ලංකාවේ ප්‍රධානතම සහල් වෙළෙඳපළ තියෙන්නේ හම්බන්තොටවත්, අනුරාධපුරේවත්, පොළොන්නරුවෙවත් නෙවෙයි. ලංකාවේ ලොකුම සහල් වෙළෙඳපළ තියෙන්නේ මරඳගහමුල. සහල් වෙළෙඳපළක් විදියට ප්‍රසිද්ධියට පත්වුණු කාලාන්තරයක් තිස්සේ සහල් වෙළෙඳ ඒකාධිකාරයක් කරගෙන යන මරඳගහමුලට අද මොකද වෙලා තියෙන්නේ? මරඳගහමුල ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෝ, වී මෝල් හිමිකරුවෝ කවුරුත් නෑ. මරඳගහමුල ඉන්නේ කුඩාපරිමාණ වීමෝල් හිමිකරුවෝ. කාලයක් තිස්සේ මේ අය කරන්නේ අනුරාධපුරෙන්, පොළොන්නරුවෙන්, හම්බන්තොටින් වී ගෙනල්ලා ඒවා සහල් බවට පරිවර්තනය කරලා තමන්ගේ කඩවල විකුණන එක. (Sri Lanka Latest News)
ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් මේ තැන්වලට හාල් අරගෙන යන්න එන එක අපි දැකලා තියෙන කාරණාවක්. දැන් මේ සහල් වෙළෙඳපළ බරපතළ ලෙස කඩාවැටෙමින් තිබෙන බව තමයි අපිට වටින් ගොඩින් අහද්දී දැනගන්න ලැබුණේ. ඒ නිසා අපි තීරණය කළා මරඳගහමුල වී ගබඩා සංකීර්ණය ඇතුළු සහල් පුරවරයේ පොඩි රවුමක් ගහලා බලන්න මේ පවතින තත්ත්වයත් එක්ක මොකද ඇත්තටම මරඳගහමුලට වෙලා තියෙන්නේ කියලා දැනගන්න. වී වෙළෙඳ ව්‍යාපාරයට, එහෙම නැත්නම් හාල් ව්‍යාපාරයට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න.
අපි මරඳගහමුලට ගිහිල්ලා මුලින්ම මුණගැහෙන්නෙ රංජි මුදලාලිව. මේ රංජි මුදලාලි කියපු කාරණා එක්ක අපි ගණන් හැදුවා. ඉස්සෙල්ලම ඒක කියවලා ඉමු.
වී කිලෝ එකක් මිල රුපියල් 165.25කටයි මරඳගහමුලට එන්නෙ. එතකොට හාල් කිලෝ එකක් රුපියල් 220 – 230 වෙන්නෙ කොහොමද?
ඔහු අපිට කියලා දුන්න විදියට සහල් කිලෝ එකක මිල වී කිලෝ එකක මිලට සමපාත වෙන්න බෑ. ඒ ඇයි?
සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.65ක් වැයවෙනවා කියලා ඔහු අපිට කිව්වා. ඒ විදියට ගණන් හදලා බැලුවොත් ආසන්න වශයෙන් සහල් කිලෝවක මිල 257.81ක් වෙනවා. මේ වියදමට අමතරව වී නිකම්ම හාල් වෙන්නෙ නෑ, ඒ මිලට නිෂ්පාදන වියදම සහ ඇසුරුම් වියදම විදියට රුපියල් 20ක විතර මුදලක් එකතු වෙන්න ඕනෙ කියලා ඔවුන් කියනවා. එහෙම වෙනවා නම් මේ මිල තවත් රුපියල් විස්සකින් වැඩි වෙනවා.
අවසාන වශයෙන් හාල් කිලෝවක මිල 277.81ක්. මේකෙ ඇත්ත බොරු අපි දන්නෙ නෑ. හැබැයි මරඳගහමුලට ගිහිල්ලා හොයාගත්ත ඇත්ත තමයි මේ. ඇත්ත නම් හාල් මිල බලාගෙන ඉද්දි ඉහළ යනවා පැහැදිලිව පේනවා. අපි මරඳගහමුල සිල්ලර වෙළෙඳපළේ නාඩු කිලෝව 240කට, සුදු කැකුළු කිලෝව 244කටත් තියෙනවා දැක්කා. ඒවගේම රතු නාඩු සිල්ලර මිල 260ක් බව දැනගන්න ලැබුණා. නමුත් මේ හාල් වර්ග කීපයෙම අවසන් තොග සිකුරාදා වෙනකොටත් ඉවර වෙන්න පුළුවන් බව ඔවුන් කිව්වෙ.
