• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගෙ දූෂණ විරෝධී හඬ! පැන්ඩෝරා පත්‍රිකා – මුදල් විශුද්ධිකරණය – එයාර්බස් නඩුව – ඔස්ටේ්‍රිලියා නඩුව – ඇමෙරිකා නඩුව ගැනත් කතා කරයි! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 දෙසැම්බර් මස 09 වැනිදා සිදුකළ කතාව පහත පළවේ. (Sri Lanka Latest News)

‘පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන ලක්ෂණයක් පිළිඹිබු වෙලා තිබෙනවා. මා හිතන්නේ 2024 වසරේ ජනවරමේ ප්‍රධානතම පංගුව තිබෙන්නේ අල්ලසට සහ දූෂණයට එරෙහි ජනතාවගේ වුවමනාවයි. මෙතැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවාව නියෝජනය කරමින් ඇතුළු ඉතා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීන් සිටිනවා. දේශපාලනය නියෝජනය කරමින් මම සිටිනවා.

එතකොට අපි එකිනෙකාට ව්‍යවස්ථාව තුළ බලය පවරා ති‍බෙනවා. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතිය විසින් අප එකිනෙකාට බලය පවරා තිබෙනවා. ඒ පනත් විසින්, රෙගුලාසි, චක්‍රලේඛ විසින් බලය පවරා තිබෙනවා. අප සෑම දෙනාටම ව්‍යවස්ථාව සහ නීතිය තුළ අප සියලු දෙනාටම බලය පවරා තිබෙනවා. හැබැයි ඒ සියලු බලය උත්පාදනය වී තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය කියන බලය තුළින්. එහෙනම් අප බැඳී තිබෙන නීතීන්, අපට පවරා තිබෙන සීමාවන්, මේ සියල්ලටම වඩා ජනතාවගේ ජනවරමට සහ එහි පරමාධිපත්‍ය බලයට අප සියලු දෙනාම යටත්.

අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් බවට අපි පත්වෙමු. ඒ අපි කියන්නේ අපි වෙන්න ඇතිනෙ. හරි, මෙතැන කවුද අඩු? දේශපාලන අධිකාරිය වශයෙන් මා සිටිනවා. ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිටිනවා. පොලිස්පතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සිටිනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව භාරව සිටින සභාපතිතුමා ඇතුළු කොමසාරිස්වරුන් සිටිනවා. එහෙනම් තව කවුද අඩු? එහෙනම් ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අපි අවංකවම විමසා බැලුවහොත් ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆයිල් එකක් උඩ යන්නෙත් යට යන්නෙත් කොහොමද? වසර 7-8ක් ලිපිගොනු කබඩ් අස්සේ හිරවෙලා තිබෙන්නේ ඇයි? ප්‍රශ්නය මෙතැන නෙමෙයිද?

මා මේ කියන කරුණු කිසිවක් ඔබ පෞද්ගලිකව ගන්න එපා. අද අපේ සමාජයේ ඛේදවාචකයේ බැරෑරුම්කම. ෆයිල් උඩ යෑම ගැනත්, යට යෑම ගැනත් විමසන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරන ලිපි ගොනුවක් වසර 7ක් ඒ පිළිබඳ උද්ධෘතයක් නොදී තිබෙන්නේ කොහොමද? ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද? අධිකරණය හමුවේ විභාග වන නඩුවක් මාස 7-8ක් කල් යන්නේ කොහොමද? නැවත දිනයක් ලබාගැනීම සඳහා කල් යන්නේ කොහොමද? මේ සෑම දෙනාටම තම ආයතනයේ එවැනි ප්‍රශ්නයක් මතුවීම පිළිබඳ අදහසක්, හේතුවක් කියන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න පුළුවන් මෙතරම් පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙනවා, එනිසා විභාග කොට නිසි පරිදි නඩුවක් පැවරීමට ප්‍රමාණවත් නිලධාරීන් නැහැ කියලා. අල්ලස් කොමිසමටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒක කියන්න පුළුවන්. ඒ ප්‍රශ්නය තිබෙන්නේ අපෙන් බාහිරව නෙමෙයි.

