සමගි ජන බලවේගයේ පිට කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාය.Sri Lanka Latest News
නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,
‘‘ඔක්තොම්බර් පළමු වැනිදා විදුලි බිල සංශෝධනය වීමට නියමිතව තිබුණා. පැවැති විදුලි පනත අනුව වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය වීමට තිබුණා. නමුත් හිටපු විදුලි ඇමැති කාංචන සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී වසරකට දෙවතාවක් නොව හතර වතාවක් විදුලි බිල සංශෝධනය විය යුතු බවට කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඒ අනුව විදුලි විදුලි බිල අනිවාර්යෙන් ජනවාරි මාසයේදී සංශෝධනය විය යුතුයි. මාර්තු මාසයේ දී මහජන උපයෝගිතා කොමිසම මැදිහත් වී සියයට 21 කින් විදුලි බිල අඩු කළා. ජුනි මාසයේදීත් මහජන උපයෝගිතා කොමිසම මැදිහත් වී සියයට 22 කින් විදුලි බිල අඩු කරන්න කටයුතු කළා. ඒ ගෞරවය මහජන උපයෝගිතා කොමිසමේ නිත්‍ය නිලධාරින්ට හිමි විය යුතුයි.
ඒ වගේම මේ වනවිට සියයට 65 ක් විදුලිය නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන්. පුණර්ජනනීය ප්‍රභවයන්ගෙන් සියයට 17 ක් විදුලිය නිෂ්පාදනය කරනවා. ගල් අඟුරුවලින් ඉතිරි සියයට ප්‍රමාණය නිෂ්පාදනය කරනවා. සියයට 5 ක් වගේ ප්‍රමාණයකින් තමයි ඩිසල් බලාගාරවලින් නිපදවන්නේ. ජල විදුලියෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 2 ක් වගේ මුදලක් තමයි වැය වෙන්නේ. නමුත් දැවි තෙල් වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරද්දි රුපියල් 60 ක සිට රුපියල් 160 ක වගේ අතර ප්‍රමාණයක මුදලක් වැය වෙනවා. ජල විදුලියෙන් විදුලිය නිපදවීමෙදී විශාල මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබි තිබෙනවා. අවුරුදු 76 ක සාපය නිසා ඉදිවුණ වික්ටොරිකා , රන්දෙණිගල , කොත්මලේ විදුලිබලාගාර නිසා තමයි මෙවැනි මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබි තිබෙන්නේ. ඒ වගේම අවුරුදු 76 ක සාපය නිසා ඉදිවුණ ජලවිදුලි බලාගාර නිසා තමයි රටේ ජනතාවට අපහසුතාවයකින් තොරව විදුලිය ලබාදෙන්න හැකිවෙලා තිබෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී අනුර දිසානායක ජනාධිපතිවරයා කිව්වා සියයට 30 කින් විදුලි බිල අඩුකරනවා කියලා කිව්වා. රුපියල් 3000 විදුලි බිල රුපියල් 2000 කරනවා කියලා කිව්වා. නමුත් දැන් වසන්ත සමරසිංහ ඇමැතිවරයා කියනවා විදුලි බිල සියයට 30 කින් අඩු කරන්න වසර 3 ක් ගතවෙනවා කියලා. වසන්ත සමරසිංහ ඇමැතිවරයාට කිසිදු අයිතියක් නෑ විදුලි බිල ගැන තීන්දු තිරණ ගන්න්. අවුරුදු 76 ක සාපයෙන් ඉදිකෙරුණ මහජන උපයෝගිතා කොමිසමට තමයි ඒ සම්බන්ධයෙන් තින්දු තිරණ ගන්න බලය තිබෙන්නේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ කිසිදු දැනුමක් නැතිවයි. ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් තවදුරටත් ජනතාව මුලාවට පත් කිරිමේ වැඩපිළිවෙළක තමයි නිරත වෙලා ඉන්නේ. විදුලි බිල නිසා ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා සිටිනවා. ඒ වගේම රටේ ජනතාවට සහ කර්මාන්තවලට විදුලි බිලට සහනයක් දෙන්න රජය කටයතු නොකළහොත් රටේ ජනතාව සමඟ එකතුවී ඊට විරෝධය පල කරන්න අපි කටයුතු කරනවා.