‘මේ වෙනකොට මරඳගහමුල වී සම්පූර්ණයෙන්ම ඉවරයි. අලුතෙන් වී තොග නොලැබුණොත් මරඳගහමුල සහල් සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. සුදු කැකුළු සහ නාඩු සහල් තොග දැනටමත් අවසන්….’
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් මහත්තයා අපිත් එක්ක කිව්වෙ එහෙම.
රංජි මුදලාලි කියන විදියට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 35%ක් විතරයි මහාපරිමාණ හාල් මෝල්වලින් සම්පූර්ණ වෙන්නෙ. ඉතිරි ටික එන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් ටිකෙන්. මේ වෙනකොට පොඩි මෝල් ඔක්කොම තියෙන්නෙ වැහෙන්න ඔන්න මෙන්න. ඒකට හේතුව ප්‍රමාණවත් වී නොලැබීම. මරඳගහමුල ගිය අපිට මුණගැහෙන්නෙ අරලිය – නිපුන ව්‍යාපාරිකයො නෙමෙයි. මේ ඉන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියො. මේ විදියට වී මිල ඉහළ යාම පාලනය නොවෙනවා නම් මේ මෝල්වලට වැඩ නැතිවෙලා යනවා.
මේ විදියට මරඳගහමුල හාල් වෙළෙඳපළ ටිකෙන් ටික කඩාවැටෙන්න පටන් අරගෙන ඉවරයි. ඒ ගැන අපි පත්තරකාරයො කියලා හාංකවිසියක් නොදන්න අය අපිට එක එක කතා කිව්වා. ඇත්තටම අපි ගියෙ හාල් ටිකක් ගන්න. එහෙම ගියාම තමයි මේවා ඇහුණෙ.
ඒ අය කියන්නේ හාල් වෙළෙඳපළ කඩාවැටිලා නෙමෙයි කඩාවට්ටලා කියලා. මිල වැඩිවෙලා නෙමෙයි මිල වැඩි කරලා කියලා. මෙය උපක්‍රමශීලීව කරපු දෙයක් හැටියට කියන අය ඉන්නවා. මේ උපක්‍රමශීලීත්වයට චෝදනා ලබන්නේ ඩඩ්ලි ඇතුළු ප්‍රධාන හාල් මෝල් හිමියන්. ඒ අය තමන්ගේ හාල් ඒකාධිකාරය පවත්වාගෙන යන්න කරපු උපක්‍රමශීලී ක්‍රියාකාරකමක් විදිහට පැහැදිලිව හඳුනාගන්න මේගොල්ලන්ට පුළුවන්.
ඒ කියන්නේ මේ වැඩෙත් එක්ක ඉන්න අය නිසා වෙන්න ඇති. ඒගොල්ලො කියනවා ප්‍රධාන හාල් මෝල් හිමියෝ කරන්නේ එක පාරම ගිහිල්ලා විශාල වශයෙන් වීතොග එකතු කරගන්න එක. එහෙම වී තොග එකතු කරගෙන ඒ වී තොග සියල්ලම ගබඩා කරගෙන ඒවායින් ටික ටික තමයි කොටලා වෙළෙඳපළට දාන්නේ. එහෙම වුණාම වෙළෙඳපළේ නිර්මාණය වෙනවා සහල් හිඟයක්. මෝල් හිමියන් ගාව නිර්මාණය වෙනවා අතිරික්තයක්. මේ අතිරික්තය සහ හාල් හිඟය අතර තියෙන පරතරය තමයි මිල වැඩිවීම්වලට හේතු වෙන්නේ. මෙන්න මේ තත්ත්වයත් එක්ක දවසින් දවස හාල් වෙළෙඳපළේ අර්බුදයක් නිර්මාණය වෙනවා. දැන් ප්‍රධාන හාල්මෝල් හිමියන්ගේ හාලුත් වී වෙනුවට මරඳගහමුල වෙළෙඳපළට එනවා. ඒ එන්නේ කොටලා ඉවර කරන ලද හාල් පැකට් එක. හාල් මෝල්වලට මේක ලොකුවට බලපානවා. මොකද කුඩා පරිමාණ හාල් මෝල්වලට වැඩ නැතිව යනවා.