අපි සෑම කෙනාම අවංකව ප්‍රයත්නයක් දරන්නේ නොමැති නම් ‘ආදර්ශමත් පෙරගමන්කරුවන් අපි වෙමු’ අපිම තමයි ප්‍රශ්නය. ඉතිං මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ පොදුජනයා එහි වගඋත්තරකරුවන් වන්නේ කෙසේද? මෙතැන නම් ප්‍රශ්නය තිබෙන්නේ, දූෂණය, වංචාව අපි මැඬපවත්වන්නේ කොහොමද? මා හිතනවා අපි පළමුකොටම අපි අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි. මා ඔබට එක සහතිකයක් දෙන්නම්. දේශපාලන අධිකාරිය ලෙස, මා වෙත පැවරී තිබෙන බලතල මුළුමනින්මත්, අවංකවත් මේ වංචාව හා දූෂණය මැඬපැවැත්වීම වෙනුවෙන් යොදවනවා. ඒ පිළිබඳ සැකයක් තියාගන්න එපා.

එහෙත් මා දන්නවා මාගේ සීමාවන්. මට එයට දේශපාලන අධිකාරියේ නායකත්වය ලබාදෙන්න පුළුවන්. අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කර දෙන්න පුළුවන්. අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන්න පුළුවන්. හැබැයි කවුරු විසින්ද එය කළ යුතු වන්නේ? මා හිතනවා එය කළ යුතු වන්නේ මෙතන ඉන්න ඔබ විසින්.

අපි දැන් සිටින්නෙ 115 වැනි තැන. මම හිතන්නේ හරිම තොරතුරු නැති නිසා තමයි එතන ඉන්නේ. හරිම තොරතුරු තියෙනවා නම් ඊට වැඩියි. මෑත කාලයේ ලෝකයේ ආන්දෝලනයට තුඩුදුන් පරීක්ෂණ ගණනාවක් දියත් වුණා. එකක් ඇමෙරිකන් එක්සත් ජනපදයේ සී.අයි.ඒ. නියෝජිතයෙක් වන ඉමාම් සුබේරු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිර දඬුවම් ලැබුවා. ඒ පරීෂණයේදී හෙළිදරව් වෙනවා ඔහුට ශ්‍රී ලංකාවේ මහබැංකුව විසින් ඩොලර් මිලියන හයක් ලබාදී ඇති බවට. එක්සත් ජනපදයේ නඩුවක් විභාගයට ලක්වෙනවා ලංකාවේ මහ බැංකුව සම්බන්ධ වෙනවා.

එංගලන්තයේ මහාධිකරණයේ නඩුවක් විභාගයට ලක්වුණා, එයාර් බස් සමාගම ඒ ඒ රාජ්‍යයන්ට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් දීම පිළිබඳව. එක්සත් ජනපදයත්, ප්‍රංශයත්, එංගලන්තයත් ඒකාබද්ධව මේ පරීක්ෂණය සිදුකළා. ඒ පරීක්ෂණයේදී හෙළිදරව් වෙනවා ශ්‍රී ලංකාවේ එයාර් ලංකා එකටත් එයාර් බස් සමාගම අල්ලස් දී ඇති බවට.

එක්සත් ජනපදයේ නඩුවක් විභාග වුණා ශ්‍රී ලංකාවේ තානාපතිවරයා තානාපති නිවසක් මිලදී ගැනීමේ දී මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදකරු වුණා. ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලුවා.

ඒ වගේම පැන්ඩෝරා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ කට්ටිය ඒක ඇතුළේ ඉන්නවා. පැනමා විමර්ශන පත්‍රිකා එළියට එනකොට ලංකාවේ අය ඒක ඇතුළේ ඉන්නවා. ඔස්ටේ්‍රලියාවේ විමර්ශනයක් දියත් වුණා හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ සැපයීමේදී ඔස්ටේ්‍රලියානු සමාගමක් විසින් අල්ලස් දී ඇති බවට. එහේ පරීක්ෂණයක් යනවා. මෙහේ හම්බන්තොට මතු වෙනවා.

