• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා අස්සේ රස්සා නැතිව පඩිත් කපලා තියෙද්දී රුපියල් බිලියන 8කට නටන්න හදන ක්‍රිකට් නාඩගම

May 24, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනා අස්සේ රස්සා නැතිව පඩිත් කපලා තියෙද්දී රුපියල් බිලියන 8කට නටන්න හදන ක්‍රිකට් නාඩගම
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් සියල්ල උඩු යටිකුරු වී යද්දී, වෙනදා ජීවිතය හා තදින් බැඳී තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවද ජනතාවට අමතකව ගොස් තිබුණි. ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් වුණද, තවමත් ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා අවසරය හිමි වී නැත. එබැවින් ක්‍රීඩාව පිළිබඳව පෙර තිබූ උනන්දුව ජනතාව තුළ තවමත් ඇති වී නැත. නමුත් පසුගිය සතියේ මෙරට තුළ කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකා අතරින් එකක් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවය. ඒ සඳහා හේතු වූයේ ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වන බවට පැතිර ගිය පුවතය. අක්කර 26ක භූමි භාගයක ඉදිකෙරෙන ක්‍රීඩාංගණයේ පළමු අදියරේදී 40,000ක ප්‍රේක්ෂක පිරිසක් සඳහා තරග නැරඹීමේ අවස්ථාව හිමි වන බවත්, දෙවැනි අදියරේදී එය 60,000 දක්වා වැඩි කෙරෙන බවටත් තොරතුරු වාර්තා විය. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන අටක් බවද වාර්තා විය.
යෝජිත භූමිය නිරීක්ෂණය කිරීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණර්ධන මහතා සහ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පිරිසක් පසුගියදා එහි ගොස් තිබුණි. එහිදී අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව යටතේ ලංකාවෙ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටියත් පසුගිය රජය එහි ඉදිකිරීම් නවතා දැමූ බවද ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම රටේ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූයේ ඉන් අනතුරුවය. මුළු ලෝකයම කොරෝනාවෙන් පමණක් නොව කන්න බොන්න පවා නොමැතිව අර්බුදයට ලක් වී තිබෙන මෙවැනි මොහොතක ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාවය ලබා දීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය. එලෙස විවේචන එල්ල කළ පිරිස අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු වීමද විශේෂත්වයකි. ඒ අතර ඉදිරියේම සිටියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන හිටපු නායක මහේල ජයවර්ධනය මහතාය. ට්විටර් පණිවිඩයක් ඔස්සේ අදහස් දක්වමින් මහේල පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩාංගණ ප්‍රමාණයටවත් සරිලන ජාත්‍යන්තර සහ දේශීය තරග නොපවත්වන පසුබිමක තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රටට අවශ්‍යද යන්නය.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින භාවිතයට ගත හැකි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ගණන 07කි. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ලැයිස්තුවට අයත් වේ. ඊට අමතරව අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයද මෑතක් වන තුරුම අන්තර්ජාතික ක්‍රිකට් තරග සඳහා යොදාගත් ඒවාය. 2019 වසරේදී ටෙස්ට් තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ නවසීලන්ත කණ්ඩායම පමණි. එක්දින තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායම පමණි. එවැනි පසුබිමක තවත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය දැයි යන සැකය ඇති වීම සාධාරණය.