රටේ කර්මාන්ත විදුලිබිල දරාගැනිමට නොහැකිව බරපතල ප්‍රශ්නයක පැටලි සිටිනවා. ජනාධිපතිවරයා අයෝජකයන්ට කතා කරනවා. නමුත් රටේ පවතින අධික විදුලිබිල හේතුවෙන් ආයෝජකයන් රටට එන්නේ නෑ. ජනාධිපතිවරයා නිදහස් වෙළඳ කලාප ඇති කරන බව කියනවා. නමුත් අධික විදුලිබිල හේතුවෙන් ආයෝජකයෝ රටට එන්නේ නෑ. ඒ වගේම ජනාධිපතිවරයා අලුතින් නිදහස් වෙළඳ කලාප ඇති කරන්න පෙර නලින් බණ්ඩාර හදපු නිදහස් වෙළඳ කලාපයට ආයෝජන ගෙන එන්න. අවුරුදු 4 ක් වෙනවා ඒ නිදහස් වෙළඳ කලාපයට කිසිදු ආයෝජනයක් ඇවිත් නැහැ. ජනාධිපතිවරයා කියන තරම් පහසුවෙන් නිදහස් කලාප හදන්න ලේසි නෑ. 2025 අවසාන වනවිට ආයෝජන කලාප වලින් එකක් හදලා පෙන්වන්න කියලා ජනාධිපතිවරයාට මම අභියෝග කරනවා.‘‘
ජනාධිපතිවරයාට තියෙන්නේ පිට කොටුවේ තොග වෙළෙන්දුන්ට ආණ්ඩුව භාර දෙන්න
‘‘රුපියල් 220 නාඩු හාල් කිලෝවක් රුපියල් 230 කරලා වී මෝල් හිමියන් ලඟ දණගහලා තිබෙන්නේ ජනාධිපති අනුර දිසානායක මහත්තයා. වී මෝල් හිමියන්ට යට නොවී කටයුතු කරන විදිහ දන්නවා කියලා ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. රුපියල් 220 නාඩු හාල් කිලෝවක් රුපියල් 230 කරලා වී මෝල් හිමියන්ට වාසියක් ලබා දෙන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තිබෙනවා. වී මෝල් හිමියන්ට අමතර රුපියල් 10 ක් අත්පත් කරගන්න ජනාධිපතිවරයා විසින් ඉඩ ප්‍රස්ථාව සකස් කර දිලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතියරයා කිරි සම්බා මිල වැඩි කරන්න කටයුතු කළේ නෑ. ජනාධිපතිවරයා සුපිරි පැලැන්තිය ආරක්ෂා කරලා පොඩි මනුස්සයා මිලදි ගන්න නාඩු හාල් මිලට තට්ටු කරන්න කටයුතු කරලා තිබෙනවා. සංචාරක කර්මාන්තයට හැර හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැ කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් හාල් ගෙන්වන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මේ ප්‍රතිපත්ති වලට අපි දැඩි විරෝධය පළ කරනවා. සහල් හිගට නැති කරන්න පිටරටින් සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක්වත් රටින් ගේන්න සිද්ධ වෙනවා. නමුත් පිට කොටුවේ සහල් තොග වෙළෙදුන් රටින් ගේන සහල් කිලෝවක් ලබාදෙන්නෙත් රුපියල් 220 ට. මේ වගේ වැඩ කරන්න රටට ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ නෑ. අනුර දිසානායක ජනාධිපතිවරයාට තියෙන්නේ පිට කොටුවේ තොග වෙළෙන්දුන්ට මේ ආණ්ඩුව භාර දෙන්න. වෙළද පොලට ආනයනය කරන සහල් වලට සහල මිලක් නියම කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2015 – 2020 කාලයේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ යාන්ත්‍රණය හරහා රටේ හිගවන අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න , වෙළඳපොල තුලනය කරන්න , ගොවියා ආරක්ෂා කරන , පාරිභෝගිකයා ආරක්ෂා කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. එසේ නැතිව කයිවාරුගහලා ගොවියාත් , පාරිභෝගිකයාත් ආරක්ෂා වෙන්නේ නෑ. ‘‘
පොල් ප්‍රශ්නයට වගකිව යුත්තේ ගෝඨාභයගේ පාලනය
‘‘ඒ වගේම රටේ පොල් ගෙඩි මිලියන 3500 ක් නිෂ්පාදනය කළ යුතුයි. එයින් සියයට 55 ක් පාරිභෝජනය සඳහා තමයි යොදා ගන්නේ. සියයට 45 ක් කර්මාන්තවල නිෂ්පාදනවලට යොදාගන්නවා. ඒ වගේම පොල් හා පොල් ආශ්‍රිත කර්මාන්තවලින් ඩොලර් මිලියන 800 ක වගේ විදේශ විනිමයක් උපයනවා. නමුත් දැන් පොල් මිල වැඩි වීමට රටේ පොල් අස්වැන්න බලපාලා තිබෙනවා. ඒ සඳහා වර්තමාන ආණ්ඩුව වගකිව යුතුයි කියලා අපි කියන්නේ නෑ. නමුත් ඒ සඳහා ගෝඨාභයගේ පාලනයේ සිට වගකිව යුත්තන් සිටිනවා. ගෝඨාභයගේ පොහොර තහනම් කිරිමේ ප්‍රතිපත්තිය පොල් කර්මාන්තයට බලපාලා තිබෙනවා. ගෝඨාභයගේ කාලයේ පැමිණි සුදු මැස්සාගේ උවදුර නිසා පොල් කර්මාන්තයට විශාල බලපැමක් වෙලා තිබෙනවා. සුදු මැස්සට විසදුම් සොයන්න තිබෙන පොල් පර්යේෂණ ආයතනය මොනවාද ඒ වෙනුවෙන් කරලා තිබෙන්නේ. සුදු මැස්සා මර්දනයට කිසිදු වැඩ පිළිවෙලක් පසුගිය වසර වල සිදුවුණේ නෑ. ඒවාට රාජ්‍ය නිලධාරින් වගකිව යුතුයි. පොල් කර්මාන්තය නගා සිටුවන්න දැන්වත් කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