අපි අපේ රටේ ඇතුළේ ටික පැත්තකින් තියන්න. මෙහෙමනේ අපේ රටට වෙලා තියෙන්නේ. නමුත්, අපි බැලුවොත් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදුවී නියමිත වගඋත්තරකරුවන් අධිකරණය හමුවට පමුණුවා අප දඬුවම් ලබාදීමට සමත් වී තිබෙනවාද? අපි හැමදෙනාම මෙරටේ පුරවැසියන් විසින් උත්පාදනය කරන ලද බලය, බලයේ මූලයෙන් අපට බලය ලැබී තිබෙනවා. ඔවුන් එක්රැස් කරන ධනයෙන් මහන්සියෙන් ශ්‍රමයෙන් අපට වැටුප් වරප්‍රසාද ලබා දෙනවා. හැබැයි පෙරළා අපි අපේ රටේ පුරවැසියන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර තිබෙනවාද?

නෑ. අපි පෙරළා කරමින් තිබෙන්නේ බොහෝ තැන්වල ඒ ලැබී තිබෙන බලයෙන් නැවත නැවත උපයෝගී කරගන්නවා දූෂණයේ යෙදෙන්න. ජනතාව විසින් බලය අපට උත්පාදනය කර තිබෙනවා. ජනතාව විසින් අපට වරප්‍රසාද ලබාදී තිබෙනවා. වැටුප් ලබාදී තිබෙනවා. හැබැයි එය ලබා ගන්නා අය විසින් කරන්නේ කුමක්ද? තමන්ගේ බලයත් තමන්ගේ වරප්‍රසාදත් උපයෝගී කර ගන්නවා නැවත නැවත අල්ලසේ සහ දූෂණයේ යෙදෙන්න. ඒකනේ යථාර්ථය. එහෙම නෙවෙයිද?

බලය ලබාදෙන්නේ සාධාරණත්වය වෙනුවෙන්. හැබැයි ඒ බලය උපයෝගී කර ගන්නේ අයුක්තිය සඳහායි. පුද්ගලික ප්‍රතිලාභයන් වෙනුවෙන්. ධනය එක්රැස් කිරීම වෙනුවෙන්. එහෙම නම් මේ බලයෙන් ඇති ඵලය කුමක්ද? මම අහන්නේ එච්චරයි.

ඒ නිසා අපි හැමදෙනාම තිර අධිෂ්ඨානයකට එන්නේ නැත්නම්, අපිට ලබාදී තිබෙන බලය ජනතාව විසින් උත්පාදනය කර ඇති බලයක්. ඒ බලය තුළ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කළ යුතුයි කියල සැබෑ අදිටනකට එන්නේ නැත්නම් මොන ආයතන ගොඩනැගුවත්, මොන නීති සම්පාදනය කළත් ඵලක් නැහැ.

මා කියන්නේ නෑ නීතිය අනවශ්‍ය බව. මා කියන්නේ නෑ ආයතන ශක්තිමත් නොකළ යුතු බව. නීති ප්‍රමාණවත් නැත්නම් තව අපි නීති සම්පාදනය කරමු. ආයතන ප්‍රමාණවත් නැත්නම් තව ආයතන ගොඩනගමු. හැබැයි මොන තරම් නීති සම්පාදනය කළත්, මොන තරම් ආයතන ගොඩ නැඟුවත් ප්‍රමාණවත් නෑ, එහි බලය හොබවන අය තමන්ට පැවරී තිබෙන යුතුකම හා වගකීම ඉටුකරන්න සූදානම් නැත්නම්. මගේ කාලයේ නම් මම දැක තිබෙන්නේ බොහෝ අය, අවංකව කියන්නේ බොහෝ අය තමන්ගේ බලය අපහරණයේ යොදවනවා.

තමන්ගේ වගකීම අපහරණය, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 7ක් ලිපිගොනුවක් සිරවී තිබෙන්න විදියක් නැහැ. සමහර ලිපි ගොනු ලාච්චුවට දාලා වහපු දවසේ සිට විවෘත කරනේ නැතිව ඉන්න විදියක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිපිගොනු, කඩදාසි දිරන තුරු පරීක්ෂණ කරමින් ඉන්න විදියක් නැහැ. එය නීතියේ ප්‍රශ්නයක්. ආයතනයේ ප්‍රශ්නයක් නොවෙයි. තමන්ට ලැබී තිබෙන බලය තමන් විසින් අපහරණය කිරීම. එය වළක්වා ගැනීමට අසමත් වන තෙක් අපට මේ කාර්යය ජයග්‍රහණය කරන්න බැහැ.

