේ මුතුන්මිත්තන් මේ වැව හැදුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන විශාල වැව් 11 අතරට අලුත් දිවුල්වැවත් වැටෙනවා. අක්කර අඩි 5,500ක ජල ධාරිතාවක් මේ වැවේ තියෙනවා. හුරුළුවැව වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලය යටතේ තමයි පාලනය වෙන්නේ.
අපි මුලින් ම 2000 අවුරුද්දෙ පෙන්නලා දුන්නා වැවේ උමඟක් තියෙන බව. ඒ කාලේ මේවා මාධ්‍යවලත් වාර්තා වුණා. නමුත් අවුරුදු 25ක් ගතවෙලා වැව් බැම්ම කැඩෙනකල් ම නිලධාරීන් බලාගෙන හිටියා. අන්තිමට වැව් බැම්ම කිහිප තැනකින් කැපුවා. අගේට තිබුණු වාන කැඩුවා. මිනිස්සු අවතැන් වුණා. විශාල මුදලක් ශ්‍රමයක් නිකරුණේ විනාශ වුණා.
අපි මේවා ගොවි සංවිධාන රැස්වීම්වල කතා කරා. ඉන්ජිනේරුවන්ට කිව්වා කවුරුත් ගණන් ගත්තෙ නැ. පසුගිය 10 වන දා උදේ 6:00 වෙද්දි සොරොව්ව අසලින් වර්ග අඩි 6ක පමණ ජලධාරිතාවක් පිට වෙන බව ධීවරයෙක් පැවැසුවා. අනතුරුව අපි මේ පිළිබඳව නිලධාරීන්ට දැනුවත් කළා. ඊට පසුව නිලධාරීන් පැමිණ යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා උමඟ වහන්න පටන් ගත්තට වැඩක් වුණේ නෑ. අන්තිමට වැව්බැම්ම කපන්න වුණා. වාන කඩන්න වුණා. අලුත්දිවුල් වැවට සිදුවුණු මේ විනාශයට නිලධාරීන් වගකියන්න ඕනෑ.