පොල් අස්වැන්න වැඩි කරන්න පොල්වලට අවශ්‍ය පොහොර යෙදිය යුතුයි. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හරහා කුඩා පොල්වතු හිමියන්ට සහ ගෙවතුවල පොල් වගා කරන ජනතාවට පොහොර ලබාදිමට වැඩපිළිවෙලක් රජය සකස් කළ යුතුයි. නැතිනම් ඒ සඳහා සහනාධාරයක් ලබා දිය යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය යොදවලා පොල් ගස්වලට නිසි පොහොර යෙදිම සිදුකළොත් ලබන වසරේදී රටට අවශ්‍ය පොල් ප්‍රමාණය ලබාගන්න පුලුවන්. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් හරහා කුඩා පොල්වතු හිමියන් සහ ගෙවතුවල පොල් වගා කරන ජනතාව නිසියාකාරව පොල් ගස්වලට පොහොර යොදනවාද කියලා පරික්ෂා කරලා බලන්න. එසේ නොකරන පිරිසට වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. පොල් කර්මාන්තය නගා සිටුවන්න නම් ගෙවතු වල සහ කුඩා පොල් හිමියන්ගේ සතු පොල් ගස්වලට නිසි වේලාවට පොහොර යෙදිම කළ යුතුයි. ඒ වගේම රජය සතු පොල් වතුවල නිසියාකාරව පොල් ගස්වලට පොහොර වැටෙනවාද , නිසියාකාරව පොල් ඵලදාව ලැබෙනවාද කියා සොයා බලන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පොල් මිල අධික කාලය පොල් පරිභෝජනය සකසුරුවම් කර ගැනිමට ජනතාව දැනුම්වත් කිරිමත් රජයේ වගකිමක්. ඒ වගේම පිටරටින් පොල් ගෙන ඒමෙන් පොල් මිල පාලනය කර ගත හැකියි. ඒ සඳහා තිබෙන නිති රිති වෙනස් කරන්න රජය කටයුතු කළ යුතුයි.‘‘
අපි ගොවින්ට තුවක්කුවක් දෙන්න යෝජනා කළේ සත්තු මරන්න නෙවෙයි
‘‘ඒ වගේම බෝගවලට සතුගෙන් වන හානි පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණා. නමුත් කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත ප්‍රකාශ කළා ගොවිපලට එන සතුන් ගැන තින්දුවක් ගන්න රටේ ජනතාවට අවසර දෙනවා කියලා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී මම ප්‍රකාශ කළා ගොවින්ට තුවක්කුවක් ලබාදිය යුතුයි කියලා. ඒ සඳහා එවකට සිටි නාමල් කරුණාරත්න ගොවි නායකයා වර්තමාන නියෝජ්‍ය කෘෂිකර්ම ඇමැතිවරයා හාස්‍යයට ලක්කළා. නමුත් කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත කියනවා වගා බිම්වලට එක සතුන්ට ඕනම දඩුවමක් දෙන්න කියලා. අපි ගොවින්ට තුවක්කුවක් දෙන්න යෝජනා කළේ සතුන්ට වෙඩි තියන්න නෙවෙයි. වගා බිම්වලට එන වන සතුන් පලවා හරින්න. ඒ වගේම රටේ විශාල රිලා ගහනයක් මේ වනවිට රට තුළ සිදුවෙලා තිබෙනවා. රිලවා නිසා විශාල වගා හානියක් සිදු වෙනවා. රිලා ගහනය අවම කරන්න කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට යෝජනා ලබාදෙන්න කියලා අපි පරිසරවේදින්ගෙන් ඉල්ලා සිටිනවා. වගාවට එන වනසතුන් මරන්න කියලා කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත කිව්වාට ඒවා රට තුළ සිදු කරන්න ඉඩ දෙන්න නොහැකියි. ඒ සඳහා තිරසර වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න රජය කටයුතු කළ යුතුයි. ගොවින්ට තුවක්වක් තිබුණානම් වන සතුන්ගෙන් වන වගා හානිය අවම වෙන්න ඉඩ තිබුණා. ආණ්ඩුව මේ සඳහා සකස් කරන තිරසර වැඩපිළිවෙළට අපි උදව් කරන්න සුදානම්. ‘‘