2021 වසරේ නඩු 69ක් අවසන් කර තිබෙනවා. එයින් නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබෙනවා. එවිට අවසන් වූ නඩු 69න් 40ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. ප්‍රසිද්ධ මල්වානේ ඉඩම් නඩුවේ එතනින් එහා සාක්ෂි අත්හිටුවනු ලැබුවේ කුමක් නිසාද, ඇතැම් නඩුවල එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන් එහි සාක්ෂිකරුවන් ලෙස සටහන් නොවන්නේ කුමක් නිසාද, ශානි අබේසේකර සාක්ෂි දරනවා ඇති. ඔහු සම්පූර්ණයෙන් විමර්ශන නිලධාරියා වෙනවා. නමුත් නඩුව ගොනුකරන විට ඔහු සාක්ෂිකරුවෙක් නොවේ නම් මොකක්ද මේ වෙන්නේ?

2022 නඩු 89ක් පවරා තිබෙනවා. නඩු 45ක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඇයි, අපේ රටේ පුරවැසියන්ට අපි බැඳී සිටිනවා නම් මේ හේතුව අපි කිවයුතු නැද්ද, අදාළ නිශ්චිත නඩුවේදී එම විමර්ශන නිලධාරියා සාක්ෂිකරුවෙක් ලෙස සටහන් නොකරන්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳීසිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. ඇතැම් නඩුවල සාක්ෂිකරුවන් කැඳවන්නේ නැතිව නඩු ඉවත් වෙන්න අරින්නේ කුමක් නිසාද, අපි ජනතාවට බැඳී සිටිනවා නම් මෙය පැහැදිලි කළ යුතුයි. අපි නඩු ඉල්ලා අස්කර ගන්නේ ඇයි කියා ජනතාවට පැහැදිලි කළ යුතුයි. ලිපි ගොනු අවුරුදු 7ක් 8ක් ලාච්චු අස්සේ සිරවී තිබෙනවා නම් ඇයි එසේ සිදුවන්නේ කියා අප ජනතාවට පැහැදිලි කළ යුතු නැද්ද?

ඒ නිසා මේ සමස්ත දේහයම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. යළි අපේ රට ගොඩනගනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිෂ්ඨාපනයට ලක්කළ යුතුයි. එසේ නොමැතිව කුඩා නීතිමය ප්‍රතිසංස්කරණයකින්, කුඩා ආයතනික ප්‍රතිව්‍යුහගතකරණයකින් පමණක් මේ කාර්යය සම්පූර්ණ කරගන්න බැහැ. එයට පුළුවන් මගේ අවුරුදු 05ක් ගත කිරීමට පමණයි. නමුත් මෙම ක්‍රමය වෙනස් කරන්න නම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එසේ නොමැතිව මෙම ජයග්‍රහණ අත්පත් කරගන්න බැහැ. පෞද්ගලිකව මා ප්‍රයත්න දරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කර මේ රාජ්‍ය සුවපත් රාජ්‍යයක් බවට පත් කිරීමට. එයයි මගේ අපේක්ෂාව. මම සිතනවා අපි මේ අවස්ථාවේ මෙය කිරීමට අසමත් වුවහොත් අපේ රටේ ජනතාව හීනයකින්වත් සුබ රාජ්‍යයක් පිළිබඳ සිතන්නේ නැහැ.

මෙම 2024 වසරේ ජනවරමේ ජනතාව තැබූ අපේක්ෂාවන් හා බලාපොරොත්තු ඉටුකිරීමට අප අසමත් වන්නේ නම් අපේ ජනතාව හීනෙන්වත් සුබ සිහිනයක් දකින්නේ නැහැ. උතුර,නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලු ජනතාව එක තැනකට පැමිණ සුබ අරමුණක්, සුබ අපේක්ෂාවක් වෙනුවෙන් බලයක් පිහිටුවා තිබෙනවා. ඒ අරමුණ, ඒ අපේක්ෂාව ඉටුකිරීම අප අසමත් වුවහොත් මම නැවත නැවත කියනවා ජනතාව නැවත කිසි දින සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.