මේ අතර හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රජයට දිගින් දිගටම විවේචන එල්ල වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන්ව තිබුණේ ඉදිකිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ව්‍යාපෘතියක් බවය. ඒ සඳහා අවශ්‍ය වියදම මූල්‍ය ආයතනයකින් ණයක් ලෙස ලබා ගන්නා බවද වසර 15කින් එය ගෙවා නිම කරන බවද එහි සඳහන් විය. ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලි වැනි ප්‍රධාන පෙළේ තරගාවලීන් ලබා දීමේදී ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂක ධාරිතාව සලකා බැලේ. ප්‍රේක්ෂකයන් 40,000කට වැඩි පිරිසකට තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණ අවම වශයෙන් පහක්වත් රටට අවශ්‍යය. එමෙන්ම 2023 වසරේදී සහ 2031 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි දෙක ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ඉල්ලුම් කිරීමට ක්‍රිකට් ආයතනයේ සූදානමක් ඇත. එබැවින් හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකෙරෙන්නේ එහි පළමු පියවර ලෙසය. ඊට අමතරව එක් එක් කාලයන්හිදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ක්‍රීඩාංගණ ඉදිකිරීමද ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවය. හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් වන විවේචනයන්ට ක්‍රිකට් ආයතනය පිළිතුරු දී තිබුණේ එසේය.
කෙසේ නමුත් ක්‍රිකට් ආයතනයේ නිවේදනයට නැවත වරක් ට්විටර් පණිවිඩයක් ඔස්සේ මහේල පිළිතුරු ලබා දී තිබුණි. “ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කළ පැහැදිලි කිරීමට මගේ නිර්දේශපාලනික උපදෙස මෙසේය. අප මීට පෙර එක් වි/20 ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය ලබා දී ඇත්තෙමු. ලෝක කුසලාන තරගාවලි දෙකක් සඳහා සම සත්කාරකත්වය ලබා දී ඇත්තෙමු. එබැවින් නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පෙර ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීම සුදුසු බව මාගේ අදහසය. ඉන් පසු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස් පරිදි ක්‍රීඩාංගණ ඉදි කළ හැක. වසර 10ක හෝ 15කට පසු ලෝක කුසලාන තරගාවලියක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සිදු නොකළ යුතුය.” මහේලගේ ට්විටර් පණිවිඩය එසේය.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිමත් තරග තීරකවරයකු වන රොෂාන් මහානාම මහතාය. “ලෝක කුසලාන තරගාවලියේ තරග තීරකවරයකු ලෙස මම ලෝකය පුරා ක්‍රීඩාංගණවල කටයුතු කරලා තියෙනවා. 40,000කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් පුරවන්න පුළුවන් ක්‍රීඩාංගණ නවසීලන්තයටම තියෙන්නේ එකම එකක් විතරයි. ඒ වගේම එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේදී ඉතාම කුඩා ක්‍රීඩාංගණවල ලෝක කුසලාන තරගාවලි පැවැත්වුවා. ඒ හින්දා ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමට මේ තියෙන ක්‍රීඩාංගණ හොඳටම ප්‍රමාණවත් කියලයි මම කියන්නේ. ඒ වගේම අපි අලුත් ක්‍රීඩාංගණයක් හදන්න ණය ලබා ගන්නේ හම්බන්තොට ක්‍රීඩාංගණය හදන්න ගත්තු ණයවත් ගෙවලා ඉවර නොකරයි කියන එකත් මතක් කරන්න ඕනෑ.” මහානාම අදහස් දක්වා තිබුණේ එසේය.

