ජපන් රජය 1979 වනවිට ජේ. ආර්. ජයවර්ධන පාලනය සමග පැවැති සමීප සම්බන්ධය මත ශ්‍රී ලංකාවට ලබා දුන් රූපවාහිනිය මේ වනවිට විශාල අලාභයක් ලබන රාජ්‍ය ආයතනයක් බවට හිටපු පාලකයන් විසින් පත්කොට ඇත.
ඒ අනුව මේ වනවිට සේවකයන්ගේ වැටුප් පවා ගෙවාගත නොහැකි තත්ත්වයකට ආයතනය ඇද වැටී ඇති අතර මෙම මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව හරහා ඒ බව වඩාත් තහවුරු වී තිබේ.
එම ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගැනීම සදහා මහා භාණ්ඩාගාරයෙන් ඇපකරයක් ලබාදෙන්නැයි තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට ඇත.
රූපවාහිනී සංස්ථාවේ සේවකයන් 934 දෙනකු සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 5ක පමණ මුදලක් මාසිකව වැය වන බව වාර්තා වේ.
ඔවුන්ට අනෙකුත් දීමනාගෙවීම සදහා මාසිකට රුපියල් කෝටි තුන හමාරක පමණ මුදලක් ද වැය වන බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ ආදායම විශාල වශයෙන් අඩුවී ඇති අතර ලොතරැයි මණ්ඩල දෙකෙන් මාසිකව ලැබුණ රුපියල් කෝටි 6ක පමණ ආදායම සම්පූර්ණයෙන් අහිමි වී ඇතැයි ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
කෙසේවෙතත් 2004 වන විට රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා රූපවාහිනිය ලාබ ලැබූ ආයතනයක් බවට පත් කළ අතර ඉන් පසුව සිටි ආයතනයේ සියලුම සභාපතිවරුන් යටතේ රූපවාහිනිය විශාල වශයෙන් පාඩු ලැබූ තත්ත්වයකට පත් විය.