ඒ නිසා එම කාර්යය ඉටුකිරීමට අපට වගකීමක් තිබෙනවා. එම කාර්යය ඉටුකිරීම සඳහා පෞද්ගලිකව මා වෙතත්, අපේ ආණ්ඩුවටත් පැවරී ඇති කාර්යභාරය අපි නිසි පරිදි ඉටුකරනවා. හැබැයි, ඔබගේ සහාය අත්‍යාවශ්‍යයි. විමර්ශන සිදුකරන ආයතන, සහාය දක්වන ආයතන, එම විමර්ශනයන් විභාගයට ලක්කොට තීන්දු තීරණ ලබාදෙන ආයතන නිසි පරිදි මීට සක්‍රීය දායකත්වය ලබා නොදෙන්නේ නම් අපට තවත් දශක ගණනාවක් දූෂණ විරෝධී දිනය සමරන්න පුළුවන්. අපි සියලු දෙනාට සැදැහැ සිතින් පැමිණ දූෂණ විරෝධී දිනයේ වාඩි වී ඊට සහභාගි වුණා කියලා අත්පොළසන් දී පිටවී යන්න පුළුවන්.

හැබැයි අපි වෙනස් කිරීමට සූදානම් නම් ලබන වසරේ අපට යමක් කළ, මෙය ජයග්‍රහණය කළ හැකි දෙයක් කියා සමරන්න පුළුවන්. හැබැයි අපේ සභාපතිතුමා සඳහන් කළ පරිදි 2012 වසරේ තිබූ ලකුණු මට්ටම 40යි. එය 2024 වන විට 34 දක්වා අඩු වී තිබෙනවා නම් අපි ඊළඟ දිනය මෙතැන වාඩි වී සැමරිය යුතුද? දූෂණයට ලක්වූ රාජ්‍යයක් ලෙස තව තවත් ඉදිරියට ඒම අපට දෙසැම්බර් 09 වැනිදාට සමරන්න පුළුවන්

අපි දැන්, 2012 ඉඳන් සැමරුවා නම් අපි සමරන හැම වසරක් පාසාම මොකක්ද සිදුවී තිබෙන්නේ? සමරන හැම වසරක් පාසාම සිදුවී තිබෙන දේ තමයි තිබුණ තැනට වඩා දූෂණය ඉහළට යනවා. අපි දෙසැම්බර් 09 වැනිදා සමරනවා. නරක නෑ. හැබැයි මම කියන්නේ අපට සැමරීම සඳහා අයිතිය ලැබෙන්නේ දිනය විසින් නෙමෙයි. ඒ දිනයට තියෙන අභිප්‍රායයන්ට සහ අපේක්ෂාවන්ට මොන තරම් ප්‍රමාණයකින් අපි සාධාරණය ඉටුකරගන්න සමත් වුණාද නැද්ද කියන එක මත. එසේ නොවන්නේ නම් මම හිතනවා සැදැහැ සිතින් ඊළඟ අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 09 වැනිදා අපි වාඩිවෙලා සැමරීමෙන් ඵලක් නෑ. සමරන්නෙ අපි අලුත් අධිෂ්ඨානයකට නම්, අලුත් තීරණාත්මක හැරවුමකට නම් ඒ සැමරීම අපි ඒ පතුලෙන්ම ඒ සැමරුම කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ අපි ඊළඟ දිනය සැමරිය හැකි වන්නේ පුරවැසියන්ට, අපි මේ කුඩා ශාලාවකට එකතු වෙලා අපිට සමරන්න පුළුවන්. කවදත් පුළුවන් වෙයි. හැබැයි, පුරවැසියන්ට ඒ සැමරීම පිළිබඳ යම් අදහසක්, යම් භක්තියක්, යම් ගෞරවයක්, යම් වටිනාකමක් නිර්මාණය වන්නේ පුරවැසියන්ට ඒ පිළිබඳ විශ්වාසදායක ක්‍රියාමාර්ගවල අප නිරත වුණොත් විතරයි. ඒ නිසා මම හිතනවා මේ ඇවිල්ලා ඔබ සතුව තියෙන පැමිණිලි ප්‍රමාණය මම දන්නවා. ඒ පැමිණිලිවල නම් ගම් දන්නවා. මතක තබාගන්න. ඒ පැමිණිලි දාපු කාලවකවානු ගැන අදහසක් තිබෙනවා. ඒ පැමිණිලිවල චූදිතයන් කවුද කියල අපට යම් දළ අදහසක් තිබෙනවා. හැබැයි මම ෆයිල් එක කියවල නැතත් අදහසක් තිබෙනවා. හැබැයි ෆයිල් එක බර වෙනවද? ෆයිල් එක සැහැල්ලු වෙනවද කියල තීරණය කරන්නෙ ෆයිල් එක ඇතුළෙ තියෙන කෙනාගෙ නම නම් මොකක්ද ඇති ඵලේ? අපේ විනිසුරුතුමා කිවුවා අඩුම තරමෙ මේ ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපෑමක් කරන ප්‍රධාන ටිකවත් අපි ඉක්මන් කරල කරන්න ඕනෙ. හැබැයි මා ගාව තියෙනවා මාර්තු 06 වාර්තාව, ඉද්දෙවෙල මැතිතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් විදිහට පාර්ලිමේන්තුවේ කතාවක් කළා. මා පෙන්වා දෙන්නම්.