හෝමාගම ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ආන්දෝලනය මත නිහඬව සිටීමට දේශපාලනඥයන්ටද නොහැකි විය. එබැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔවුන් බොහෝ දෙනකුද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ අතර යෝජිත හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගි වූ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද විය. ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය. “රජයේ කිසිම වියදමකින් මම හෝමාගම මැතිවරණ කොට්ඨාසයට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගෙනිහින් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රීඩා සංකීර්ණයක් තැනීම දියගම ආරම්භ කළා. එහි සංවර්ධන වැඩකටයුතු රාශියක් වුණා. දැන් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ගත්තොත් විශාල ජනාකීර්ණ ප්‍රදේශයක තදබදය ඇතුව තමයි තියෙන්නේ. ලංකාවට අන්තර්ජාතික ප්‍රමිතියට අනුව දිවා රාත්‍රී තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයක් ලබා ගන්න අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරලා තිබුණා. ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ විශාල අඩුපාඩු රාශියක් තිබෙනවා. එය තවදුරටත් සංවර්ධනය කරන්න ඉඩකඩ කොළඹ නගරය තුළ නැහැ. ඒ නිසා අපි තීරණය කළා මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 26ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා දෙන්න. එතකොට අපෙන් ශතයක්වත් මහජනයාගේ බදු මුදල් මේකට වියදම් වෙන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක ඒ අයගෙ මුදල්වලින් කරන ආයෝජනයකට අපි බොහොම ආදරයෙන් ඉඩ ප්‍රස්තාව ලබා දීමක් විතරයි.” ඇමැතිවරයා අදහස් දැක්වූයේ එසේය.
ඉන් අනතුරුව පසුගිය සතියේදී මේ පිළිබඳ බොහෝ දේශපාලනඥයන් අදහස් දක්වා තිබෙන ආකාරය දක්නට හැකි විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය. “අයි. සී. සී. ආයතනය ඩොලර් මිලියන තිහක් ශ්‍රී ලංකාවට වෙන් කළා ක්‍රීඩාංගණයක් හදන්න. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සල්ලි දෙන්නේ ක්‍රිකට් පිටි හදන්න සහ ක්‍රිකට් දියුණු කරන්න පමණමයි. එතැන ලංකාණ්ඩුවේ සල්ලි ශතයක්වත් නැහැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකරොත් ඒවා වෙන රටකට ලබා දේවි ක්‍රිකට් පිටියක් හදා ගන්න.”
අනතුරුව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ඔස්සේ අදහස් දක්වා තිබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවය. “ඕනෑම ක්‍රීඩාවක යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතුයි. ඒත් මේ මොහොතේ එවැන්නකට ප්‍රමුඛතාවය දිය යුතුද කියන එක නැවත සිතා බැලිය යුතුයි. එසේම ඒ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට පෙර සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම බලධාරීන්ගේ යුතුකමයි.”
මේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ක්‍රීඩාංගණය පිළිබඳ දැක් වූ අදහස්ය.
“ඔය ක්‍රීඩාංගණය හදන්න යෝජනා සම්මත කරගෙන කටයුතු කරලා තියෙන්නේ පසුගිය ආණ්ඩු කාලේ. විශේෂයෙන්ම පා. ච. රණවක මහත්තයා. ඒ මහත්තයා තමයි ඔය ක්‍රීඩාංගණය ඔතැන හදන්න කියලා තීරණය කරලා තියෙන්නේ. ඒත් මේකට රජයේ මුදල් වැය කරන්නේ නැහැ. ක්‍රිකට් කවුන්සිලයේ මුදල් තමයි මේකට වැය කරනවා කියන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ ඔය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවද කියලා බලන්න යන්න නම් අවශ්‍ය නැහැ. ඊට වඩා බලන්න දේවල් ගොඩක් මේ රටේ තියෙනවා.”
හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ඒ සම්බන්ධයෙන් පැවසූ අදහස් මෙසේය. “මගේ පෞද්ගලික අදහස නම් මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ අලුතෙන් හදන්න ඕනෑ නැහැ. මොකද මේක ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන කාලයක් නෙවෙයි. බෝඞ් එක තියෙන්නේ ක්‍රිකට් දියුණු කරන්න තමයි. ඒ හින්දා අපි ඉන්නේ ග්‍රවුන්ඞ් හදන්න ඒ හින්දා හදනවා කියලා ක්‍රිකට් සභාපතිතුමා කියයි. හදන්න ඒකට කමක් නැහැ. හදලා කොහෙද සෙල්ලම් කරන්නේ. හෝමාගම ඉඳලා එස්. එස්. සී. එකට දුර කොච්චරද? ප්‍රේමදාස එක තියෙනවා. සරා එක තියෙනවා. කොළඹ වටේ ග්‍රවුන්ඞ් කීයක් තියෙනවද?”
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එලෙස අදහස් දක්වද්දී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඒ පිළිබඳව අදහස් දක්වා තිබිණි. ඒ මෙසේය. “අද කතා වෙනවා කෝටි 700කට වැඩිය වියදම් කරලා නිර්මාණය කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැන. මේ දේවල් කරන්න ඉස්සෙල්ලා මේ රටට බත සපයන, මේ රටේ ආරක්ෂිත සුරක්ෂිතභාවය සුරකින ගොවි ජනතාවට පොහොර ලබා දීල ඉන්න ඕනෑ. ඒක කර ගන්න බැරි මේ ආණ්ඩුව දැන් වැඩ බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.”
ඒ අතර හිටපු අමාත්‍ය මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද නිවේදනයක් නිකුත් කරමින් නව ක්‍රීඩාංගණය පිළිබඳ තම විරෝධය පළ කර තිබිණි. “ඕස්ටේ්‍රලියාවටත් වඩා ක්‍රීඩාංගණ ශ්‍රී ලංකාවේ ඇත. ඒ අතරින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ මේ වන විට අත්හැර දමා ඇත. එබැවින් කළ යුත්තේ අත්හැර දමා ඇති එම ක්‍රීඩාංගණ නවීකරණය කිරීම මිස අලුතින් ක්‍රීඩාංගණ ඉදිකිරීම නොවේ. පසුගිය වසර තුනේදීම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ එක් තරගයක් පමණි. පසුගිය වසර තුනේදී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ එකදු තරගයක් හෝ පවත්වා නැත. එබැවින් දේශපාලනඥයන් සතුටු කිරීම සඳහා ක්‍රීඩාංගණ අලුතින් ඉදිකිරීමේ කිසිදු උවමනාවක් නැත.” රණතුංග මහතාගේ නිවේදනයේ සඳහන්ව ඇත්තේ එසේය.
මේ අදහස් හරහා පෙනී යන්නේ මේ වන විට හෝමාගම ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳව පක්ෂ විපක් භේදයකින් තොරව දැඩි විරෝධයක් රට තුළින් මතුව ඇති බවය. මේ අතර මේ ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවද මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු දේ බොහෝය. එබැවින් එය දියුණු කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම රජයේ මෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේද වගකීමය. නමුත් ඒ මුවාවෙන් අනවශ්‍ය ආකාරයෙන් රටේ මුදල් ගසා කන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැක. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් මෑත කාලයේ සිදු කළ සංවර්ධන කටයුතුවලදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව එල්ල වූ විවේචන බොහෝය. හම්බන්තොට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ පරීක්ෂණය තවමත් අවසන් වී නැත. එබැවින් පළමුව කළ යුත්තේ එම පරීක්ෂණ අවසන් කර වැරැදිකරුවන් වෙත්නම් ඔවුනට දඬුවම් ලබා දීමය. බිඳ වැටී ඇති ජනතා විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමය.

මේ අතර පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ජාවකදී මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සයිබර් ප්‍රහාරයකින් අජිත් රෝහණ බේරුණේ කොහොමද?

Next Post

කොළඹ ඇරියට අරක්කු සුපර්මාර්කට්වලින් විතරයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.