හාල් මෝල් ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා. මේ රැකියා සියල්ලම කඩාවැටෙමින් තියෙනවා. මරඳගහමුල හිටපු මුට්ට කරගහන එක්කෙනාගේ ඉඳලා, වී ගේන්න යන ලොරියෙ ඉඳලා, ලොරි ගෝලයා, වීමෝල්වල රැකියා කරපු උදවිය, මේ සියලු දෙනාගේම රැකියාවලට බරපතළ අර්බුදයක් නිර්මාණය වෙනවා. මේක සුළුපටු නැහැ. අපි දළ වශයෙන් හිතුවොත් සීයක දෙසීයක ප්‍රමාණයක රැකියා අහිමි වෙනවා මරඳගහමුල හාල් වෙළෙඳපළ කඩාවැටීමත් එක්ක. දැන් මේකට විසඳුමක් නෙමෙයි වී පිටරටින් ගේන එකවත්, ප්‍රධාන හාල්මෝල් හිමියෝ ගාව තියෙන හාල් ටික සතොසට දෙන එකවත්.
මේකට විසඳුම වියයුත්තේ වී නියමිත මිලට මුදාහැරීම, වී අලෙවි මණ්ඩලය වී මිලදී ගෙන හෝ කුමන හෝ ආකාරයකින් මේ ක්‍රමය නිසියාකාරව පවත්වාගෙන යන්න ඕනේ. මරඳගහමුල තියෙනවා විශාල ගබඩා සංකීර්ණයක්. මේ වී ගබඩා සංකීර්ණය කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් හදලා අවසානයේදී දැන් ජනසතු කරලා තියෙන්නේ. වී ගබඩා සංකීර්ණය සහ වී අලෙවි මධ්‍යස්ථානය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා. නමුත් මේ දෙකම මේ වෙද්දී තියෙන්නේ ඉතාම අවදානම් මට්ටමක. ඒකට හේතුව මේවාට කිසිදු ආකාරයකින් අවශ්‍ය කරන වී තොග නොලැබී ගියොත් මේ සියල්ල සුදු අලියෙක් බවට පත්වෙනවා. ඉතින් මේ අපි කතා කරන්නේ බත් කන රටක ඉඳලා.
ඒ නිසා බත් සම්බන්ධවයි මේ අපි කතා කරන්නේ. වී කියලා, හාල් කියලා, ගොයම් කියලා වෙන නම්වලින් කිව්වට අවසාන වශයෙන් මේ තමයි බත්. බත්පතට තමයි මේ කෙළවෙන්න යන්නේ. මේකට වගකියන්න මේ ආණ්ඩුවට ඍජුව චෝදනා කරලා වැඩක් නෑ. මේ ආණ්ඩුව ඇවිල්ල මාස තුනකින් ලංකාවේ වී ඒකාධිකාරය නැති කරන්න බෑ. ඒගොල්ලො ඡන්දෙට එන්න කලින් කිව්ව තමයි එක පෑන් පාරෙන් මේක කරන්න පුළුවන් කියලා. ඒත් අපි දැනගෙන හිටියා එක පෑන් පාරෙන්, එක කනේ පාරෙන්, එක පා පහරින් මේක කරන්න බෑ කියලා. ගෝඨාභය රාජපක්ෂ හිතන් හිටියේ එක කනේ පාරෙන් මේක කරන්න පුළුවන් කියලා. සමහරු හිතන් හිටියා එක පෑන් පාරෙන් මේක කරන්න පුළුවන් කියලා. දැන් අපිට තේරෙනවා කිසිම විදියකින් මේක කරන්න බෑ. හැබැයි මතක තියාගන්න එක වැහි පාරකින්, එක වැහි රැල්ලකින් පුළුවන් මහ කන්නයේ වී අස්වැන්න තව මාසයක් දෙකක් පමා කරන්න. ඒක තමයි අපිට ඊළඟට මරඳගහමුලදී අහන්න හම්බවෙච්ච කතාව.
මරදගහමුලදී බොහෝ දෙනෙක් කිව්ව එකක් තමයි මේ විදියට ගියොත් ලංකාවේ ඊළඟ කන්නයේ වී ටිකත් මේ විශාල අර්බුදයට මුහුණ දෙනවා කියලා. කොහොම වුණත් මරඳගහමුල සහල් වෙළෙඳපළ බරපතළ අර්බුදයක තියෙන බව අපට ඇහෙන් දැකපු සාක්කිකාරයෝ විදිහට කියන්න පුළුවන්.

ජීවන පහන් තිළිණ