එක අවුරුද්දක අල්ලස් කොමිසමේ දඬුවම් ලබාදීලා තියෙන්නෙ පීසී මහත්තුරු දෙන්නයි, ග්‍රාමසේවක මහත්තයයි එස්.අයි. මහත්තයෙකුයි ලිපිකරුවෙකුයි, තව දෙන්නෙක් ඉන්නවා මට මතකය මදි. තව දෙන්නෙක් විතර හිටියා. ඒ කියන්නේ කාටද? නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා. ලොකු සත්තු මකුළු දැල බිඳගෙන යනවා. ඉතින් එහෙම නීතියක් තිබෙන බව, එහෙම ක්‍රියාත්මක වෙන බව, මේ රටේ පුරවැසියන් දන්නවා. මා දන්නවා මට වඩා තීතිය පිළිබඳ හසල අත්දැකීම් සහිත ඒ ක්ෂේත්‍රයේම වැඩ කරපු, ඒ ක්ෂේත්‍රයේම අත්දැකීම් සහිත අය ඉන්නවා. හැබැයි, අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම නීතිය සාධාරණව ඉටු වෙනවා බවට ජනතාවගේ විශ්වාසය ගොඩනැගිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නෑ.

මේ නිසා, ඒ වගේම යුක්තිය ඉටුකිරීම සඳහා ප්‍රමාද වීම් එක පැත්තකින් යුක්තිය ඉටුකිරීමක් නොවන්නේය. යුක්තිය ඉතා ඉක්මනින් ඉටුකිරීම තමයි යුක්තියට කළ යුතු සාධාරණත්වය. යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීමක් යුක්තිය ඉටුකිරීමක් නොවන්නේය කියා අපි විශ්වාස කරනවා. ඒ නිසා මා විශ්වාස කරනවා අපි අපිම ප්‍රශ්න කර ගත යුතු දවස ඇවිත් තිබෙන්නෙ. අපි අපිම අවංකව මේ කාර්යයට මොන තරම් ප්‍රමාණයකින්, අපි උරදෙන්න සූදානම්ද? නැද්ද? යන ප්‍රශ්නයට අපි ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ඔබගේ ආයතන, ඔබගේ කාර්යයන් මේ බිඳවැටීමට ලක්වුණේ ඔබගේම තනි ස්ව කැමැත්තක ප්‍රතිඵලයක් හැටියට මෙතැනට පත්වුණා නොවෙයි. ස්වභාවික ඉරණමක ප්‍රතිඵලයක් නෙවෙයි මේ ආයතන පද්ධතිය මෙතැන බිඳවැටෙන්න. මේ සියලු ආයතන පද්ධතියම මෙතන බිඳවැටෙන්න ප්‍රධානම හේතුව අපේ රටේ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය. මා දන්නවා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එක රැයින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳෙව්වා ඉතිහාසෙ. මතක ඇති, රණසිංහ කියල මහත්තයෙක් කුරුණෑගල හිටපු, ටයි කෝට් ඇඳපු මහත්තයෙක් මතක ඇති, එක රැයකදි එක අමාත්‍යවරයකු පිළිබඳ පරීක්ෂණය දියත් කරන්න කිවුවයි කියල මොකක්ද වෙලා තියෙන්නෙ අපේ රටේ මේ තිබෙන ඉතාමත් අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය අපේ රටේ සියලු ආයතනික පද්ධතීන්වල තිබෙන හරයාත්මක වටිනාකම් දූවිලි බවට පත්කරල විනාශ කරල තිබෙන්නේ. සෑම ආයතන පද්ධතියක් කෙරෙහිම පුරවැසියන්ගේ තිබෙන විශ්වාසය බිඳවැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියක්ම තමන්ට තිබෙන තමන්ගේ බලය පිළිබඳ විශ්වාසය බිඳවැටිල තිබෙන්නෙ. හැම ආයතන පද්ධතියකම මේ ආයතන පද්ධතිය මෙහෙය වන්නාට පැවරී තිබෙන වගකීම පිළිබඳ දියකරල තිබෙන්නෙ. ඇයි? මේ දේශපාලන සංස්කෘතිය හින්දා. ඒ නිසා අපේ විනිසුරුතුමා කී පරිදි අපි හිතන්නෙත් නෑ අවුරුද්දෙන් දෙකෙන් මුළුමනින්ම මේක අනික් පැත්තට හසුරවන්න හැකි වෙයි කියල. හැබැයි අපි යහපත් ප්‍රයත්නයක් දරනවා. ඊළඟ පරම්පරාවට මේ වැඩේ පවරන්නෑ. අපේ පරම්පරාව මෙය සාර්ථක කරගැනීම සඳහා පොර බදපු මිනිස්සු හැටියට, මේ වෙනස් කිරීම සඳහා පොරබදපු මිනිස්සු හැටියට අපි අපේ කාර්යය අවසන් කිරීමට නියමිතයි.

අපි අපේක්ෂා කරනවා අපේ කාලයෙ මේක අවසන් කරන්නට. හැබැයි, අපි දෙන්න ඕන මුලාරම්භයක් යහපත් දිශාවට මේක පරිවර්තනය කරන්න. අන්න ඒ මූලාරම්භය දෙන්න දේශපාලන අධිකාරියක් ලෙස අපි ලෑස්තියි. මම ඔබගෙන් ඉල්ලන්නේ මෙතන ඉන්නේ ඒ පිළිබඳ විශේෂ වගකීම් කණ්ඩායමක්. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ, මේකට සහය දෙන්න. මෙතන එක් රැස් වී සිටින අපි මේක කරන්නේ නැත්තම්, ඈත දෙහිඅත්තකණ්ඩියේ ජීවත් වෙන ගොවියද මේක කරන්නෙ? එහෙම නැත්තම් ගමේ ඉන්න සාමාන්‍ය පුරවැසියද මේ කාර්යය කරන්නෙ? මේ කාර්යය කරන්න තියෙන්නෙ අපිට. අපි මේ කාර්යය කිරීම සඳහා මැදිහත් වෙන්නේ නැත්නම් මේ කාර්යය කිසිවෙක් විසින් කරන්නේ නෑ. ඒ නිසා මා හිතනවා ඔබට මේ පැවරී තිබෙන කාර්යභාරය ඉටු කිරීම සඳහාත්, ලබන වසරේ දෙසැම්බර් මාසේ 09 වැනිදා අපට වාඩිවෙලා මේ දිනය සමරන්න පුළුවන් වටිනාකමක් එකතු කරගැනීම සඳහාත්, සියලු දෙනා වැඩ කරමු කියා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.’

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

හාලු පොල් ලුණු අවුල් මැද්දේ ‘මව්රට’ මරඳගහමුල යයි! වී තොග ඉවරෙටම ඉවරයි! සුදු කැකුළුත් නෑ නාඩුත් නෑ! සීයකට විතර රස්සා නෑ! හාල් මෝල් වැටෙහන්න ළඟයි! Sri Lanka Latest News

Next Post

අනුර ඉන්දියාවෙ ගිහින් ආවට පස්සේ ජනවාරියේ චීනයට! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.